මතක

Share

ගීතයක් යනු මතක ජීවමාන කිරීමෙහිලා ද මානව චිත්ත භාවයන්ට ආමන්ත්‍රණය කිරීමෙහිලා ද අපූර්ව හැකියාවකින් යුතු පද මාලාවක, තනු නිර්මාණයක සහ භාවාත්මක ගායනයක අනගි සංකලනයකි. වර්තමානය වන විට ඊට අමතර ව රූප රචනා ද ගීත සඳහා සුප්‍රසිද්ධ අංගයක් ව ඇත. මේ ලිපිය ලියැවෙන්නේ මෑත කාලීන ව බොහෝ හදවත්වල රැඳුණු ගීයක රූප රචනය නොබලා හුදෙක් ගීතය එක්වර ම දැනුණ ආකාරයේ දෘෂ්ටි කෝණයකිනි.

මතක ලන්තෑරුම් අඳුර මැද
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දෙ මම තනියෙන් ම තෙමුණා
කියන්න ම මඟ බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුණේ නැතුවට මගේ කඳුළින්
කමිස උරහිස තෙමී තිබුණා

අහඹු හමුවක වියෝව එතරම් වේදනාත්මක විය හැකි ද? වචනවලට නොපෙරලූ හැඟීම් සමුදායන් දරා ගත් දෙහදක නිහඬ හඬ කෙතරම් භාවාත්මක ද? ලන්තෑරුම් අඳුරක් වනාහී විදුලි බුබුළක මෙන් අධික ආලෝකයක් සහිත අවස්ථාවක් හෝ කෑලි කැපෙන ඝන අඳුරක් ද නොවේ. සෞම්‍ය වූ මෘදු ආලෝකයක් ද තැවරුණු අඳුරක්. ඇයගේ මතකයන් එවැන්නක්. අඳුරු මතකයක් ලෙස හැඟුණත් අඳුරු නොවූ හදවතට සුමුදු එළියක සිහිලැල් ආලෝක පුංජයක් වන් මතකයක්. ඔහුගේ සියුම් හුස්මක සුවඳ දැනෙන්නට තරම් ඇයගේ හදවත ඔහු වෙනුවෙන් ගැහෙන්නේ කෙතරම් නම් සෙනෙහසකින් වන්නට ඇති ද?.සෙනෙහසක සිසිලස නොලද වියළි හදකට නැගුණු ප්‍රේමය  ‘අහම්බෙන් වට මුරුගසන් වැස්සකි.’ නමුත් ඒ සියලු සංවේදනා දැනෙන්නේ ඇගේ හදවතට පමණ ද? හදවතේ නැගෙන පහන් හැඟුමන් ඔහුගේ සවන තබන්නට ඇගේ සිතිවිලි හඬා වැටෙන නමුත් එය පවසන්නේ කෙසේ ද? නිර්නාමික වූ අතිශය සමීප බැඳීමක් තුළ ඇය ඒ බන්ධනය ද රැක ගනිමින් හදේ ඔහු නිසා ගලන සීත දිය දහරා කෙසේ නම් ඔහු වෙත පුදන්න ද? ඔහුට ඒ හැඟුම නොදැනෙනෙවා වන්නටත් පුළුවන. ඔහුට එය නොදැනුණත් ඇය ද නොදැනුවත්ව ම ඇගේ කඳුළින් ඔහුගේ කමිස උරහිස තෙමී ගොසින්. ඇයගේ සෙනෙහස ඔහුට නොපෙන්වන්නට ඇය යත්න දැරුවත් ඔහුට එය නොදැනී ම දැනී අවසන් බවක් ඉන් හැඟවේ.

මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නො තියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි
නොදී ඈතට යන්න තිබුණා
කියන්න ම ගිය වචන අමතක
වුණත් මගෙ හදවතට දැනුණ
නොදැනුණා වාගේ ම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා

නමුත් ඔහුට ඒ සෙනෙහස අනුමත කළ හැකි ද? එතැන රැඳෙන්නේ ප්‍රශ්නාර්ථයකි. ඇයගේ මතකයේ සුවඳ මත ඔහුගේ හුස්ම තබන තරම් ඔහු ඇයට සමීප වූ බව ඔහු ප්‍රතික්ෂේප නොකරයි. ඔහුගේ සමීපවීම තුළ ඇයගේ දිවිය යම් කිසි වෙනසකට ලක් වූ බව ද ඔහු දනියි. සියල්ල සිදු වී ඇත්තේ අහඹුවක් ලෙස ය. ඔහු තවමත් සිතිවිලි අතර දෝලනය වේ. ඒ සමීපවීම තුළ ඇයට ඔහුගේ නික්ම යෑමක් දරා ගත නොහැකිවනු ඇති බවක් ඔහුට හැඟේ. ඇය ව ප්‍රතික්ෂේප කිරීමට ද ඔහුට සිත් නො වේ. ඔහු වෙනුවෙන් ඉපදුණු සෙනෙහස, ඇයගේ සිත් රිදුම නොදැනෙනවා ලෙසින් සිටිය ද ඔහුව ද රිදුමක සහ සතුටක එක වර ගිල්වමින් ඔහුට ද එය හොඳින් ම දැනේ. ඔවුන් එතරම් සමීපවීමක් සිදු නොවිය යුතු වූ බව ඔහුට සිතුණ ද ඇය කෙරෙහි ඔහුගේ හදවත ද විවර ව ඇති බවක් නොපෙනෙන්නේ ද?

පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලෙක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා

ඔහුගේ සිත පරවෙලා ගොසිනි. පෙර යම් යුවතියක් කෙරෙහි වූ බැඳීමක් මේ වන විට මතකයක් වී ඇති සෙයකි. ඒ විරහව තුළ ඔහුගේ ආදරණීය හැඟුම් ගොළු වී මිහිදන් ව තිබී ඇත. එවන් හදවතක් ඒ අයුරින් ම පරවෙලා යන්නට තිබුණායැයි ඔහු පවසයි. එනම් මෙය පවසන අවස්ථාව වන විට තවදුරටත් ඔහුගේ හදවත පර ව ගොස් නැත. මිහිදන් ව ගිය ප්‍රේමණීය බව යළිදු ගොඩගැනුනේ කතා නායිකාව සමඟ ඇති වූ සමීප බැඳීම නිසා බව ඉන් මනා ව හෙළි වේ. එම සමීපවීම තුළ ඔහුගේ හදවත ද පිපී හිනැහුණ බව පෙනේ. ඇයගේ සෙනෙහස නිල් කටරොළු මලෙක නැවුම් නිල් පැහැය වන් ප්‍රබෝධමත් දීප්තියක් රැගත් මුදු පෙමකි. එය පර ව ගිය හදවතකට නොව, පිපුණු හදවතකට පුදන්නට තිබුණ බව ඔහු කීව ද ඒ හඬේ නම් ගැබ් ව ඇත්තේ ඇගේ සෙනෙහස අත්හැරීමට ඇති ලෝභී බවකි.

තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නො කරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නො බලම
බිම බලාගෙන යන්න තිබුණා

මේ තරුණිය හුදෙකලා දිවියක් රසවිඳි අයෙකි. ඇයගේ තනියට ඇය සමග හිඳ ඇත්තේ තනිකම ය. බොහෝ විට මෙය ඇයගේ ප්‍රථම ප්‍රේමය විය යුතු බව අපට ඒ වදන් තුළින් ගම්‍ය වේ.  ඔහුගේ පැමිණීම ඇගේ තනිකම දුරැලා ඇත. ඇය මෙතෙක් ඇය සමඟ දිවි ගෙවූ ‘තනිය’ තනිකර  දමා ඇයගේ දිවිය තුළ සුවිසල් ඉඩක් ඔහු වෙනුවෙන් තිළිණ කර ඇත. ඉතින් ඔහුගේ නික්මීමක් තුළ ඇගේ දිවියේ ඇතිවන හිඩැස  දරා ගැනීමට අපහසුවන බව ඇය දනියි. “එදා ඔය ඇස් දිහා නො බලා ම බිම බලාගෙන යන්න තිබුණා” යැයි පවසමින් ඇය තමාව ම සනසා ගැනීමට නිශ්ඵල වෑයමක යෙදෙන්නී ය. නමුත් සැබැවින් ම ඇයට යළි අතීතයට යන්නට අවස්ථාවක් ලදහොත් ඇය ඒ දෑස් මගහරීවිද? නැත. ඇය නැවතත් ඔහුගේ දෑස තුළ රැඳෙනු ඇත.

ළං වීමකට අවස්ථාව තිබියදීත්, අකමැත්තක් නැති ව තිබියදීත් ළං වීමට නො හැකි නිර්නාමික බැඳීම් ගෙන එන්නේ කුමක්දැ’යි සිතා ගත නොහැකි ය. විටෙක එය සතුටකි. විටෙක පසුතැවීමකි. ඒ බැඳීම පිළිගැනීමටත් නොහැකි ය. ප්‍රතික්ෂේප කිරීමටත් සිතක් නැත.

හිමිවීමක් ද අහිමි වීමක් ද නො වූ එවන් සෙනෙහෙබර නිර්නාමික බැඳීමක මතකයන් තුළ දෙපාර්ශවයේ ම ඇති අප්‍රකාශිත හැඟීම විදහාලන මේ ගීතය හදවතට ම දැනෙන ළයාන්විත සංවේදී පබැඳුමකි.

(‘මතක’ ගීතය අභිශේකා විමලවීර මහත්මියගේ පදවැලක අපූර්ව සිතුවමකි. )

Image courtesy :  https://bit.ly/3gFNOUi

 
Tagged : / /