ඔලිම්පික් ඉතිහාසයේ කඳුළු කතාවක්…

Share

පසුගිය දා සමාරම්භය සටහන් කළ විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය අතර කාගෙත් කතාබහට ලක් වූ මොහොතක් වූයේ අඩසියවසකට පමණ පෙර ඔලිම්පික් තරඟාවලිය අතරතුර දිවියට සමු දුන් ක්‍රීඩකයන් සිහිපත් කරනු වස් පැවැත් වූ මොහොතක නිහැඬියාවයි. ලෝකයේ දහස් ගණනකගේ නෙත් කඳුළු වලින් තෙත් වුණු ඒ මොහොත, 1972 ගිම්හාන ඔලිම්පික් (Summer Olympics – 1972) උළෙල වෙත මතකය ගෙන ගියේ ය.

1972 අගෝස්තු 26 වන දා තරඟ ඉසව් 195ක් රටවල් 121ක ක්‍රීඩකයන් 7173ක් සමඟින් ආරම්භ වූයේ බටහිර ජර්මනියේ (West Germany) ස්වාධීන රජයක් ව පැවැති බැවේරියා ප්‍රාන්තයේ මියුනික් (Munich)  නුවරදී ය. දෙවන ලෝක යුද්ධයෙන් වූ අවමානය වසා ගැනීමට අති සාර්ථක ව මෙම ඔලිම්පික් උළෙල පවත්වන්නට බටහිර ජර්මනියට නැගෙනහිර ජර්මනිය ද (East Germany) හැකි සියලු සහායන් ලබා දුන්නේ ය. තරඟාවලියට පැමිණෙන ඊශ්‍රායල ක්‍රීඩකයන් ඉලක්ක කර ප්‍රහාරයක් ඇතිවීමට නියමිත බව ජර්මානු බුද්ධි අංශ වාර්තා කර තිබුණු අතර එම ක්‍රීඩකයන්ට අමතර ආරක්ෂාවක් ලබා දීමට ජර්මන් රජයට සිදු වුණි. කෙසේ වෙතත් ක්‍රීඩා උළෙලේ නව වන දිනයත් අති සාර්ථක ලෙස නිමා වී දස වන  දිනයක් උදා වූයේ කිසිවෙක් නො සිතූ විරූ මාරයාගේ සෙවණැලි මතින් ය. සැප්තැම්බර් පස් වන දින අළුයම 4:30 ට පමණ “බ්ලැක් සැප්තැම්බර්” නම් වූ පලස්තීන ත්‍රස්තයන් ඔලිම්පික් ගම්මානයට ඇතුළු වූයේ කිසිවකුගේ අවධානයට ලක් නොවීම ය. ඊශ්‍රායල ක්‍රීඩකයන් සිටි හෝටලයට ආයුධ සන්නද්ධ ව ඇතුළු වූ ත්‍රස්ත කණ්ඩායම ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි කාමර වලට ඇතුළු වීමට උත්සාහ කරද්දී ම ඊශ්‍රායල කණ්ඩායමේ බර එසවීමේ පුහුණුකරු මොශෙ වේන්බර්ග් (Moshe Weinberg, 33) ඔවුන්ගේ ගමන අවහිර කළේ ය. ඔහුගේ උපරිමයෙන් ත්‍රස්තයන්ගේ ගමන අඩාළ කර අනිත් ක්‍රීඩකයින්ට ඉවත් වන ලෙස කෑ ගසා දැනුම් දුන් නමුත් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඔහු මත එල්ල වූ වෙඩි පහර කීපයකින් පසුව ඔහු මරණයට පත් වූයේ ය. ඔහුගේ කෑ ගැසීමේ හා වෙඩි ප්‍රහාරයේ හඬින් අවදි වුණු ක්‍රීඩකයන් පලා යාමට උත්සාහ කරද්දී පැන යාම වෙනුවට තම සගයින් බේරාගැනීමට ඉදිරිපත් වුණු බර ඉසිලීමේ ක්‍රීඩක යොස්සෙෆ් රෝමානො (Yossef Romano, 31) පිහියක් අතට ගෙන පහර දෙන්නට පටන් ගත්තේ ය. ඒ සමඟ ම ඔහු මත පතිත වෙඩි වරුසාවෙන් පසු රොමානො අවසන් සුසුම් හෙළුවේ ය. එකොළොස් දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා කණ්ඩායමේ නව දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් බවට පත් වී දෙදෙනෙක් මෙලොව හැර ගොස් තිබුණේ ය.

සිදුවීම ආරංචි වුණු සැණින් එහි පැමිණි දෙස් විදෙස් ඔලිම්පික් මාධ්‍යවේදීන් ලොව පුරා මෙම සිදුවීම වාර්තා කරන්නට විය. මෙය සජීවී ව නරඹන්නන් අතර ඊශ්‍රායල නායකයන් වූ අතර ඔවුන් තම මිතුරු රජයක් වූ ජර්මනිය සමඟ සාකච්ඡා කර තම ක්‍රීඩකයින් බේරා ගැනීමට සිතුව ද, බැවේරියා ප්‍රාන්තය ස්වාධීන ව පාලනය කළ රජයක්  නිසා බැවේරියාව සමඟ සාකච්ඡා කිරීමට ඊශ්‍රායලයට සිදු විය. ලොව දක්ෂත ම රජයක් වූ ඊශ්‍රායලය තම දක්ෂත ම බට පිරිස බැවේරියාවට යැවීමට අවසර ඉල්ලා සිටිය ද ඊට අවසර නො දුන් බැවේරියාව පවසා සිටියේ තමන්ට සියලු දේ බලා ගත හැකි බව ය.

ඊශ්‍රායලයේ සිර කර සිටි සිරකරුවන් 237 දෙනෙකු නිදහස් කිරීමත්, ජර්මනිය තුළ සිර කර සිටි සිරකරුවන් දෙදෙනකු නිදහස් කිරීමත්,  ඒවා ඉටු වූ පසුව ඔවුනට ජර්මනියෙන් පිටත්වීමට අවසර දෙන ලෙස බ්ලෑක් සැප්තැම්බර් (Black September) ත්‍රස්තයන් ඉල්ලීම් කර තිබුණු නමුත් සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්‍රායලය කැමැත්තක් දැක්වූයේ නැත. ත්‍රස්තයන් සමඟ පැවති සාකච්ඡා වට කිහිපයකින් පසුව ඔවුන් මියුනික් ගුවන්තොටුපොළට රැගෙන ගොස් පලායාමට ගුවන් යානයක් ලබාදීමට බැවේරියාව බලධාරීන් එකඟ වී තිබුණේ ය. හිස් ගුවන් යානයක් රඳවා අවට වෙඩික්කරුවන් යොදවා ත්‍රස්තයන් අල්ලා ගැනීම බැවේරියානුවන්ගේ සැලැස්ම වූ නමුත් බ්ලැක් සැප්තැම්බර් කණ්ඩායම කෙතරම් දරුණු ද යන්න ඔවුන් දැන සිටියේ නැත. සැලසුම් කළ ලෙසට ම ක්‍රීඩකයින් හා ත්‍රස්තයින් බස් රථයකින් ගුවන්තොටුපොළ වෙතට රැගෙන ආවේ ය. ක්‍රීඩකයන් නිදහස් කර ලිබියාවට පලා යාමට ගිය නමුත් ගුවන් යානයට ඇතුළු වූ ත්‍රස්ත නායකයා එය පරික්ෂා කිරීමෙන් අනතුරුව එහි කිසියම් හෝ අනතුරක් ඇති බව වටහාගෙන පොලිස් නිලධාරීන් බලා සිටියදී ම එක් මොහොතකින් නිරායුධ ක්‍රීඩකයින් නව දෙනා වෙඩි තබමින් බෝම්බ එල්ල කරමින් ඉතාමත් කුරිරු ලෙස මරා දැමුවේ ඔවුන්ගෙන් ඔලිම්පික් සිහින පමණක් නොව ජීවත්වීමේ ආසාව ද අවසන් කරමින් ය. පොලිස් නිලධාරීන් හා ත්‍රස්තයින් අතර සිදු වූ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරියෙක් හා ත්‍රස්තවාදීන් පස් දෙනකු මිය ගිය අතර ත්‍රස්තයන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ද පත්වුණේ ය. මියගිය ත්‍රස්තවාදීන්ගේ දේහයන් ලිබියාවට ගෙන ගොස් පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව ආදාහනය කෙරිණි. ක්‍රීඩකයන්ගේ දේහ ඔලිම්පික් ධාවන පථයට ගෙන ගොස් අවසන් ගෞරව දක්වා නැවත ක්‍රීඩා උළෙල ආරම්භ කෙරිණි.

පසු කලක තවත් ත්‍රස්තවාදී බ්ලෑක් සැප්තැම්බර් (Black September) කණ්ඩායමක් ජර්මානු ගුවන් යානයක් පැහැර ගත් අතර ඉතිරි ත්‍රස්තයින් ද මුදා හරින්නට ජර්මනියට සිදු විය. එම ත්‍රස්තයින් ලිබියාවේ දී වීරයන් ලෙස පිළිගන්නා ලදී. නමුත් සිය ඔලිම්පික් ක්‍රීඩකයන්ට වුණු අසාධාරණ මරණයට සාධාරණයක් ඉටු කිරීමට ඊශ්‍රායල රජයට අවශ්‍ය විය. ඒ අනුව ඊශ්‍රායල අගමැති ගොල්ඩො මේර්ගේ (Goldo Meir) අනුදැනුම ඇතිව විශේෂ රහස් මෙහෙයුමක් දියත් කළ අතර “ඔපෙරේශන් ව්‍රොත් ඔෆ් ගොඩ්” (Operation Wrath Of God) නම් මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වූයේ  මියුනික් සංහාරයට සම්බන්ධ වුණු ඉලක්ක එකොළහක් විනාශ කිරීමයි. වසර ගණනාවක් පැවති මෙම මෙහෙයුමෙන් පසුව ඒ සියලු දෙනා සදාකාලික ව නිහඬ කරන්නට ඊශ්‍රායල බලධාරීහු සමත් වූහ.

වසර 50කට ආසන්න කාලයක් ආරම්භක උත්සවයක දී මියුනික් සංහාරයෙන් දිවි අහිමි වූවන්ට ගෞරව කරන ලෙස වින්දිතයන්ගේ පවුල්වලින් ඔලිම්පික් සංවිධායකයන්ගෙන් ඉල්ල සිටිය ද නැවත නැවත එම ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. නමුත් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී පළමු වරට මියුනික් හි වින්දිතයන් සිහිපත් කර ඔවුනට ගෞරව දැක්වීය. මෙම පියවර ඊශ්‍රායල අගමැතිනි නෆ්තාලි බෙනට්ගේ පැසසුමට ලක් විය. එසේම 2005 වසරේ දී  තිරගත වූ “මියුනික්” (Steven Spielberg’s film MUNICH) නම් චිත්‍රපටයට පාදක වූයේ ද මෙම සිදුවීමයි.

Image courtesies:

Reference:

 
Tagged : / /