මනමේ නාට්‍යය

Share

පසුගිය දිනක කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී මනමේ  නාට්‍යය රඟ දක්වද්දී එය නැරඹීමට වරම් ලැබුයේ දහසකුත් එකක් වැඩ මධ්‍යයේයි. මනමේ පිළිබඳව කෙතරම් අසා තිබුනත්, එහි කතාව දැන් සිටියත්, එය නැරඹීමට මට මෙතරම් කාලයක් ඉඩ ලැබී තිබුණේ නම් නෑ. මෙවර එය මග නොහැරීමට සිතාගත්තේත් ලැබෙන පොඩි හෝ වින්දනයන්ගෙන් ජීවිතයේ කාර්යබහුල බව මකා ගන්නටයි. එයින් ලැබුණු තෘප්තිය පිළිබඳව නම් කියන්නට වචන මදි; තවමත් මනමේ නාට්‍යයේ සිංදු මිමිනෙන්නේ, එය ගැනම සිතන්නේ නිරුත්සාහයෙන්. මෙතරම් සිත ඇද බැඳගත් මේ නාට්‍යය ගැන සොයා බලන්නට සිතුණේ එය මගහැරුණු අයටත් ඒ පිළිබඳව දැනගන්නටයි.

මහාචාර්ය එදිරිවීර සරච්ච්න්ද්‍රයන්ගේ නිර්මාණයක් වන මනමේ නාට්‍යය චුල්ල ධනුද්ධර ජාතකය ඇසුරෙන් නිපදවුවක්.  නාට්‍යමය රසය සඳහා සිදු කල වෙනස්කිරීම් වලට අමතරව, ජාතක කතාව සහ නාට්‍යය කතාව අතර වෙනසක් නම් නෑ.

තක්සලවේ දක්ෂතම සිසුවා වු, බරණැස් පුර රජුගේ පුත් මනමේ කුමරු, ශිල්ප ශාස්ත්‍ර නිමව පිය අණින් යලි මවු රට බලා යන දින, දිසාපමොක් ඇදුරු පුරාණ චාරිත්‍රයට අනුව තම සුන්දර ප්‍රිය දියණිය මනමේ කුමරුට විවාහ කර දෙන්නේ  ඔහුට ධනුද්ධර යන ගෞරව නාමයද ප්‍රදානය කරමින්. ඔටුනු හිමි මනමේ කුමරු තම බිසව වූ මනමේ කුමරියත් සමඟ වනය මැදින් යන ගමනේදි කුමරියට සිත් බැඳුණු වැදි රජෙක් සමඟ සටන්කර ඔහු පරාජය කලත්, කුමරියගේ පමාවකින් කඩුව ලබාගන්නා වැදි රජු මනමේ කුමරු මරණයට පත් කරන්නේ තම ජීවිතය බෙරාගැනීමේ අරමුණින්. මනමේ කුමරිය මහ වනය මැද තනි වන්නේ වැදි රජ හැර වෙන අන් සරණක් නොමැතිවයි. එසේ වැදි රජුගේ හිමගිරි අරණට යන ගමනේදී කුමරියගෙ චාටු බස් හා පුරසාරම් වලින් කැළඹෙන වැදි රජ, කුමරිය මහ වනය මැද අතරමං කර යන්නේ සෝතැවුල් හා මරණය පමණක් ඇයට ඉතුරු කරමින්.

නූතන සංකීර්ණතා සමඟ සසඳද්දී  නම් ඉතාමත් සරල සිදුවීම් වටා මනමේ කතාව ගෙතී අති බවක් පෙනේවි, නමුත් එයින් සමාජට දෙන පණිවිඩය නම් ප්‍රබලයි.

මනමේ නාට්‍යය නම් කර තිබෙන්නේ එහි එන ප්‍රධානම චරිතය වන මනමේ කුමරු අනුවයි. රජකම හිමි ඔහු දහසක් සිසුන් අතරින් දක්ෂතම සිසුවාත් දිසාපාමොක් අදුරුන්ගේ ප්‍රියතම සිසුවාත් ය. ආලවන්ත සිතක් මෙන්ම ප්‍රඥාවෙන්ද හා එඩිතර ගුණයෙන් හෙබි ඔහු සර්වකාලීන තරුණයන්ගේ නියෝජනයක්. මනමේ කුමරිය නාට්‍යයේ ප්‍රධානම චරිතයක්; කතාව මුල සිට අගටම පවත්වාගන්නට උදවු වෙන්නේ ඇයයි. එසේ වුවත් ඇය ප්‍රබල ගති පෙන්නුම් කරන වීර කාන්තා චරිතයක් නොවේ; සුකුමාල, ලාලනීය, ලදබොළඳ හා  අවිහිංසක ගති දක්වන ඇය, කාන්තා පරපුර නියෝජනය කරන සංකේතයක්.

නාට්‍යයේ එන මේ ගීතය මනමේ කුමරිය ගයන, ඇසූ පමණින් සිත් ගන්නා එකක්.

ලප නොම වන් සඳ සේ සොමි ගුණෙනා
ආදර දිනනා සිසු සැවොමා
රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා
වෙමි මම සුවටා දූ කුමරී

නිමල පෙමින් නිති මා ඇති දැඩි කළ
මා පිය ගුරුගේ අණ ලෙසිනා
සේ සිය නේත්‍රා මා රැකි සතතා
සිත නොම රිදවා වෙසෙමි සදා

පියාණන්ගේ ආදරය යටතේ හැදුණු වැඩුණු කුමරියත් තක්සලවේ රැකවරණය යටතේ ශිල්ප හැදෑරූ කුමරුත් මුලින්ම සමාජගත වෙන්නේ සිය විවාහයෙන් අනතුරුවයි. ජීවිතයේ ඇති බැරෑරුම් බව දැනෙන්නට තරම් කාලයක් මේ දෙදෙනාටම තිබී නෑ. ඒ කෙසේ වුවත් අලුතින් ජීවිත ආරම්භ කරන අවස්ථාවේදි  ආදරයෙන් බැඳුණු සිත් වලට දැනෙන හැඟෙන සිතුවිලි මහ වනයක වුව අති බියකරු බව මකා දමාවි, මුලු ලොවම සැණකෙලි ස්වරූපයෙන් දිස් කරවාවි, සියලු ප්‍රශ්න ඉවත දමාවි.

නාට්‍යයේ එන මේ ගීතය මනමේ රසිකයන් මෙන්ම නැරඹූ නැති අයත් අතර සුප්‍රසිද්ධයි.

ප්‍රේමයෙන් මන රන්ජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙළි සෑදි මෙ ලතා…
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගේ…

කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑණ ගිරව් දෙන ගී සින්දු අම බිංදු
සෑම දෙසේ සංගීත ඇසේ…
පිපි තඹරන නද බඹරන පිය රැවු දෙන ලිය කිඳුරන…

පොත පතින් ඉගෙනගන්නා දේ සහ ප්‍රායෝගික දැණුම අතර තිබෙන්නේ සියුම්ව තෝරා බේරා ගතයුතු පරතරයක්. හැඟීම් පාලනය සහ  ප්‍රඥාව මෙහෙයවීම තවත් කාරණයක්. දැනුමෙන් අගතැන්පත් වූවෙකුට වුව එයට කාලාන්තරයක අත්දැකීම් අවශ්‍යයි. එලෙස සිතද්දී මනමේ දෙපළ ගමන අරඹන්නේ හුදෙක් එතරම් කල් තමන් සමාජය ගැන තිබූ විශ්වසය එලෙසින්ම තබා ගනිමිනුත්, තමන්ගේ ශිල්ප ඥානය ගැන ආත්මවිශ්වසයත් පෙරදැරිව මිස ඉදිරි ගැටලු පිලිබඳ පුළුල් අවබෝධයකින් නොවුණා විය හැක.

ඒ සියල්ල අතරින් වුවද කුමරිය මනාව ඉස්මතුකර දක්වන ගුණයක් මට කැපී පෙනුණා; ඒ ගැහැනුන් සතු යැයි පවසන සහජ ඉවයි. අවස්ථා කිහිපයකදීම ඇය ගයනා ගීත වල ගැබ් වූයේ ඒ ගතියයි.

වන් මේ අරන්නේ මන් බිය වන්නේ…

අසන් ම පිය හිමි වූ තතු විලසා ම වදනා මම
සවන් කළෙමි නද මේ රකුසන්ගේ පැමිණෙනා…

තව ඇද්දෝ
පසු එද්දෝ
බිය නැද්දෝ
මෙම ගමනා
යන්ට සටනට සැරසෙන්ට වෙය විගසට
උන්ට මෙහි නේනෙ ලෙස නැවතා

එලෙසින්ම කුමරුද ඔහුගෙ ශිල්ප ඥානයෙන් කුමරියගේ බිය සැක දුරු කරගන්නා සැටි මනමේ නාට්‍යය මනාව පෙන්වයි.  තම ප්‍රිය බිරිඳට සෙනෙහසින් යුතු රැකවරණය සපයන ඔහු ප්‍රේක්ෂක සිත් ඇද බැඳ ගන්නේ බොළඳ පෙම්වතෙකු ලෙස නොව, උත්තරීතර පතිතුමෙක් ලෙසයි.

maname_2

කතාවේ රසය උපරිම වන්නේ වැදි රජු ගේ පැමිණීමත් සමඟය. මනමේ කුමරිය දුටු විගස ඇයට ලොල් වන ඔහු, තේජසින් මෙන්ම ප්‍රචණ්ඩ ගති වලින් යුතු රළු චරිතයකි.

මේ නම් ලෝ ලිය නොම වන්නේ
සුර අඟනක විලසට වේද වන සිඳඟන
මෑව ගන්ට අඹුවට වේය මට වසනාව
කැන්ද ගෙන යන්ට අද මන්ද වෙනු මේ පමාව
කවුද මේ කැනහිලු මූව මම වනසමි
සින්ද උගෙ ගෙල සෙද පෙන්වමිය බල තෙද

තම විවාහක බිරිඳට තමා ඉදිරියේ නොකිය යුතු වදන් ඇසීම පමණක් නොව තම චරිත ඝාතනයත් විඳ දරා සිටිය හැකි පිරිමියෙකු මෙලොව නම් නැත. පළමුව ශිෂ්ට සම්පන්නව වදනින් වැදි රජු මෙල්ල කර ගැනීමට තැත් දරා එය නිෂ්ඵල වූ තැන කායික සටනට එළඹෙන මනමේ කුමරු ඔහුගේ වීර චරිතය ඔපදමා පෙන්වයි. නාට්‍යයේ නම් මෙය ඉහළට ඇදගත් හුස්ම පහළට නොහෙලිය හැකි ජවනිකාවක්. ධනුද්ධර නාමයට සාධාරණයක් ඉටු කරමින්, ප්‍රේක්ෂක බලාපොරොත්තු දල්වමින් මනමේ කුමරු සටන ජය ගනියි. එයත් සමඟම එළඹෙන්නේ සම්පූර්ණ මනමේ නාට්‍යයම විචාරයට බඳුන් කරනා මොහොතයි.

දිරියෙන් යුද කල ඔබ සමගින්නේ
සෙනගින් පිහිටද නොම් සොයමින්නේ
තනියෙන් සටනට සැරසි එමින්නේ
මෙ කගින් ඇයි ඔහු ගෙල සිඳලන්නේ

ඇය වැද්දාට සිත් බැඳගෙනද? නැත්නම් ඇත්තටම වැද්දගේ උතුම් ගුණය හුවා දක්වන්නීද? කුමරිය කඩුව කුමරුන් හට නොදෙමින් මෙසේ කීමට හේතු කුමක්ද?

දහසකුත් හේතුන් අතරින් මට පෙනෙන්නේ ඇයගේ චකිතයයි. ගැහැනු සිතෙහි ඇත්තේ ළයාන්විතබාවයයි, මෛත්‍රියයි, සත්ත්වයන් කෙරෙහි වු දයානුකම්පාවයි.  තමා නිසා ඇති වූ ගැටුම මරණයකින් නිම වෙනවා දකින්නට කැමති ගැහැනියක් සිටීද? තම ස්වාමියා මිනීමරුවකු වීම බල බලා සිටිය හැකි පතිනියක් වේද?

එසේම සටන නිම වූවත් මියයන්නේ නිකම් වැද්දෙක් නොව, වැදි රජෙකි. “මේ අරණේ, හිමගිර සිට දෙරණේ, මාගේ සරණේ වේ, නැතහොත් වේය මරණේ… මුළු දඹදිවටම තොප මහ රජ වුව, මාගෙ විජිතය මෙය, මම වෙමි අගරජ…” ලෙසින් සිදුකල තර්ජනාත්මක බස් වලින් වුව පෙන්නුම් කරන්නේ එක් දෙයකි; වැදි රජ මරුමුව පත් කලත්, මනමේ යුවලට යහතින් වනය තරණය කිරීමට ඇති ඉඩ වැදි සේනව අවහිර කරනු ඇති බවයි. මේ සියලු ප්‍රශ්න සමඟ ඒ අවස්ථවේදී මනමේ කුමරියට එන මානසික පීඩනය කඩුව දීමට පමාවීමට හේතුවන්න්ට ඇති බව මට හැඟෙයි.

වැදි රජුගේ පහරින් මනමේ කුමරු මිය යන්නේ කුමරියට මහ වනයක් මැද කිසිම හවුහරණක් නොමැතිව තනි කරමින්.

ඉන් පසු ඇයගේ දුක්ගැනවිල්ල අසා සිටින ප්‍රේක්ෂකයා කම්පාවට පත් නොවී සිටින්නේ නම් නෑ. නොසිතූ ලෙස මනමේ කුමරු  මරණයට පත් කිරීම ගැන ඇය වැද්දාට දොස් නගන්නේ ඇගේ අසරණ බව විදහ දක්වමින්. රාජගුරුගේ දියණිය වුවත් ඇය ශිල්ප ප්‍රගුණ කර නෑ. නොදන්නා භූමියක එකම රැකවරණයත් නැති වූ ඇයට තම ජීවිතය රැකගැනීම දුෂ්කරයි.

එපමණකින් ප්‍රේක්ෂකයාට වැදි රජු හට දෝෂාරෝපණය කල නොහැක. සටන අරඹද්දී මරණීය තර්ජණ එල්ල කලත්, අවසානයේදී නාට්‍යයේ දැක්වෙන්නේ තම ජීවිතය රැකගැනීමට ඔහු මනමේ කුමරු මැරූ බවක්ය.

maxresdefault

කෙසේ හෝ මනමේ කුමරියට සරණ වීමට වැදි රජු ඉදිරිපත් වෙන්න ඔහුගේ මුල් අරමුණ මුදුන්පත් කරවාගනිමින්. එසේම කුමරියට සරණක් ලැබෙන්නේ ඇයට යම් සැනසිල්ලක් ළඟා කරවමින්. සියුමැලි බොළඳ මනමේ කුමරිය චාටු බස් පවසන්නේ එසේ සරණ වූ වැදි රජුගේ හිත දිනා ගැනීමේ අරමුණින්.

මනමේ රජු ඔබ ගෙල සිඳ ලන්ටා
කඩුව ඉල්ලූ සඳ ඔහු වලකන්ටා
කළ තැත දුටුවද ඔබ ගලවන්ටා
සිතුණේ කඩුව ඔබ අතටම දෙන්ටා

සත්‍ය අසත්‍යතාව කුමක් වුවත්, මෙහිදී පෙනියන්නේ එය වැඩි දුර නොසිතා ඇය කී වදනක් ලෙසයි.  වැදි රජුගේ ආදරය, ප්‍රශංසාව බලපොරොත්තුවෙන් ඈ එසේ කී බව මාගේ හැඟීමයි.

චාටු බසට රැවටී සෙනෙහස දැක්වීම කෙසේ වෙතත් වැදිරජු ඔහුගේ චරිතයට ගැරහීමක් කලා සේයි එය සැලකුවේ. ඔහු කුමරිය හැර යන්නේ එහෙයිනි. ඉන් එහාට දෙයක් ඔහුගෙන් බලාපොරොත්තු විය ද නොහැක. ඔහු වනයේ හැසිරෙන්නෙක්, ශිෂ්ට ලොව ධර්ම ඔහුගේ ධර්ම නොවේ.

කුමරිය මහ වනයේ තනිකර දමා ගිය පසු මනමේ කුමරිය ගයන අවසන් ගීතයේ මෙම වදන් පෙළ සිතීමට බොහෝ දේ ඉතුරු කරයි.

වින්ද මෙවන් දුක මෝඩ මනු ලොව නැද්ද වෙන අඟනා

නාට්‍යය නරඹන බොහෝ පිරිස් මනමේ කුමරියට බැණ වදින බව නොරහසකි. එහෙත් මාගේ  ආකල්පය නම් කතාවේ එන කිසිදු චරිතයක් විවේචනය කිරීමට හේතු නැති බවයි. මනුෂ්‍ය ලොව උපන් අපි ඕනෑම කෙනෙකුට මෙවන් ඉරණමක් අත් විය හැක. සෑම කතාවකම් අවසානය සුඛාන්තයක් යැයි සහතික වීමට අපිට නොහැකි. එසේ වෙද්දී මනමේ කුමරියට වරද පටවන්නට කෙනෙක් පෙළඹෙන්නේ ඇයි?

නාට්‍යයේ රචක මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සියලු චරිත වලට මනා සාධාරණයක් ඉටු කර ඇත. ඔහු චරිත ගෙන හැර කතාව රඟදැක්වීම පමණක් සිදුකර නිහඬව සිටී. ඉතිරිය සිදුවෙන්නේ ප්‍රේක්ෂකයා අතිනි. උසස් ගණයේ නාට්‍යක් ලෙස මෙය විරුදවලි ලද්දේ එහෙයිනි. ඒ බව මනමේ නාට්‍යය නැරඹීමෙන් පමණක් තේරුම් යාවි.

සිත් ඇද ගත් මනමේ ගැන ඔබ බොහෝ විට නොදන්නා කරුණු කීපයක් අවසානයේ දී කියන්නට සිතුණා.

සිත් ගත් එ කුමරුගෙ…
සබයට ගෙන දක්වමි කුමරි දුලා…

දුලා නෙතුපුලා දිසි ස්වරණලතා සේ මේ ලඳා…

…දුලා මේ කුමරිය විවාහ කරගෙන බල පිටත් වෙමි බරණැස් පුරවර…

මනමේ කුමරියගේ නම “දුලා” ද? නැත. බොහෝ දෙනෙක් ගෙන හැර දක්වන මේ කරුණ නම් සත්‍ය නොවේ. දුලා යනු දිදුලන, කාන්තියෙන් යුතු යන්නයි. එය කුමරියට කරනා වර්ණනාවක් මිස ඇයගේ නම නම් නොවේ.

බණ කතාවෙන් ලාංකික අපට මනමේ සමීප වුවත්, එය ඉන් එහා ලොවටද පොදු කතාවක් වීමට ඉඩ ඇත. 1950 දී ජපන් ජාතික අකිර කුරොසව විසින් අධ්‍යක්ෂනය කරන ලද “රශෝමොන්” (Rashomon) චිත්‍රපටිය මනමේ කතාවට ඉතාමත් සමීප කතාවක් ගෙන හැර දක්වයි. ජගත් සම්මානයට පාත්‍රවූ මෙම චිත්‍රපටය වඩාත් සංකීර්ණ ස්වභාවයක් උසුලයි. එහි සංක්ෂිප්ත කතව නම්, වංශවත් සමුරායි කෙනෙකුත්, ඔහුගේ රූමත් බිරිඳත් වනය මැදින් යන ගමනකදී මං පහරන්නෙකුට හසු වී, සැමියා මරුමුවට පත් වී බිරිඳ අවාසනාවන්ත ඉරණමකට හසු වීමයි.

1958 දී නිර්මාණය කරන ලද මනමේ නාට්‍යය නොබෝ කලකින් අවුරුදු 60ක් සපුරයි. කෙතරම් කාලයක් ගියද කෙතරම් නළු නිළියන් ගණනක් යටතේ රඟ දැක්වූද කෙතරම් සැරයක් වුව ආසවෙන් නැරඹිය හැකි අග්‍රගණ්‍ය නාට්‍යයකි මනමේ.

මනමේ නාට්‍යය පිළිබඳව කියන්නට නම් තවත් දේ ඇත. නමුත් නරඹීමෙන් ලැබෙන ආස්වාදය එලෙසම ලබාගන්නට ඉඩ හැරීම වඩාත් සුදුසුයි.

image credits: www.rangahala.lk