අත්වැරදීම

Share

“ආචාර්ය රසල් දෑස් අදහාගත නොහැකි ව සිය පරිගණක තිරය දෙස බලා සිටියේ ය.

එදින උදෑසන සුපුරුදු පරිදි පර්යේෂණාගාරයේ වැඩකටයුතු අරඹන විටත්, යම් කිසි අමුත්තක් ඔහුට දැනී තිබුණි. කරන ලද පරීක්ෂණවලින් නොකඩවා ම අසාමාන්‍ය ප්‍රතිඵල ගලා එන්නට විය.එපමණක් නොව තොල ගාමින් සිටි කෝපි කෝප්පය පවා වෙනදා නොවූ මිහිරි රසයකින් යුතු නොවේදැ’යි ඔහුට සිතුණි.

2050 වසර එළඹෙන විට මිනිස් ජනගහනයෙන් 75% කට වඩා ගොදුරු කරගන්නට තරම් ප්‍රබල වූ වෛරසයක් ගැන පර්යේෂණ මෙහෙයවීම පහසු කටයුත්තක් නම් නොවේ. විශේෂයෙන් ම ජීවත් වන සියලු දෙනා විසඳුමක් පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින මොහොතක එය කිරීම කිසිසේත් පහසු නොවේ. මේ නම් සැබැවින් ම කාලයට එරෙහි ව කරන සටනකි. වෛරසයට නිශ්චිතව ම හේතූ වූයේ කුමක් ද ? මෙතරම් ප්‍රභේද රැසක් ඇත්තේ ඇයි ? සමහරුන් සියලු ප්‍රභේදවලට එරෙහිව ජානමය ප්‍රතිශක්තියක් පෙන්වන්නේ ඇයි? ඒ සියල්ලට ම ඉහළින් මානව වර්ගයාගේ අනාගතය කෙබඳු විය හැකි ද? මේ ආචාර්ය රසල් ද ඇතුලුව දිවි ගලවා ගෙන සිටින 25% ගේ සිතට නිරතුරු ව නැගෙන පැනයන් ය.

වියවුලට පත් ඔහු ඇස් කණ්ණාඩි ගලවා පිස දැමීමට පටන් ගත්තේ සැබෑ සතුරා මෙම වෛරසය ම දැයි සිතමිනි. ”

 දිනය : 2012 දෙසැම්බර් 12

” පුවතක් – ඉන්කාවරුන්ගේ දින දර්ශනයට අනුව ලෝකයේ අවසන් දිනය අදට යෙදී තිබෙන හෙයින් ලෝකයේ යම් මිනිස් සමූහයක් තමන්ගේ සියලු ම දේපළ අවසන් කරමින් තමන්ගේ අවසන් ජීවිතය සතුටින් ගතකිරීමට උත්සුක වන ආකාරය අපිට රටවල් කීපයකින් දැන ගැනීමට හැකියාවක් ලැබුණි. “

2021 ආචාර්ය රසල් ඇතුලු මිනිස් ප්‍රජාවේ අවසානයේ ආරම්භය 2012.12.12 සිදු වූ බව දැනගන්න විට ඇත්තට ම අපි අවසානයට ගොඩක් ආසන්න යි. යම් හෙයකින් අපිට මේ ප්‍රභේදවලට හේතු වූ කාරණාව හොයාගන්න බැරි වුණොත් දිවි ගලවා සිටින සුළු පිරිසේත් අවසානය සනිටුහන් කිරීමට වන බව ආධුනියෙක් වන මටත් නොතේරෙන දෙයක් නොවෙයි.

මම ආචාර්ය රසල්ගේ සහයකයා වෙලා දැනට අවුරුදු 3ක් පමණ ඇති නමුදු, ආධුනිකයෙක් ලෙස තාමත් ආචාර්ය රසල්ගේ පර්යේෂණවලට උදව් දෙමින් මා සිටින්නේ මේ පර්යේෂණ මිනිස් සංහතියට ඉතාමත් වැදගත් වන නිසාවෙනි.

ලෝකයේ බොහෝමයක් විද්‍යාඥයන් පර්යේෂකයන් ගොඩක් අතීතයේ පටන් මිනිස් සංහතියේ අනාගතය සුරක්ෂිත කිරීමට නොයෙකුත් නව සොයාගැනීම් ඉදිරිපත් කළා. බෙහෙත්, යාන වාහන, කෑම බීම පවා නව්‍යකරණයට පත්වූයේ සාමාන්‍ය මිනිසෙක්ට සිතීමට කාලයක් පවා ඉතුරු නොකරමිනි. ආචාර්ය රසල්ගේ පර්යේෂණයත් අනාගත මිනිසුන් ඉලක්ක කරමින් දියත් වූවකි.

ආචාර්ය රසල් ඇමෙරිකානු විද්‍යාඥයෙක් වුවත් කාලයක් සිට පර්යේෂණ පවත්වන්නේ චීනයේ වූහාන්වල තිබෙන අධි ආරක්ෂිත පර්යේෂණාගාරයක යි. මම එන විටත් ඔහු මෙම පර්යේෂණ ආරම්භ කර තිබූ අතර ගත වූ අවුරුදු තුනට ම ඔහු පර්යේෂණාගාරයෙන් එළියට ගියේ තුන් පාරක් පමණි, ඒ ජෛව සාම්පල් එකතු කරන්න ඔහු ම යා යුතුයි කියා සිතා සිටි හෙයිනි.

ටෙස්ලා, ස්පේස් – X, ගූගල්, ඊබේ, අලිබාබා, වෝල්මාට් , ඇපල්, ෆේස්බුක්, මයික්‍රෝසොෆ්ට් වගේ ලෝකයේ බිලියනපති සමාගම් තමන්ගේ ධනවාදී බලය ලෝකය පුරා ව්‍යාප්තියට පත් කරමින් සිටි අවස්ථාවක අනාගතයේ දී මිනිසාට අවශ්‍ය ම දෙයක් ගැන කලින් ඉඳන් තේරුම් අරන් සිටි චීනයේ ප්‍රබල ව්‍යාපාරික සියැං කිං ලී විසින් ඇමෙරිකානු අති දක්ෂ ජාන ඉංජිනේරු විද්‍යාඥයෙක් වන රසල් ඇතුළු කණ්ඩායම චීනයට ගෙන්නගෙන තමන්ගේ අදහස ඔවුන්ට පවසා ඒ පිළිබඳ පර්යේෂණ පවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

අනාගත මිනිසාට ඇත්තට ම අවශ්‍ය මොකක් ද? ධනය සහ බලයේ හිණිපෙත්තට පැමිණි පසු මිනිසාට අවශ්‍ය වෙන්නේ දීර්ඝකාලීන ජීවිතයක්, මේ දීර්ඝකාලීන ජීවිතය ලබාදීමේ විශ්මිත පර්යේෂණය ගැන මා දැන ගත්තේ ද මෙතන සේවයට ඇවිත් අවුරුදු දෙකහමාරක් ගත වූ තැන යි. ඒ රසල්ගේ දින පොතක් අහම්බෙන් කියවීමෙනි.

                                                 Figure 1

2014.03.24 පාන්දර 2.36

අද මගේ ජීවිතේ අමුතු ම දවසක්. සියැං කිං ලී කීව විදියට කොහොම ද මිනිස්සු අමරණීය කරන්නේ කියලා මට තාමත් හරි හැටි විස්වාසයක් නෑ. මිනිහෙක් ඇත්තට ම මැරෙනවා කියන්නේ මොකක් ද ?

‘(1) රුධිර සංසරණ සහ ශ්වසන ක්‍රියාකාරකම් ආපසු හැරවිය නොහැකි ලෙස නතර වීම හෝ

(2) මොළයේ කඳ ඇතුළු සමස්ත මොළයේ සියලු ම ක්‍රියාකාරකම් ආපසු හැරවිය නොහැකි ලෙස නතර වී ඇති පුද්ගලයෙකු මිය ගොස් ඇත’
යනුවෙන් අපි ඉගෙනගෙන තිබුණත් චීන ගුප්ත විද්‍යා සහ වෙනත් රටවල්වල ගුප්ත බලවේගවලින්, මළමිනිවලින් වැඩ ගන්නා ආකාරය සියැං ලී අපිට කියලා දුන්නේ විශ්වවිද්‍යාලයේ උපත සහ මරණය ගැන දේශන පවත්වන මහාචාර්ය කෙනෙක් විදියට කියලා මට හැඟුණු එක ඇත්තට ම පුදුම වෙන්න ඕනෙ කාරණයක් නෙවෙයි. ඔහු කියපු විදියට අපේ පර්යේෂණය කරන්න ඕනේ ඒ ගුප්ත බලවේගවලින් පණ ගත් මිනිස්සුන්ගේ ජාන සම්බන්ධව යි.ටිකක් විහිළු සහගත කතාවක් වුවත් ඔහු අපිට එය ඔප්පු කළ ආකාරය මට තාමත් හිතාගන්න අමාරුයි.

වීදුරු පෙට්ටියක සිටි පිල්ලිය දකිනකල් ම මම හිතුවේ සල්ලිකාර මනුස්සයෙක්ගේ උමතු කතාවක් කියලා මේ අපි අහන්නේ. මම රසල්ගේ දිනපොත කියෙව්වේ නැත්තම් මම කොහොම ද මේ වගේ ලොකු පර්යේෂණයකට තේරෙන්නේ කියලා මම තාමත් දන්නෑ. අපේ රටෙත් මේ විදියට පිල්ලි කතා තියෙනවා. අපේ පරම්පරාවත් ගුරුකම්වලට ටිකක් ප්‍රසිද්ධ යි. විද්‍යාව ඉගෙනගෙන වෙන පැත්තකට යන්න හදපු මාව ඒ විද්‍යාව ම මාව මගේ පරම්පරාවේ කතාවට රැගෙන ආපු එක අහම්බෙන් වුණ දෙයක් නෙවෙයි කියල මට නොතේරෙනවා නෙවෙයි.

මේ පර්යේෂණය පිළිබඳ මා දැනගත් බව අචාර්ය රසල් දැනුවත් වූ විට මට කරුණු පැහැදිලි කරා. මේ පිළිබඳ ව කරුණු පිටත ලෝකයෙන් වසන් කරන්න තමා මට කියලා නැත්තේ. මගේ තියෙන පණ්ඩිතකම සහ කුතුහලය නිසා ආචාර්ය රසල්ගේ දිනපොත කියවපු නිසා මට ද පර්යේෂණාගාරයෙන් පිටවීමට වාරණ දැම්මා. ඒ හේතුවෙන් දැනට මාස හයක් පමණ සිට පර්යේෂණාගාරයෙන් එළියේ සුළඟක්වත් මට දැනී නෑ. ගෙදර අයත් එක්ක කතා කරත් සෑම දෙයක් ම රෙකෝඩ් වන නිසා මෙහි මට උදාවෙලා තියෙන තත්ත්වය කාටවත් කියන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

මේ පර්යේෂණය අවුරුදු තුන හතරක් එක දිගට ම කළත් දැනට උදා වී තිබෙන වියවුල්කාරී වාතාවරණය උදා වූයේ අපි නොදන්න මූලද්‍රව්‍යයක් අපේ ජෛව සාම්පල්වල තිබූ නිසාවෙනි. 2012 න් පසු ලෝකයේ විවිධ රටවල්වලට ඇද හැලුණු රතු වැස්සේ අඩංගු පෘථිවියේ නොවන සංඝටකයක් ජෛව සාම්පල් විදියට ගත් සමහරක් පුද්ගලයන්ගේ රුධිරයේ තිබීම ගැටලු දාමයක ආරම්භය වූවා.

අපිට මෙය නිරීක්ෂණය වූයේ අපේ පරීක්ෂණ ලෙස ‍රහසිගත ව යොදාගත් මිනිසුන් අමුතු හැසිරීම් දක්වන්නේ ඇයිදැ’යි සොයා බැලීමේදී යි. මිනිස්සු නිදාගන්නේ නෑ, ඔවුන් ඇත්තටම කඩිසර වෙලා, සමහරක් අයගේ අත් තුවාල වෙලා ඒවා ගානක් නෑ ඔවුන්ට. ඔවුන් නිරීක්ෂණය කරන්න ගිය අයට ප්‍රචණ්ඩකාරී හැසිරීම් දැක්වීම ඉතාමත් ගැටළුකාරී තත්ත්වයක් වූවා.

අපි මොවුන් මෙසේ හැසෙරෙන්නේ අපේ පර්යේෂණවලින් නිපද වූ වෛරසය නිසා බව අපි තේරුම් ගත්තා. අමරණීය මිනිසුන් ලෙස පරිණාමයක් වීමට අවශ්‍ය DNA කේතයක් සහිත වෛරසයක්. මෙය ඇත්තට ම ජයග්‍රාහී තත්ත්වයක් වෙන්න තිබුණා අපේ විද්‍යාගාරය ඇතුළේ ම මෙම වයිරසය තිබුණානම්.

මට මගේ දෙමව්පියන්ට නිදහසේ කතාකරන්න දැඩි අවශ්‍යතාවක් නොපැමිණියානම්, මම එදා හොරෙන් ම එළියට ගියේ නැත්නම් සමහරවිට මෙම කරදරය ලෝකයට උදා වෙන්නේ නැති ව තියෙන්න තිබුණා. මට අනවසරයෙන් එළියට යාමේ සිද්ධියට දඬුවමක් විදියට ආයේ ගොඩක් කාලෙකට එළියේ කාත් එක්කවත් කතා කරන්න බැරි වෙයි. ආචාර්ය රසල් විශ්වාස කරේ අපි කාගේ හරි අත් වැරදීමකින් අපි හදපු වෛරසය ලෝකයාට මුදාහැරුණ බවයි. ඇත්තට ම එය එසේ නම් අපි මනුෂ්‍ය ඉතිහාසයේ දරුණු ම අපරාධය කළ උන් බවට පත් වෙන එක ඒකාන්ත යි. වයිරස් සමඟ සිටීමෙන් අපි ද ආසාදනය විය හැකි නිසා පූර්ව ආරක්ෂණ විධි සෑම විට ම සෑම දෙනා ම අනුගමනය කළා.

දැඩි මානසික පීඩනයකින් සිටි ආචාර්ය රසල්ට දැන් වෙලා තියෙන්නේ අමරණීය බව පිළිබඳ පර්යේෂණය කරන්නට නොව මෙම වෛරසය කොහොම ද ආවේ, මොකක් නිසා ද මෙහෙම වෙනස් වුණේ කියලා හොයන්න යි. සියැං කිං ලීට මේ පිළිබඳ ව කිසි ම දෙයක් නොකීවේ, යම් හෙයකින් ඔහු මෙම පර්යේෂණවලට මුදල් නොගෙව්වොතින් මිනිස් ජීවිතවල බලාපොරොත්තුව අවසන් වනු ඇතැයි රසල් සිතා සිටි හෙයිනි.

මේ අතර ලෝකයේ විවිධ රටවල්වලින් යම් යම් අමුතු සිද්ධින් වාර්තා වන්නට විය. මිනිස් සපාකෑම් බහුල වීම, මිනිස්සුන් ලේ පෙරාගෙන පොදු ස්ථානවල ගමන් කිරීම. මේ ලක්ෂණ රසල්ගේ පර්යේෂණයට ගත් මිනිස්සුන්ට ද තිබෙන නිසා රසල්ගේ දැඩි අවධානය එම පුවත්වලට යොමු වුණා.

ජෛව සාම්පල් ගැනීමට තමන් පමණක් එළියට ගිය නිසාත් , මම එළියට ගියත් කෝල් එකක් ගන්න පමණක් නිසාත් එමඟින් මිනිසුන් සමඟ ගැටීමක් සිදු නොවූ නිසාත්, වෙනත් කිසිදු පුද්ගලයෙක් වෛරස සමඟ ගැටීම ගොඩක් අඩුවෙන් සිදු වූ නිසාත්, මේතරම් ඉක්මනට ලෝකය පුරා තමන් හදපු වෛරසය ව්‍යාප්ත නොවිය හැකි බව රසල්ට තේරුම් ගියා.

අපි කවුරුත් හිතුවේ නැති විදියට මේ වෛරසය ලෝකය පුරා බෝවීම ඉතා ශිඝ්‍රයෙන් සිදු වුණා. පුදුමේ නම් ඇයි අපිට මේ වෛරසයේ සහ අර රතු වැස්සේ සම්බන්ධයක් තියෙනවා කියල දැනගන්න පුළුවන් වුණේ කියන එක යි. රසල් තේරුම් ගත්ත මේ වෛරසය අපි හදපු වෛරසය නොවන වග. ඇත්තටම මේක ඇවිත් තියෙන්නේ ජෛව සාම්පල් මගින් බාහිරින් අත්වැරැදීමකින්. ඒ සාම්පල් ලැබෙනකල් රසල්ගේ පර්යේෂණ කිසිම ප්‍රතිඵලයක් දැක්වුයේ නැහැ.

රසල්ගේ උගුර කට වේලිලා ගියේ තමන් අලුතින් දෙයක් හොයාගන්න ගිහින් මිනිස්සුන් විනාශ කරන මිනිස්සුන් වෙනස් කරන දැඩි වෛරසයක් ලෝකයට තමන් නෙවෙයි නම් වෙන කවු ද මුදාහැරියේ යන්න සිතීමෙනි.

මම නම් මේ ලෙඩ වුණ මිනිස්සු අපි පොඩි කාලේ බලපු සොම්බි ෆිල්ම් වල සොම්බිලා වගේමයි පේන්නේ, ලෝකේ ගොඩක් නිව්ස්වලත් මේ ලෙඩ වුණ මිනිස්සුන්ට සොම්බි ආසාදිතයින් කියා හැඳින්වීමට පෙළඹිලා තියෙනවා. අපි අපේ පර්යේෂණය වෙනස් කරේ මේ හේතුව නිසායි. අපේ පර්යේෂණවලට ආසන්න ලෙස ස්වභාවික ව හෝ කෘතිම ලෙස වෙන කවුරුන් හෝ මෙම වෛරසය නිපදවා තිබෙනවා. අපි ඒ පිළිබඳ ව පර්යේෂණය මෙහෙයුවොත් අපිට අපේ අමරණීය මිනිස්සුන් සාදාගැනීම ඉක්මන් කරගත හැකි බව ආචාර්ය රසල් කියා සිටියා.

ඒ වුණාට ලෝකයෙන් ගොඩක් අමුතු වාර්තා එන නිසාත්, ගොඩක් වෛරස විවිධ ප්‍රභේද විදියට තියෙන නිසාත් මෙය ඉතාමත් බැරෑරුම් කාර්යයක් වුණා. ගොඩක් රටවල් සහ බොහෝමයක් මිනිස්සුන් සිතා සිටියේ ජෛව යුද්ධයක ආරම්භය මෙය යැයි සහ ලෝකයේ මිනිස්සුන් වඳ වී යාම ඉක්මන්වනු ඇති බව යි. සැබැවින් ම මෙය ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී ආචාර්ය රසල්ට හැමතිස්සෙ ම පෙනී යන කාරණය වන්නේ මෙම වෛරසය පෘථිවියේ ආරම්භ වූවක් නොවන බව යි. එසේ සිතීමට හේතුව රතු වැස්සත් සමග පෘථිවියට ආව ක්ෂුද්‍ර ජීවීන් සමග මෙම වෛරසය ඉතාමත් සමාන ලක්ෂණ දැක්වීමයි.

                                           Figure 2

මේ අතර සමහරක් මිනිසුන් මෙම වෛරසයට ජානමය ප්‍රතිශක්තිකරණයක් පෙන්වීම ගොඩක් ගැටළු සහගත වුණා. සියැං කිං ලීට අවශ්‍ය වූ ලෙස පරීක්ෂණය නොකෙරුණු බව ඔහු ඉක්මනට ම තේරුම් ගත්තා. පර්යේෂණවලට මුදල් යෙදවීමට ඔහු මැලිකමක් දක්වන විට ආචාර්ය රසල් ඔහුට අලුතින් යෝජනාවක් ගෙනාවා.

“මේ වෛරසය අපි කරන වැඩේට ගොඩක් ආසන්න ව යන වෛරසයක්. මෙතන ප්‍රශ්නය තියෙන්නේ වෛරසයේ විවිධ ප්‍රභේද ඉක්මනට ඇතිවීම සහ ඉක්මනට බෝවීම. මේ යන විදියට ගියොත් අනිවාර්යයෙන් 2050 පහු වෙද්දී ලෝකයෙන් 3/4 ක් සදහට ම සොම්බි වෙලා ඉදියි.මට මේකට අලුත් යෝජනාවක් තියෙනවා. ” සියැං කිං ලී ගේ මුදල් විශාල ප්‍රමාණයක් මේ පර්යේෂණවලට යොදවා ඇති නිසා ඔහු ද බලන් සිටියේ එල්ලෙන්න අත්තකි.

” මොකක්ද ආචාර්ය රසල් ඔයාගේ යෝජනාව ? ”

” අපිට අත්වැරදීමකින් හරි අපේ පර්යේෂණාගාරයට මේ වෛරසය ඇතුල් වෙලා තිබීම ඇත්තට ම අපිට වාසියි. අනික දැනට ලෝකයේ කවුරුත් රතු වැස්සත් මේ වෛරසයත් අතර සම්බන්ධයක් තියෙන බව දන්නෑ. මට හිතෙන විදියට අපිට දැනට තියෙන ප්‍රශ්නය ආරම්භ වෙලා තියෙන්නේ 2012 න් පස්සේ, මේක ඇත්තට ම යුද්ධයක්. හැබැයි යුද්ධය කරන්නේ කව්ද කියන එක තමා ප්‍රශ්නය. දැනට ලෝකයේ මිනිසුන්ගෙන් 10% – 20% ක් අතර ප්‍රමාණයක් ජානමය වශයෙන් ප්‍රතිශක්තිකරණයක් හදාගෙන තියෙනවා. අපි කරන්න ඕනේ මේ මිනිස්සුන්ගේ ජාන සාම්පල් එකතු කරගන්න එක සහ රතු වැස්සේ ආරම්භය සොයන එක. මට හිතෙනවා මේක නවත්තන්න පුළුවන් රතු වැස්සේ ආරම්භය හෙව්වොත් කියල.” සියැං කිං ලීට ඕන කරන්නේ සල්ලි විතරයි ඔහුට ඕන වුණා කොහොම ද මේකෙන් ඔහුට වාසියක් වෙන්නේ කියලා දැනගන්න.

රසල් කියා සිටියේ, අදාළ හේතු සෙවීමට ලෝකයේ අනෙකුත් විද්‍යාඥයන්ට වඩා අපි කීප ගුණයකින් ඉදිරියෙන් සිටින බවත්, සොම්බි පිළිබඳ ව තිබෙන බිය නිසා අපි නිපදවන පළමු බෙහෙත ම ලෝකයේ විශාල වශයෙන් අලෙවි වන බවත්‍ ය. අත්වැරදීමකින් හෝ රසල් ඇතුළු පිරිස පටන් අරන් තිබෙන්නේ අනාගත ලෙඩකට බෙහෙතක් සෙවීමට යි. කෙසේ වුවත් රසල්ගේ සිතේ කාටවත් නොකියූ දෙයක් තිබුණු බව සහයකයා විදියට මට තේරුණා.

” ආචාර්ය රසල් , මට තේරෙනවා ඔබ සියැං කිං ලී ට කීව කාරණයෙන් පස්සේ ටිකක් ගැටළු සහගත හැඟීමකින් ඉන්නේ කියලා. ඔබ කැමති නම් මට දැනගන්න පුළුවන් ද මොකක් ද කියලා ? ”

” විජේ , ඔබට එසේ සිතෙන එක සාධාරණයි අනික අවුරුදු තුනකට ආසන්න කාලයක් මාත් එක්ක වැඩ කරපු සහයකයට අනිවාර්යයෙන් මේක කියන්න ඕනෙ. විජේ, ඔයා දන්නවා ද පෘථිවිය ලොකු අවදානමක තියෙන්නේ කියලා? ”

“ඔව් ආචාර්ය රසල් මම දන්නවා, මේ වෛරසය නේ ද ඒ අවදානම? ”

” නෑ විජේ, මේක ඇත්තට ම ඊට වඩා බැරෑරුම් තත්ත්වයක්. ඔයා දන්නව ද පෘථිවියේ මිනිස් ආරම්භය පිටසක්වල වෙනත් ග්‍රහලෝකයක ජීවීන් නිසා සිදු වුණ එකක් කියලා?”

                                                  Figure 3

“ඒක බොරුවක් නේද ආචාර්ය රසල් , මම ඒ ගැන විශ්වවිද්‍යාල කාලේ පොඩ්ඩක් අහලා තියෙනවා ”

” නෑ විජේ, ඒක ඇත්ත , මම මගේ First DNA of Humans පර්යේෂණයේදී හොයාගත්ත මිනිස්සුන්ගේ මුල් පුරුක් වල DNA සහ පසුකාලීන ඒවගේ විශාල පරස්පරයක් තියෙනවා කියලා. මට හැබැයි ඒක පිටසක්වල කියල ඔප්පුකිරීමට සාධක තිබ්බේ නෑ,මොක ද අපි ගාව ඒ තරම් දත්ත නෑ. කොහොමහරි මට හිතෙනවා මේක අත්වැරදීමකින් අපේ පර්යේෂණාගාරයට ආව වෛරසයක් නෙවෙයි කියලා විජේ. මට හිතෙනවා මිනිස්සුන්ට ඇත්තට ම ප්‍රශ්නේ තියෙන්නේ මේ වෛරසයත් එක්ක නෙවෙයි කියලා. බැරි වෙලාවත් මම හරි නම් ඒක ඇත්තට ම භයානකයි විජේ. අපිට අනිවාර්යයෙන් තව මාස හයකින් විතර මේ සොම්බි වයිරසයට බෙහෙතක් හොයාගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නය ඇත්තට ම වෛරසය නොවුණොත් අපේ පෘථිවියේ මිනිස්සු ඔක්කොම අසරණ වෙනවා එයාලගේ මුතුන් මිත්තෝ ඉස්සරහ විජේ. මේක Bio war එකක් විජේ. හැබැයි මේ සාමාන්‍ය මිනිස්සු හිතන විදියට රටවල් අතර නෙවෙයි. සමහරවිට අපේ පෘථිවිය බලන්න ඉක්මනට ම නෑදෑයො එයි. මම හරි නම්, ඒ නිසයි මම බය විජේ.”

“එතකොට මොක ද කරන්නෙ අපි ආචාර්ය රසල් ?”

                                                Figure 4

“දැන් කරන්න තියෙන්නේ මම දෙවනියට කියපු කතාව ගැන හිතන්නේ නැතිව, ඉක්මනට මේ සොම්බි ප්‍රශ්නය විසදන එක. බැරිවෙලාවත් මම දෙවනියට කියපු එක හරි ගියොත් මට හිතාගන්නත් අමාරුයි මිනිස් සංහතියේ අවසානය කොහොම වෙයිද කියල ? ”

අවසානයේ ආරම්භය …

~ Harsha Wijerathna ~

සොම්බි ආශ්‍රිත පර්යේෂණ

● 2005 වසරේ දී රුසියානු විද්‍යාඥයන් පිරිසක් පැය තුනකට පෙර මියගිය සුනඛයන්ට නැවත පණ ඉපදවීමට සමත් වූ බව කියැවිණි. උන් ව හැඳින්වූයේ ‘සොම්බී සුනඛයන්’ ලෙසිනි.

● හිස ගසා දැමීමෙන් පසු මාස 18ක් තිස්සේ ජීවත් වූ කුකුළෙක් පිළිබඳ වරක් ඊශ්‍රායලයෙන් වාර්තා විය. කුකුළා මිය නොගිය බව දුටු උගේ හිමිකරුවා ඉතිරි මුළු කාලය ම උගුරට දැමූ බටයක් මඟින් ඌට කෑම බීම ලබාදුන්නේ ය.

● සොම්බීලා අදහන අයගේ විශ්වාසය වන්නේ ලෝකයේ සෑම ජීවත්වන පන්දහසක් දෙනාට එක් අයෙක් බැගින් සොම්බීලා වෙසෙන බව ය.

● 2012 වසරේ දී ප්‍රකාශයට පත් වූ එක් පර්යේෂණයකින් සාකච්ඡා වූයේ වසංගත රෝගයක් ඇතිවීමෙන් පසු මිනිසුන් සොම්බීලා බවට පත්වන්නට කොපමණ කාලයක් ගතවේ ද යන්නයි. මේ අනුව ලක්ෂ 5 ක ජනතාවක් වසන නගරයක් දින 3ක් තිස්සේ වසංගතයකට ගොදුරු ව පැවතියහොත් දින 3ක් තුළ මළවුන්ගේ ප්‍රමාණය ජීවත්වූවන්ගේ ප්‍රමාණය ඉක්මවා යනු ඇත.

● මළ මිනිසුන්ගේ සෛල ආශ්‍රයෙන් ‘සොම්බී සෛල’ සාදාගැනීමේ උත්සාහයක් 2013 වසරේ දී ලෝකයේ සිදුවි ය. එහිදී හෙළි වූ තවත් කරුණක් වූයේ සිලිකා සෛල ආවරණයක් යෙදීම මඟින් සාමාන්‍ය මිනිස් සෛල මරණයට පත්වන පීඩනයේ දී එම සෛල තවදුරටත් ජීවත් වන බවයි.

● 1980 දී හයිටිය භීතියෙන් ඇලළී ගියේ ක්ලෙයාවියස් නාසිස් නමැත්තා මළවුන්ගෙන් නැගිට පැමිණීම නිසා ය. ඔහු එයට වසර 18 කට පෙර මිය ගිය අයෙකි.

Image Courtesy :

Featured Image : https://bit.ly/31IhHOj
Figure 1 : https://bit.ly/3ExiBvr
Figure 2 : https://bit.ly/3Gu9exk
Figure 3 : https://bit.ly/3IuxWiJ
Figure 4 : https://bit.ly/3IzJ9ys

Read more

References

Reference 1 :  https://www.medicinenet.com/death/definition.htm
Reference 2 : https://www.newstatesman.com/science-tech/2017/08/zombie-studies-scientists-taking-living-dead-seriously
Reference 3 : https://www.scientificamerican.com/article/we-are-the-aliens/
Reference 4 : https://bit.ly/3Gue90T

    

 
Tagged : / / /