උදෑසන කැම්පස් ගමන

Share

“උදෑසන අහස සෝදා පිරිසිදු කළ රෙද්දක් වැනි ය” කියා මා දැනගත්තේ පන් පසිදුවන් හි ඈන්ගෙනි. හැමදාම වගේ කඩිමුඩියේ අම්මාගේ සැර කිරීමට හෝ alarm ඔරලෝසුවේ කරච්චලයට ඇහැරෙන මට නම් ඒ අහස පෙනෙන්නේ ම නැති තරම් ය. ඈන් කොතරම් ආසා වුව ද උදේ යනු මා වැඩි කැමැත්තක් නැති වෙලාවකි. රෑ 12ට යක්කු ගස් නැග බැස්ස පසු වෙනකම් වැඩක් නැත්තම් වැඩක් මවාගෙන හරි කරන මාගේ ඇස් උදේ 4 ට 5 ට ඇරෙන්නට කිසිම කැමැත්තක් දක්වන්නේ නැත.

කොහොමින් කොහොම හරි නැගිටගත්තා යැයි කියා කිසි ම නිදහසක් නැත. 8 දේශනයට යන්න නම් 6 ටවත් බස් එකකට නැග ගන්නට ඕනෑ වේ. පැය දෙකක් ම පාරේ ය. උදේ පාන්දරින් සැමන් ටින් එකක මෙන් තෙරපී යන්නට බැරි නිසා බස් පටන් ගන්නා තැනට ම යන්නේ මඟ හැරුනු නිදි දෙව්දුව කෙසේ හෝ අල්ලා ගන්නා බලාපොරොත්තුවෙනි.

එසේ ගොස් මම කොනේ අසුනකට වී තවත් කාන්තා පරාණයක් එන තෙක් නොනිමි දෑසින් මඟබලා සිටිමි. වැරදිලාවත් ලගින් වාඩිවූයේ පිරිමි පරාණයක් නම් ඉතින් සැප නින්දට සමා අවසර ඉල්ලා, මනා සිහියෙන් යුතු ව ඇස් කන් දල්වා, සය වෙනි ඇසත් ඇරගෙන, අත් පා වකුටු කොට, අසුන තුළ ගුලිවී සැක මුසු දෑසින් අනෙකා දෙස බලමින් යන්නට සිදු වේ. අනේ ඉතින් ඒ වාඩිවූයේ අහිංසක, හිතේ කිසි කහටක් නොමැති පිරිමි පරාණයක් වුවත් කරන්නට දෙයක් නැත. අඳුරන්නේ නැත්තම් ඉතින් සැකකාරයෙකු ම තමා ය.

කොහොමින් කොහොම හරි ඒ ගැටලුව මතු වුනේ නැත්නම් යන්තම් ඇස් පියාගෙන එනකොට ම කොනේ ඉන්න දොස්තර මහතා මහා හඬින් බෙරිහන් දෙන්නේය. බැලින්නම් තෙරපුණු බසයේ ඉතා අපහසුවෙන් එල්ලී සිටින අක්කා කෙනෙක්ට, වැඩිමහල් පුද්ගලයෙක්ට හෝ පොඩි ළමයෙක්ට ඉස්සරහට යන්නයි පස්සට යන්නයි කියන්නටය. අනේ ඉතින් ඇඟිල්ලක් ගසන්නට බැරි තැනක තනි කකුලෙන් ඉන්නා ගමන් එහාට මෙහාට යන කොන්දොස්තර මහතාට ඉඩ දෙමින් ඉස්සරහට පස්සට කොටුපනින එක කරන්නේ කෙසේද? එහෙම ඉඳලා ඉඳලා දණිස් අමාරුව වැඩි වූ තැන කවුරුන් හෝ වැඩේ කරන්ට අමාරුයි කීවොත් ඔහු දවසේ වැරදිකරු වේ. කොන්දොස්තර මහතාට අනුව ඒ පුද්ගලයා එහෙම යන්නට බැරි නම් වාහනයක් ගෙන සැප පහසුවට හිඳගෙන යා යුතුය.

මේ සියල්ලම වෙද්දී තවමත් බසය ගමනින් බාගයක් වත් ගමන් කර නැත. පැය 2ක සැප නින්ද ගැන හිතින් හඬමින් යන අතරතුර බසයේ සිටින ජංගමයෙකුට හිමිකම් කියනා අන්කල් කෙනෙක් මහා හඬින් රටේ අනෙක් කොනේ සිටින්නෙකුට බැන වදින්නට පටන් ගනියි. රටේ තොටේ සිටින දන්නා හඳුනන හැමගේ ඇද කුද බසයේ යන සැමට ඇසෙන සේ ජංගමයාට කියා පාතාල නායකයෙකු මෙන් තමන් හොඳට හොඳ බවත් නරක් කර ගත්තොත් ඉතින් ජීවිතය කටු අකුලක් වන බවත් කියා ඔහු ඇමතුම විසන්ධි කරයි.

අන්කල්ගේ තර්ජන අසා බියට පත් වන රියදුරු මහතා තමන්ගේ අසරණකම් හමුවේ පරණ කෑ බූට් සිහි වී හොටු පෙරාගෙන හඬන සින්දු කැසට් පටය ක්‍රියාත්මක කරවයි. සමහරුන්ට අනුව ඔහු මේවා දමන්නේ නින්ද යෑම වළක්වන්නට ය. එය ද විය හැකි ය. සින්දුවේ ඇති හරය කුමක් වුවත් එක ම අඬන තාලයට කියවනා වචන ගොඩවල්වලට රියදුරු මහතාට තියා නිදාගන්නා අරමුණින් ම බසයට ගොඩ වූ මට ද කෙසේවත් නින්ද නම් ලඟා වන්නේ නැත. නමුත් ඒවායේ ඇති මනෝ කළම්බන තර්ක විතර්ක හා පවුල් ආරවුල්, ආගම සහ ආලය ආදී මාතෘකා පිළිබඳ ව සිතන්නට ගොසින් බසය පාරේ කෙලින් ගෙනියන්නේ කොහොමදැයි යන පැනය නම් සැමදා මසිතට නැගෙන නොපිළිසිඳුනු ගැටළුවකි.

මේ හැමදේම සිතන අතරතුර බසය තුම්මුල්ලේ වටරවුමත් පසු කර හමාරය. උදෙන් ම නැගිට සෝදා පිරිසිදු වී සුවඳ ගල්වා සැදී පැහැදී එළියට බට මම දැන් දහදියෙන් තෙත්වී, මිරිකී, බෑග් රාජයා හා ලැප්ටොප් රාජයා ගෙන, යන්තම් ආසන කොනකින් අල්ලා ගෙන, මුහුණු තහඩුව ඉදිරිපස කොහේ හෝ වද්දා නොගෙන, බෑගය කාගේ හෝ ඇගේ වැදෙන වැදෙන වාරයක් පාසා සමාව භජනය කරනා මෙන් ඉල්ලා වැඳ වැටෙමින් බසයේ දොර වෙත ගාටන්නෙමි. ඉදින් යන්තම් කැම්පස් නැවතුම වෙත ලඟා වී හුස්මක් හැර පෝළිම් ගැසී බසින්නට වන විට ම රියදුරු මහතාගේ කට කහන්නට වී මොනවා හෝ කිව්වේ නම් රියදුරු දෑතට දෙවි පිහිටම සිතින් පතමින් බසයෙන් නික්මෙන්නේ තවත් එක් කුරිරු අප්‍රසන්න උදෑසනක නිමාව ගැන සැනසුම් සුසුමක් හෙළමිනි.

එහෙත් සෑම සංසිද්ධියකට ම අපගමනයක් ඇතිවා සේ මේ සියලු ගෝරනාඩු මැද වගේ වගක් නැති ව නිදන්නට වී තර්ස්ටන් නැවතුමෙන් බසින්නට වන  දිනයන් ද නැතුවා ම නොවේ.

 Image Courtesy :   http://www.dailynews.lk/sites/default/files/news/2017/02/12/z_p08-Stuck.jpg