මගේ නංගී

Share

“මගේ නංගී…”

“මාත් එක්ක ඉන්නවා නේද?”

“මගේ නංගී මාව දාලා යන්නේ නෑ නේද?”

වාට්ටුවට එන හැම වෙලාවක ම සුමේධට තියෙන්නේ එකම ප්‍රශ්නය.

මානසික රෝහලක වැඩ කරනවා කියන්නේ සාමාන්‍ය මිනිහෙකුට වඩා ජීවිතේ යතාර්ථය අවබෝධ කරගන්නවා කියන එකයි. ජීවිතේ විවිධ ප්‍රශ්න නිසා මානසික අවපීඩනෙන් ඉන්න මිනිස්සු අවසානයේ ගොඩක් දුරට නවතින්නේ රෝහල්වල. ඒ ප්‍රශ්න මොන වගේ ද? කොයි වෙලාවෙ ද එන්නේ? කිසිම දෙයක් හරියට ම කියන්න බෑ.

එය එසේ විය යුතු ද?
මිනිස්සු ජීවිතේ විවිධ ප්‍රශ්න නිසා මානසික ව වැටිලා රෝගීන් විය යුතු ද?
රෝගීන් වීමට පෙර අඳුරගන්න බැරි ද?

මම දන්න විදියට ගොඩක් රෝගීන්ට රෝගීවීමට ගොඩක් බලපෑම ඇති කරලා තියෙන්නේ තමන්ගේ සමීපතමයන්ගේ ලොකු වෙනස්වීම් හෝ සමීප දේවල් හෝ පුද්ගලයන්ගේ අහිමිවීම් දරා ගැනීමට ඇති නොහැකියාව.

සුමේධගේ කතාව ගොඩක් වෙනස්. සුමේධ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩක් පිටිසර ගමක හිටිය දක්ෂ කොල්ලෙක්. ගෙදර එක ම පිරිමි ළමයා. සුමේධගේ පියා සුමේධ ශිෂ්‍යත්වය ලියන කාලේ අලියෙක් ගහලා නැතිවෙලා. හේනක් වගා කරන් ජීවත් වෙන සුමේධලගේ පවුලේ, සුමේධට ඉන්න වටින ම පුද්ගලයා එයාගේ නංගි.

“නංගී අද ඉස්කෝලේ යන්නේ නැද්ද අම්මේ? තාමත් නිදි මොක ද?”

“ඒකිට මොන යකා වැහිලා ද මන්දා, ඊයේ රෑට හරියට කෑවෙත් නෑ, තාම නිදි.”

සුමේධට කතාව ඇල්ලුවේ නෑ. සුමේධ ගිහින් නංගි ව ඇහැරෙව්වා.

“මගේ නංගී අද ඉස්කෝලේ යන්නේ නැද්ද? පරක්කු වෙයි. “

“යන්නං අයියේ, මට ටිකක් හරි නෑ වගේ, කැරකිල්ල වගේ, කොන්දත් ටිකක් රිදෙනවා.”

“ඉස්කෝලේ යන්න අමාරුයි නං අද ඉන්න නංගී ගෙදර. අපි බෙහෙත් ගමු.”

“නෑ අයියේ බෙහෙත් ඕනෙ නෑ, මම යන්නං, දවල් වෙද්දී අඩුවෙයි.”

නංගිගේ කතාව නිසා සුමේධ නංගී හොඳින් බව අනුමාන කළා.

නංගී ඉස්කෝලේ යන්නේ සුමේධත් එක්ක බයිසිකලේ. නංගි ව පිටිපස්සෙන් තියන් සුමේධ කිලෝමීටර් දහයකට ආසන්න ගානක් බයිසිකලේ පදිනවා. නංගිට හොඳින් උගන්නනවා කියන බලාපොරොත්තුව නිසා සුමේධට කිසිම මහන්සියක් දැනෙන්නේ නෑ.

මම රෝහලට ඇවිත් දැනට මාස තුන යි. මේ කාලේ ඇතුළත සුමේධ ගැන හොයන්න හිතුණේ ගොඩක් තරුණ ළමයෙක් මොක ද මේ මානසික රෝහලේ ඉන්නේ කියන කුතුහලය නිසාත්, ඇත්තට ම සුමේධට මොකද වුණේ කියලා දැනගන්න ඕන වුණ නිසාත්.

සුමේධ ව බලන්න එන අම්මා ඇඬූ කඳුළෙන් මට කියපු කතා, මගේ විවේක කාලේ සටහනක් විදියට දාන්න තීරණය කළා. ඇත්තට ම ජීවිතේ තේරුම් ගන්න මට ගොඩක් උදව් වුණා, සුමේධගේ කතාව.

සුමේධ නංගි ව ඉස්කෝලෙට දාලා නැවත එන්නේ හේනට ඕන පොහොර, ගෙදරට ඕන අඩුම-කුඩුම ටිකත් අරගෙනම යි.

සාමාන්‍ය විදියට එදා හේනෙයි, ගෙදරයි වැඩ ටික සුමේධ කළා. සුමේධගේ අම්මයි, සුමේධයි එකතු වෙලා හේනේ වැඩ කරලා ඒ එළවළු ටවුමේ පොළේ විකුණලා තමා එයාලගේ වියදම් පිරිමහ ගන්නේ.

නංගි ඉස්කෝලේ ඇරෙන වෙලාවට සුමේධ සුපුරුදු විදියට එදා ඉස්කෝලේ ළඟට ගියා. නංගි ගේට්ටුව ළඟ නැති නිසා කලබල වුණ සුමේධ, ඉස්කෝලේ ඇතුළට ගිහින් බැලුවා. ගුරු විවේකාගාරයේ ඉන්න ගුරුවරයෙක්ගෙන් නංගි ගැන විමසූ විට නංගීට අසනීප වෙලා ඉස්පිරිතාලෙ අරන් ගිහින් කියල සුමේධට දැනගන්න ලැබුණා.

ගොඩක් කලබලයට පත් වුණ සුමේධ ඉක්මනට ම ඉස්පිරිතාලෙට ගියා.
නංගී ඉස්පිරිතාලෙ ඇඳක් උඩ ඉන්නවා දැක්ක සුමේධ,

“මොක ද මගේ නංගී වුණේ???”

කලබලයෙන් සහ දුකෙන් විමසුවා.

“උදේ පොඩි කලන්තයක් ආවා අයියේ, මැඩම්ලා ඉස්පිරිතාලෙ ගෙනාවා ඇයි දන්නෑ… ඩොක්ටලාත් මොකුත් කීවේ නෑ.”

සුමේධ කලබලෙන් සහ දුකෙන් ගිහින් ඩොක්ටගෙන් නංගී ගැන විස්තරේ ඇහුවා.

“මේ සුමේධගේ නංගි ද? ඇත්තට ම කණගාටුයි සුමේධ, නංගිගේ වකුගඩු දෙක ම නරක් වෙන ගමන් තියෙන්නේ, බෙහෙත්වලින් මාස කීපයක් ලෙඩේ පාලනය කරන්න පුළුවන් වෙයි. මාස දෙකකින් ආයෙත් පරීක්ෂණයක් කරන්න එන්න. අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා.”

“අනේ! ඩොක්ට මේ මගේ එක ම නංගී, එයාට කරදරයක් වෙන්නේ නැතිවෙයි නේද?”

“බයවෙන්න එපා සුමේධ අපි මාස දෙකකින් බලමු කොහොම ද තත්ත්වේ කියලා. දැනට බෙහෙත් ටිකක් තියෙනවා, ඒවා බොන්න දෙන්න”

සුමේධගේ ජීවිතේ වගේ ඉන්න නංගිට හැදුණ අසනීපය සුමේධට ගොඩක් හිතට බලපෑවා.
නංගි ව ගෙදර ගිහින් බෙහෙත් දෙන්න පුළුවන් කීව නිසා සුමේධ අම්මත් එක්ක ඇවිත් ඊළඟ දවසේ නංගි ව ගෙදර ගෙනාවා.

හේන වගා කරන්න ගත්ත ණය නිසා පීඩාවෙන් ඉන්න සුමේධට නංගිගේ අසනීපය සහනයක් නම් දුන්නේ නෑ. සුමේධ ඒ වුණාට නංගිගේ මූණ ඉස්සරහ කිසි විටෙකත් අසීරු බවක් පෙන්නුවේ නෑ. මාසයක් පමණ නංගිට බෙහෙත් කරමින්, නංගි ව සුව කර දෙන මෙන් බාර-හාර වෙමින් කාලය ගියා.

නංගිගේ මූණෙන් නං ලෙඩේ අඩු වන බවක් පෙනුණේ නෑ. කොන්දේ අමාරුව එන්න එන්න ම වැඩි වෙනවා. සුමේධට නංගි විඳින වේදනාව දරාගන්න අමාරුයි.

හේනෙන් කඩා ගත්ත එළවළු ගෝනි ටිකක් පොළේ විකුණලා එන්න, එදා උදෙන් ම සුමේධ යන්න පිටත් වෙන්න හැදුවා. ගෙදරින් එළියට බහිද්දී හූනා කෑ ගැහුවත් සුමේධට ඉක්මනට ම මේ එළවළු ටික පොළට ගෙනියන්න ඕනෙ නිසා ඒ බව ගණන් නොගෙන ම පිටත් වෙන්න සූදානම් වුණා.

“අම්මා…නංගි ව බලාගන්න. මම එද්දී ටිකක් හවස් වෙයි. මේ ටික විකුණන්න ඕනෙ අද… “

සුමේධගේ තීරණාත්මක දවස වුණේ එදා කියලා සුමේධ කිසි විටෙකත් හිතන්නේ නැති ව ඇති.

දවල් වෙද්දී ණයකාරයෙක් ගෙදරට ඇවිත්,
“තමුසෙලා දැනට මාස තුනක පොලී සල්ලි දීල නෑ. ඉක්මනට ම සල්ලි ගෙවන්න වෙයි. නැත්තං ගමේ ඉන්න නෙවෙයි…මාසයක් කල් දෙන්නං, ඔක්කොම හිඟ පොලී ගෙවන්න වෙයි.”

ලොකු ආරවුලක් යන බව නංගිට වැටහුණා. අම්මාට එළියේ ඉඳන් මිනිස්සු වගයක් ණය අරං ගෙවාගන්න බැරි වුණ නිසා බනින එක නංගිට ගොඩක් දරාගන්න අමාරු වුණා.

මිනිස්සු බැනලා ගියා. අම්මා අඬ අඬා කුස්සියට යනවා නංගි දැක්කා.
“හේනේ වැඩත් නැතිකොට දැන් කාලකණ්ණි ලෙඩකටත් බෙහෙත් කරන්න වෙලානේ…මොන කරුම ජීවිතයක් ද මේ! ඇයි දෙයියනේ අපිට මෙහෙම වෙන්නේ?”

අම්මා තමන්ට ම බැනගන්නවා නංගී දැක්කා. නංගි ගොඩක් මානසික ව පහළට වැටුණා.

ළමයෙක්ට දරාගන්න අමාරු වන ගොඩක් දේවල් මේ ලෝකේ තියෙනවා. ගොඩක් වෙලාවට මිනිස්සුන්ට ඒක තේරෙන්නෑ. සුමේධගේ නංගිගේ ලියුම සුමේධගේ අම්මා මට දුන්නේ මම මේක හොයන නිසාමයි.

2014/08/03
මගේ රත්තරන් අයියේ,

මගේ අයියගේ ආදරේ මට මේ ලෝකේ ලැබුණ වටිනා ම දේ කියන්න පුළුවන් අයියේ. මගේ අයියා මම හින්දා තවත් දුක් විඳින්න ඕනෙ නෑ. මගේ අයියේ මම කොහොමත් මේ ලෙඩේ හින්දා ගොඩක් කල් ජීවත් වෙන්නේ නෑ.

මගේ අයියේ මට ඔයාට තවත් වදයක් වෙන්න බෑ. මගේ අයියේ, මගේ රත්තරන් අයියා හොඳින් ජීවත් වෙන්න ඕනෙ. අයියේ අම්ම ව හොඳින් බලාගන්න.

අයියේ, මම හැමදාම ඔයාලට ආදරෙයි. මම ගොඩක් අවාසනාවන්ත යි. අයියේ මගේ කරුමයක් නිසා හැදුන ලෙඩේට ඔයාලා විඳවන්න ඕනෙ නෑ. මගේ අයියා හොඳින් ඉන්න ඕනෙ.

බුදුසරණයි මගේ රත්තරන් අයියේ,
නංගී

ණය පොලී ඉල්ලන්න පැමිණි ණයකාරයන්ගේ දෝෂාරෝපණ නිසා මනස ව්‍යාකූලයෙන් කියවපු දේවල් දුවගේ මනසට එතරම් බලපායි කියලා ඒ අම්මා දැනගෙන නොසිටින්න ඇති.

අම්මා, හිසේ තිබෙන ප්‍රශ්නය අමතක වෙන්න දෝ සිතා හේනේ වැඩක් කිරීමට පිටත්වුණා.

නැවත ගෙදර එනවිට දැක්කේ තමන්ගේ දුවගේ අවසාන බැල්මයි. දුවගේ පසෙකින් තිබූ කෘමිනාශක බෝතලය අම්මට ඔක්කොම පැහැදිලි කළා. ඒ වන විටත් හුස්ම තිබූ දුව දැකීමෙන් මව කෑගැසුවේ ,

“අනේ මගේ දුවේ! මොකක්ද රත්තරනේ මේ කරගත්තේ…”

මවගේ කෑගැසුම නිසා අහළ පහළ ගෙවල් වලින් සුමේධගේ ගෙදරට ආවා. ඉක්මනට ම රෝහලට ගෙනියන්න හැදුවත් ඒ වන විටත් ගොඩක් පරක්කු වැඩියි.

සුමේධ පොළේ සිට නැවත පැමිණෙන වෙලාවේදී ම මේ සිද්ධිය සිදු වී තිබීම, සුමේධගේ ජීවිතය දෙවියන් විසින් පරීක්ෂණයකට ලක් කිරීමක් දෝ මට සිතෙයි.

මිනිස්සු මානසික ව වැටෙන වෙලාව අපිට තීරණය කරන්න බෑ. මිනිස්සු මානසික ව වැටිලා, දරුණු ලෙස එහි එල්බ ගෙන සිටීමේ ප්‍රතිඵලයක් විදියට සුමේධ වගේ අය තවත් අනාගතයේ දී අපි ගාවට එන එක නම් මට ගොඩක් විශ්වාසයි.

බයිසිකලේ කිලෝමීටර් ගානක් පැදලා මහන්සියෙන්, තමන්ගේ නංගිගේ බෙහෙත් බඩුත් අරන් ආපු සුමේධ, තමන්ගේ නංගී සදහට ම නිදාගෙන ඉන්නවා දැකීමෙන් මහත් සේ කම්පනයට පත් උනා.

“මගේ නංගී…”

“මාත් එක්ක ඉන්නවා නේද?”

“මගේ නංගී මාව දාලා යන්නේ නෑ නේද?”

ජීවිතේ කියන්නේ අපි හිතන තරම් සුන්දර දෙයක් නෙවෙයි. ජීවිතයට එන අභියෝග අපි නොසිතන මොහොතවල්වල දී අපිට මුණගැහෙනවා. ඒ හැම ප්‍රශ්නයකදී ම මුහුණ දීමට තරම් මානසික ඒකාග්‍රතාවයක් අමාරුවෙන් හරි අපි හදාගත යුතු නොවේ ද?

මිනිහෙකුට ජීවිතේ අත්විඳින්න පුළුවන් දරුණු ම වේදනාවක් තමයි ප්‍රියයන්ගෙන් වෙන්වීම. ජීවිතේ දී කොතැනක දී හෝ අපිට ඒ වේදනාව ලැබෙනවා කියලා මට සුමේධගේ අම්මාගේ කතාවෙන් මනාවට තේරුණා.

නමුත් කවදාහරි, කොතැනක දී හෝ අපේ ප්‍රියයන්ගෙන් අපි වෙන්වෙන බව සුමේධ කලින් දැන සිටියා නම්???

 

Written by: Harsha Wijerathna

Image courtesies:

  • Featured Image: https://bit.ly/3AwcTI2
  • Content Image: Author
 
Tagged : / /