මගේ ලෝකය

Share

“මහත්තයෝ, මේ නිකිණි මහට මට පනස් හතකුත් පිරෙනවා, ඕං ඔය පේන්නෙ මං උපයාපු මගෙ රාජධානිය තමයි. පවුලක්, පන්සලක් නැති මගෙ මුළු ජීවිතේ පුරාවටම මං සෙනේහෙන් රැක්කෙ මෙයාව තමයි ආයුබොවංඩ ”
මුව පුරා ඇඳී ගිය ආඩම්බර සිනහවකුත් සමඟින්, ‘පුංචිරාල ගොවිමහතා’ සිය රසවත් පුවත මෙසේ අප වෙත දිගහැරියේ ය.

වළා පෙළ නිති සක්මනෙකි යස විසිරිලා මුළු ආකහේ
වෙළා සුසිනිඳු පටල මිහිදුම් සේල මනරම් රෑ දොහේ
ගලා හැලෙනා ශ්වේත සඳකැන් රසින් මත්වීලා ඔහේ
මුළා වූ ගත නිවා සනහන පින් බිමයි මේ අන් කොහේ

නැබඩ බක්මී කුඹුක් තුරු පෙළ හදේ දහිරිය පිබිදුවේ
රැහැයි පළඟැටි ගීත ගොන්නයි සවන් සනහා පබැඳුවේ
වැවේ සිසිලස තුරුලු කර ගෙන සුළං රැළි හද සැනහුවේ
ගොයම පිස එන කිරි සුවඳ මගෙ පපුවෙ අස්වනු ලියැලුවේ

ගල් තලාව සිරි යහනකි සිපගෙන කැන් සඳ
වැව් කොමළිය සිත පිනවන කන්කළු පෙම් ළඳ
නියර දිගේ දිවෙනා සිත ලියැදි ලඟින් හිඳ
අවසර පතනෙමි ගම්භර දෙවි උතුමන් වැඳ

බුලත් හපෙත් නිම නොවෙනා අමිරු රසක් ඇත
කැකුණෙ පහනෙ දීප්තියෙන් සුපසන් වෙන සිත
සුර විමනකි සියලු සුවය කැන්දාලන ගත
රැයේ දහවලේ කෙත තොර දිවියක් මට නැත

Image Courtesy : https://bit.ly/2FLNe4g

 
Tagged : /