මේට්ලන්ඩ් ලොවීනා තිළිණය

Share

නොගැළපීම් මහ ගොඩක්. අසම්මතයක්. හරි පුදුම ආදරයක්, කෙළවර දුකක්…..

අදටත් පවතින වටිනාම තෑග්ගක්! ගල්කිස්සෙ මවුන්ට් ලැවීනියා හෝටලය උපදින්නෙ මෙතනින්.

 

එංගලන්තයෙ යටත් විජිතෙකි එසඳ මෙහි සිරිලක් බිම

නුවර හෙබවුයෙ විදෙස් මහතෙකි මේට්ලන්ඩ් ඔහුගේ නම

රොඩී තරුණිය සමඟ හටගත් අනවසර රසබර පෙම

කඳුළකින් නිම වුවත් දන තුඩ රැඳෙයි මතු කලෙකත් හැම

 

පරංගියෙ සිට සැපත් සෙබළෙකි උඩරටට මෙහෙ කරන

රොඩී කුලයේ යුවතියක් සහ ආදරෙන් සිත් බැඳෙන

කැකුළු සුරතල් ළපටි සුමිහිරි සුවඳ කිරි ඉන් හමන

දාව ඉපැදුණු දියණියයි ඇය ලොවීනා නම් ලබන

 

මේට්ලන්ඩ්ගේ නිල නිවසෙ රස සතුටු සැණකෙළි නිතරම

බොජුන් මධුවිත ගැයුම් වාදන මිහිරි හසරැලි සපිරිම

දිනක් කැඳවෙන නැටුම් නඩයක තරුණියක් නෙත ගැටුණම

සිතින් බැඳිලා පෙමින් වෙළුණා මේට්ලන්ඩ්ටත් නොදැනිම

 

කවුද ඒ මුදු සොඳුරු දැරිවිය දෙවඟනකි නෙත් කැලුම් ඇත්තී

හොයල බැලුවේ පමා නොකරම වතගොතේ සනුහරේ විත්තී

රොඩී කුලයෙහි සොළොස් හැවිරිදි පෙළවහක් තව අරන් නැත්තී

පැවසුවා හදවතේ අදහස පෙරටු කොට උපදවා සත්තී

 

තරුණිය සිත ඉද්දර මල් හසකැන් පිපුණා

දෙවරක් නොසිතා ඇරයුම පිළිගනු ලැබුණා

හදවත පුරවා ආදර සිතුවම් මැවුණා

කළු සුදු රිද්මය උත්තම සෙනෙහෙන් නිවුණා

 

තෝමස් අර කොහොමද අර කරන්නේ

මිනිස්සු මොනවද  අපි ගැන හිතන්නේ

මෙහෙම ගියොත් අපේ කරෙත් නගින්නේ

ජෝර්ජ් රජුන් හට මෙපවත් කියන්නේ

 

ලහි ලහියේ ගැනුණා ඉහළින් කඩිනම් පියවර

කටයුතු යෙදුණා දෙපළට මුණ ගැහෙන්න අවහිර

තෝමස් යොමු කෙරුණා සයුරෙන් රටකට බෝ දුර

පස් වසරක ආදරෙ එලෙසින් දුටුවා කෙළවර

 

පැතුම් සියලු නෙත අද්දර කඩාන බිඳ වැටිලා

සුසුම් පමණි  හදවත නොනැවති මතකය රිදිලා

ඉඳුම් කුමට මේ මිහිපිට නොමිනිස් උන් පිරිලා

මුහුදේ රළ ලොවීනාට සැනසුම දුනි සිඹලා

 

මගේ ප්‍රියාවිය මතුවත් මෙබිමෙහි සුරැඳේවා

ඇගේ සෙනෙහෙ මිහිරියාව ලොවේම විහිදේවා

වගේ නිවුණු දෙව් මවු තුරුලේ සුවෙ සැනසේවා

අගේ පිණිස නිල නිවසට මෙ’නම මතු තැබේවා

 

තෝමස් මේට්ලන්ඩ් කරපු අවසාන ඉල්ලීම, පස්සෙ කාලෙක ඒ විදියට ම ඉටු වුණා.

හරිම ලස්සන කතාවක් මේ! පපුවට දැනෙන ආදර කතාවක්. මෙහෙම කියලා ඉවර කරන්න බෑ ඉතිං. නොකියපු තැන් තව බොහොමයි. https://bit.ly/3bS85BO ඒව ඔයා හොයලා බලන්න.

 

Image Link: https://bit.ly/3gdNyd5

 
Tagged : / / /