හයයි.
හනිකට අඩිය දෙක තිබ්බා
ඉනි වැට ළඟ
බලං ඉන්න
දංකුඩ බත කන්ට
ලිපට ඇට කෝටු අවුලන
ඈ වෙත නෙවේ…
වයි හංදියේ
කොට සායට
සුදු හැට්ටෙ අඳින
ගොම්මනේ
මයෙ රෑ තාරකාව බලන්ට…
ඇවිද්දා… ඇවිද්දා…
කොළඹ මායිමට ම.
මට මනාප වෙයි ද මන්දා…
උජාරුවටයි ඉඳින්නේ
කොළඹ අහස යට…
දැනුණ ද කියලත් හිතුණා…
සීරුවෙන්
මයෙ පපුව ගැහුණා.
ළඟට එයි ද මන්දා…
ඇඟ තෙමා
හීං දාඩියකුත් දැම්මා.
අනේ සිල්වන්ත කෙල්ල
බැහැපත් ද මෙච්චර
මයෙ පපුවේ කැක්කුම දැනිලා…
ලස්සනයි හරිම
හයයි මයෙ වෙලාව
ආදරෙන් ඉඳියා හැමදාම
පාර බලං…
මයෙ කෙල්ල…
මං බලං…
ආදරෙන් පුරෝලා
මයෙ ලෝකෙම
ඈ….
“අනේ සමාවෙයං
මයෙ කෙල්ල…
වැරැද්දක් කරා මං උඹට…
වරෙං යං අපි එළියට…
අඩියේ දූවිලි ගසලා මෙතන…”
මයෙ අතින් අල්ලා නිරුවත් කඳ…
“මහත්තයෝ සීයක්…”
කඳුළු නෙත් දෙක
යැද්දා…
දහඅටේ පොඩි කෙල්ල….
Written By Judith Ruston
Image Link : https://bit.ly/2OCmhDE