අම්මාගේ බත් එක

Share

අවුරුද්දෙ වැඩි කාලයක් කැම්පස් එකේම ඉදල පොඩි නිවඩුවක් ලැබුණම ගෙදර යන්නෙ අම්මගෙ බත් එකේ රස බලන්නම නේද… මං හිතනව මේක කියවන බොහෝ දෙනාගෙ පිළිතුර ඔව් කියල. බෝඩිමක තනිවෙලා කොලොම්පුරයට වෙලා තරඟකාරී ජීවිත ගමනේ අපි හුඟක් අසරණ වෙලා වගේ…

ඇත්තටම අපි හොයපු ජීවිතේ මේක ද කියලත් හිතෙනවා. ඒත් කාටවත් මේ තරඟය අතරමග දාල යන්නත් බැහැ. අපි කොච්චර කිව්වත් දැන්නම් මේ ගෙවන ජීවිතේ එපා වෙලා කියල අපි කවුරුවත් කැම්පස් යන එක නවත්තල ගෙදර යන්නෙ නෑ… ඇත්තටම අපි බලෙන් අල්ලගත්ත තරඟයක් වුණත් අපිට ඕන වුණා කියල මේකෙන් ඉවත් වෙන්නත් බෑ…

ඒත් පොඩි නිවාඩුවක් අරගෙන අපි ගෙදර යන්නෙ අම්මාගෙ ආදරේ හොයාගෙන… අපි ගේ ඇතුලට යන්නෙම අම්මාව හොයාගෙන. ඊටපස්සෙ අම්මගෙන් බත් කටක් කන එක තමයි අපි හැමෝගෙම හිත් වල තියන බලාපොරොත්තුව…. Open එකේ කෑමයි, කොළඹ කඩ වල කෑමයි කාලම තෙහෙට්ටු වුණ අපේ කුසට අම්මාගෙ බත් කටක් කෑවම දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. ඒක හැමෝම මුළු හදවතින්ම විඳිනවා මං හිතන විදියට. ඒ දැනෙන සතුට මතක් වෙද්දිත් හිත පිරෙනවා…

අම්මාගෙ බත් එක කන්න අපි ගෙදර ඉදන් එනකොට යාළුවො බලන් ඉන්නවා කියල අම්මා දන්නවා. ඒ නිසා අම්මා උදේම නැගිටලා පුළුවන් උපරිම විදියට රසට ව්‍යංජන දෙක තුනක් එක්ක බත් එකක් හදල දෙනවා. අපේ අම්මා නම් 6-7 දෙනෙකුට කන්න පුළුවන් බත් එකක් තමයි ඔතලා දෙන්නෙ. කොච්චර කිව්වත් අහන්නෙ නෑ මට උස්සගෙන යන්න බෑ කියලා. එහෙම කියන්නෙපා කට්ටිය එක්ක කන්න කියනව අරන් ගිහින්.

ඒ තමයි අම්මගෙ ආදරේ…තමන්ගෙ දරුවට විතරක් නෙවෙයි අනිත් දරුවන්ටත් තමන්ගෙ දරුවට වගේම ආදරෙයි. මම පාසල් යන දින වල මං කන්නෙ නැති දේවලුත් කෑම එකට බෙදල දෙනව කොච්චර එපා කිව්වත් මට බැන බැන. “ඔයැයි නොකෑවට අනිත් පොඩි උන් කනවනෙ”ඒ තමයි අම්මා. මං හිතන්නෙ හැම අම්මා කෙනෙක්ම ඒ වගේ තමයි.

අම්මලා ගොඩක් සතුටු වෙනවා දරුවන්ගෙ කුසේ ගින්දර නිවලා.අම්මගෙ හිත නිවෙන්නෙ එතකොට. අපි හරියට කෑවෙ නැත්නම් අම්මගෙ හිතට මදි. වෙන මොනවහරි හදල දෙන්න ද අහනව ඒව කන්න බැරි නම්. අපි කන්නෙ නැතුව හිටියම බනිනවා “අනිත් දවසෙ මං උයන්නෙ නෑ.කැමති දෙයක් උයාගෙන කන්න”. ඒ වුණාට ආයිත් ටිකකින් “කැමති දෙයක් කියන්න හදල දෙන්න. නොකා ඉදල ගෑස්ටික් හදාගන්න ද යන්නෙ. “ඒ තමයි අම්මගෙ ආදරේ…

අම්මට ඕනම පුළුවන් තරම් අපිට කවන්න. පොඩි දවස් වල අපි කන්නෙ නැති එළවළු හංගලා බෙදන් ඇවිත් අපිට කවලා අම්මලා අහිංසක සතුටක් ලබනවා. අපිට අම්මාගෙ හොර වැඩේ අහුවුණොත් නෝක්කාඩු කතා ගොඩකි. “හොඳ දෙයක් කෑවම මැරෙනව ද..?” අම්මගෙන් මේ කතාව ගණන් කරන්න බැරි තරම් වතාවක් මං නම් අහලා තියනවා. දැනටත් අහගන්නවා සමහර එළවළු කන්නෙ නැති වුණාම.

ඒත් අම්මා තමයි දන්නෙ අපි කන්න කැමති අකැමති හැමදෙයක්ම. අපි ඒ ඒ දේවල් කන්න කැමති කිරට ද මිරිසට ද තෙලට ද …. කියල දන්නෙත් අම්මා තමයි. දරුවොත් කොච්චර ලොකු වුණත් අම්මගෙ අතින් බත් කටක් කවාගන්න කොච්චර ආසයි ද…? ඒ අම්මගෙ අතින් කන බත් කටේ වෙනම රසයක් තියන නිසා. ඇත්තටම අම්මගෙ අතින් බත් කටක් කෑවම දරුවන්ගෙ කුස නොව හිතයි පිරෙන්නෙ. ඒ අම්මගෙ ආදරයෙන් දයාවෙන් කරුණාවෙන්.

කඩේ හදන කෑම අපිට කවන්න එයාල කෘත්‍රිම රසකාරක යොදාගත්තට අම්මට නම් ඒව ඕනම නෑ.නූතන අම්මලා වෙනස් දැයි මම නොදනිමි. මන්දයත් වර්තමානයේ කෘත්‍රිම රසකාරක ප්‍රරචාරණය බහුජාතික සමාගම් මඟින් සරුවටම කරගෙන යන බැවිනි. අම්මෙකුට දරුවෙකුට රසට ආහාර පිළියෙල කර දී දරුවෙකු සතුටු කිරීමට කෘත්‍රිම රසකාරක අවශ්‍යය නැත.මවකගෙ සෙනෙහස ඒ සඳහා හොඳටම ප්‍රමාණවත් ය.

අම්මලා අපි පුංචි දවස් වල බත් කවන අතරතුර අපිට පෙන්වන ලද හීන අපව මෙතරම් දුරක් ගෙනෙන්නට ඇති දැයි මට විටෙක හිතේ. “බත් ටික ඔක්කොම කාලා ඉක්මණට ලොකු වෙලා ලොකු නෝනා/මහත්තයෙක් වෙන්න” එලෙස පවසන අම්මා අපිට තවත් ඉලක්කයන් බොහොමයක් ජීවිතයට ලබා දුන්නේ අපිට බත් කවන අතරතුරය.

දැන් අපි ඒ ඉලක්ක එකින් එක සපුරාලමින් සිටී. නමුත් දැන් අපිට අම්මාගෙ කතන්දර අසමින් බත් කවාගන්නට තිබූ අවස්ථාව අහිමි වී ඇත. අපි වගේම අම්මාත් ඒ ගැන දුක් වුණත් අම්මා අපි දෙස බලා ඊට වඩා සිය දහස් ගුණයක් සතුටු වේ. කොතරම් රසවත් විවිධ වර්ගයේ ආහාර රස බැලීමට ලැබුණත් දරුවෙකුට සදහටම මතකයේ රැදෙන හිත ඉල්ලන රස තිබුණේම අම්මාගෙ බත් පතේය.

Image Courtesy: Chamathka Gamage

 
Tagged : / /