“මගේ ද්වීතීයික අධ්‍යාපනයෙන් අනතුරු ව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වුණා. භෞතික විද්‍යා විශේෂ උපාධියක් ලබා ගත්තා. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා අතරතුර ම සිව් වන වසරේ දී උසස් අධ්‍යාපනය සඳහා අයදුම් කළා”
තාරුණ්‍යයේ ජව සම්පන්න ක්‍රියාශීලීත්වය රැගත්, නිහතමානී සිනහවකින් මුව සරසා ගත් මේ යොවුන් ශ්‍රී ලාංකේය විදු විරුවා අද විද්‍යා ලෝකය ම මවිත කර අවසන්.
ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය ලෙසින් සැලකෙන හයිඩ්‍රජන් ඔබ අප හඳුනන්නේ ඉතා සැහැල්ලු වායුවක් වශයෙනි. අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා ඇතුළු සූර්යයන් මත ශක්තිය නිපදවෙන්නේ හයිඩ්‍රජන් දහනය වීමෙනි. එම නිසා සමස්ත විශ්වයෙහි ම ජීව ශක්තියෙහි උත්පාදකයා හයිඩ්‍රජන් වායුවයි. හයිඩ්‍රජන් පරමාණු අතර සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මෙම විශාල ශක්තිය උත්පාදනය වෙයි. වායු ආකාරයෙන් කාමර උෂ්ණත්වයේ දී හඳුනා ගත හැකි හයිඩ්‍රජන්වල උෂ්ණත්වය අඩු කර ද්‍රවයක් බවට පත් කිරීමට හැකි බව අදින් වසර 119 කට පෙර එනම් 1898 වසරේදී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ඩෙවා නැමැති විද්‍යාඥයෙකු විසින් සොයා ගන්නා ලදී. වායුවක් ලෙසින් පවතින හයිඩ්‍රජන් ලෝහයක් බවට පරිවර්තනය කළ හැකි බවට 1935 දී මත පළ විය. කෙසේ වෙතත් දශක අටකට පමණ ආසන්න කාලයක සිට මේ පිළිබඳ විවිධ පර්යේෂණ පැවැත්වුව ද මෙම අභියෝගය ජය ගැනීමට කිසිවෙකු ද සමත් වූයේ නැත.
400 – 500 GPa අතර අධික පීඩනයකට ලක් කිරීමෙන් හයිඩ්‍රජන් වායු අණු සම්පීඩනයට ලක් කර අන්තර් අණුක ආකර්ෂණ බල මැඩ පැවැත්වීමෙන් ඉලෙක්ට්‍රෝන විස්ථානගත වීමට සලස්වා ලෝහමය හයිඩ්‍රජන් සාර්ථකව නිපදවීමට ආචාර්ය රංග පී. ඩයස් ඇතුළු ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයීය විද්‍යාඥයෝ පිරිසක් පසු ගිය දා සමත් වූහ.
“හයිඩ්‍රජන් අණු මෙලෙස සම්පීඩනය කිරීමට ඉහළත ම දෘඪතාවයකින් යුත් දියමන්ති භාවිතා කළා. හයිඩ්‍රජන් සතු ව පවතින විසාරී ගුණය හේතුවෙන් එය දියමන්ති තුළට කාවැදීමෙන් ඒවා ඉරි තැලීම්වලට ලක් වීමේ අවධානමක් තිබුණා. නමුත් දියමන්තිවල හැඩය සහ මතුපිට ස්වභාවය වෙනස් කරමින් අවම සහ ප්‍රශස්ත අන්දමින් ලේසර් තාක්ෂණය ආදී විවිධ ක්‍රම යොදා ගනිමින් ඒවා මැඩ පවත්වන්න අපට හැකි වුණා”
මහාචාර්ය අයිසැක් සිල්වේරා මහතාගේ ද නොමඳ සහාය ඇති ව ලාංකික විද්‍යාඥ රංග පී. ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ මෙම අපූරු සොයා ගැනීමට අදාළ පර්යේෂණ වාර්තාව පසුගිය දා ජාත්‍යන්තර “Science” සඟරාවෙහි පළ වුණි. මේ සඳහා ඔවුන් කෙල්වින් අංශක 5.5 ක උෂ්ණත්වයක් ගිගා පැස්කල් 495ක පීඩනයක් යොදා ගත් බව එම වාර්තාවේ සඳහන් කර ඇත. 21 වන සියවසේ සිදු කළ අපූර්වත ම සොයා ගැනීම මෙය බව ද මේ සඳහා අනාගතයේ දී නියත වශයෙන් ම නොබෙල් ත්‍යාගය පවා හිමි වීමට ඉඩ ඇති බව ද විද්‍යා ලෝකයේ මේ දිනවල උණුසුම් කතා බහට ලක් වී ඇත.
ලෝහමය හයිඩ්‍රජන් සොයා ගැනීම එතරම් ම වැදගත්, මානව පරිණාමයේ එක් අගනා සංධිස්ථානයකි. ලෝහමය හයිඩ්‍රජන් සතු ව පවතින විශාල ශක්ති ධාරිතාවය මීට ප්‍රධාන හේතුවකි. ලෝ පුරා විද්‍යඥයන් පවසන්නේ ද්‍රව හයිඩ්‍රජන් මෙන් සිවු ගුණයක පමණ ශක්තියක් ලෝහමය හයිඩ්‍රජන්වලින් ලබා ගත හැකි බවයි. අධික ස්කන්ධයක් හා පීඩනයක් යෙදීමෙන් නිපදවා ගන්නා ලෝහමය හයිඩ්‍රජන් එම පීඩනය ඉවත් කළ පසුව ද ලෝහයක් ලෙස පැවතීම එහි ඇති එක් සුවිශේෂී ලක්ෂණයක් වෙයි. කාමර උෂ්ණත්වයේ දී කිසිඳු වෙනසකින් තොර ව ලෝහමය හයිඩ්‍රජන් පවත්වා ගත හැකි අතර එය විශාල විද්‍යුත් සන්නායකතාවයක් දරා ගත හැකි සුපිරි සන්නායකයක් බවට ද පත්වනු ඇතැයි විද්‍යාඥයෝ මත පළ කරති. කාමර උෂ්ණත්වයේ දී අත් දැකිය හැකි මේ සුපිරි සන්නායකතා ගුණය හේතුවෙන් පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික පරිපථ සංස්කෘතිය විශාල පෙරළියකට භාජනය වනු ඇත. පරිගණක ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග සිසිල් කිරීමට අවශ්‍ය වන්නේ මෙතෙක් භාවිතා වන සුපිරි සන්නායකවල එම ගුණය සෙල්සියස් ඍණ උෂ්ණත්වවලදී පෙන්වීම හේතුවෙනි. එම අවශ්‍යතාවය මඟ හරවා ගත හැකි සුපිරි සන්නායකයක් බවට ලෝහමය හයිඩ්‍රජන් පත් වුවහොත් එය මානව සංහතිය ලද ඉමහත් ජයග්‍රහණයක් වන අතර ම ඉලෙක්ට්‍රෝනික යුගයේ ස්වර්ණමය අවධිය ද වනු නියත ය.ශක්ති සම්ප්‍රේෂණයේ දී සිදු වන 60%ක පමණ අති විශාල ශක්ති හානිය මෙතුළින් වළක්වා 100% ක කාර්යක්ෂමතාවයක් දක්වා වැඩි දියුණු කළ හැකි බවට ආචාර්ය ඩයස් මහතා අදහස් දක්වයි.
පර්යේෂණය අවසන් ය. එය සාර්ථක බවට සනාථ කර ද අවසන් ය. තරඟකාරී ලෝකයේ විවේචන, විවිධ මත දරන්නන්ගෙන් තවමත් එල්ල වෙමින් පවතී. කෙසේ වෙතත් දැන් විවර වී ඇත්තේ ලෝහමය හයිඩ්‍රජන්, සියවසේ අපූර්වත ම සොයා ගැනීමේ ගුණ අධ්‍යයනයට අවස්ථාවයි.
මෙවන් අපූරු සොයා ගැනීමක් ලොවට තිළිණ කරන්නට ලක් බිමේ විදු විරුවෙකුට හැකි වීම සැබවින් ම ආඩම්බරයකි. ඒ විදු විරුවා මේ සරසවි විදු පියසින් බිහි වූ විශිෂ්ටයෙකු යැයි අසන්නට ලැබී ම ඊටත් වඩා ආඩම්බරයකි. ආදර්ශයකි. සියවසේ අපූර්වත ම සොයා ගැනීමට ඔබට සුබ පතනවා සේ ම අනාගතයේදී ද ශ්‍රී ලංකා ධරණී තලය ජාත්‍යන්තරයේ බැබළවීමට ඔබට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු.