සුදු පිරුවට ඔතා
උස් වූ නමුණුකුළ වසා
පිරිපුන් මුවකමල සඟවා
ගෙන ගියා ඇගේ ඇකයේ මාව සඟවා
උණු පැනින් නහවා
සුවඳ පැන් ගෙන මාව දෝවා
සියලු කැත කුණු එදා සෝදා
සියලු කිලි කිරි ගහට දුන්නා
නෙතු කඳුළු පුරවා
අරුංගල් ගෙන කනට දමලා
ඇගේ තුරුලට මාව අරගෙන
සිනා වූවා දෑස දල්වා
කඳුළු බිඳුවක බර නෙතට නොව
මතකයන් හැම එහි ගැබ් වෙලා
නමුණුකුළ සිඹ දෝරෙ ගැලුවා
එදා මෙන් මට අදත් සිහිවේ…
මනාලියක වී දමා තැල්ලක්
මාල හත අට ගෙලේ පළඳා
සුදෝ සුදු වන් ඔසරි ඇඳලා
පිටව යන්නට පාද තැබුවා
ඉදිරියට තිබු අඩිය අරගෙන
එන්න සිතුවා ඔබ වෙතට මට
තැබූ පා නැවත අරගෙන
දුව ආමි මා ඔබේ තුරුලට
දෙපා නමදිමි මෑණියනි ඔබගේ
නා රැජිනි ඔබ රැකගත් අපව
නොහැක යන්නට දමා සැණකින්
හුස්ම දුන් මෑණියන් තනිකර
ගිහින් එන්නට දුන්න ඔබ අවසරය අරගෙන
නැකතට ම පා පෙරටු කරගෙන
යන්න යනවා ඔහු සමග අද
ඔබේ ලෙසට ම පතිවත පුරනට
Written by: Iresha Welikanna
Image Courtesy: https://bit.ly/3gaiBb5