පින්බර නවම් පොහොය අදයි.

Share

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ පින්බර නවම් පෝය අදයි.

ගෞතම බුදු සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වීමත්, සැරියුත්, මුගලන් දෙනම වහන්සේලාට අග්‍ර ශ්‍රාවක තනතුර පිරිනැමීමත්, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමත්, බුදුරදුන් ආයු සංස්කාරය අත් හැරීමත් යන කරුණු හේතුකොට ගෙන නවම් පොහොය ශාසන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී දිනයක් ලෙස දැක්විය හැකියි.

දිනක් බුදුරදුන් තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් පිරිස පැවිදි කරවා රහත් භාවයට පත් එකී භික්ෂූන් වහන්සේලා සමඟ රජගහනුවර වේළුවනයට වැඩි කල්හි උපතිස්ස සහ කෝලිත නම් කල්‍යාණ මිත්‍රයන් දෙදෙනෙක් දෙසිය පනහක් පිරිවර සමඟ එහි පැමිණ සැරියුත් සහ මුගලන් නමින් පැවිදි භාවයට පත් විය.

ඉනික්බිති නවම් පුන් පොහෝ දිනයක බුදුරදුන් වේළුවනයේ වැඩ සිටි එක්දහස් දෙසිය පනහක් පමණ වූ භික්ෂූන් වහන්සේලා රැස් කළ සේක. මෙය, ගෞතම බුදු සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතයයි. එහි දී සියලු දෙනා වහන්සේලා අතරින් සැරියුත්, මුගලන් දෙනම වහන්සේලා හට අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනමන ලදී.

අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් ඇතුළු කලින් පැවිදි වූ රහතන් වහන්සේලා සිටිය දී වුව ද සැරියුත් මුගලන් දෙනම වහන්සේලා හට අග්‍ර ශ්‍රාවක තනතුර පිරිනමන ලද හේතුව ලෙස සැරියුත් මුගලන් දෙනම වහන්සේලා අනෝමදස්සී බුදුරදුන් හමුවෙ දී විවරණ ලබා ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම පිරූ බව බුදුරදුන් දේශනා කොට වදාළ සේක.

ලෞකික දිවියට පමණක් නොව ලෝකෝත්තර දිවියට ද කල්‍යාණ මිතුරු ඇසුර කෙතරම් වටිනේ ද යන වග සැරියුත් මුගලන් දෙනම වහන්සේලාගෙන් අපට ගත හැකි ආදර්ශයකි.

ප්‍රථම බෝධි කාලයෙහි (බුද්ධත්වයෙන් විසි වසරක කාලය) දීර්ඝ කාලයක් සංසාර ගමනෙහි කුසල් දහම් සම්පුර්ණ කරමින් අප මහා ගෞතම බුදුන් හමුවේ දී නිර්වාණය අවබෝධ කර ගැනීම උදෙසා ප්‍රර්ථනා කොට පැමිණි බොහෝ පිරිසක් සසුන් ගත වී සිටි හෙයින් හික්මීම සඳහා විශේෂ ශික්ෂාපද පැනවීමට සිදු නොවීය.

සංඝ සමාජය තුළ වූ ඒ මනා සංවරය හේතුවෙන් සෑම බුදුවරයෙකුගේ ම ආරම්භක අවධියේ දී ම “ඕවාද ප්‍රාතිමොක්ෂ‍ය” පමණක් නිරන්තරයෙන් දේශනා කිරීම සිරිතක් ව පැවතුණි.

ඛන්තී පරමං තපො තිතික්ඛා – නිබ්බානං පරමං වදන්ති බුද්ධා

නහි පබ්බජිතො පරූපඝාති – සමණො හොති පරං විභෙඨයන්තො

 

සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා

සචිත්ත  පරියෝ දපනං – එතං බුද්ධානසාසනං

 

අනූපවාදො අනූපඝාතො – පාතිමොක්ඛෙ සංවරො

මත්තඤ්ඤුතා භත්තස්මිං – පන්තං සයනාසනං

අධිචිත්තෙ ආයොගො – ඒතං බුද්ධානසාසනං

ගාථා තුනකින් සමන්විත ඕවාද ප්‍රාතිමෝක්ෂයෙහි අකුසල ක්‍රියාවන්ගෙන් ඉවත් ව ඉවසීම ප්‍රගුණ කරමින් සිත පිරිසිදු කොට නිවන් අවබෝධ කිරීමේ ප්‍රතිපදාව අගයයි. බුද්ධත්වයෙන් පසුව එළඹි අද වන් නවම් පෝ දිනක මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සංඝ සමාජය අර්ථවත් කිරීමෙහි ලා මහඟු පිටිවහලක් විය.

බුදුරදුන් පිරිනිවන් පෑම සඳහා කාලය සීමා කර ගැනීම ආයු සංස්කාරය අත් හැරීම ලෙසින් දැක්වේ.

බුදුරදුන් වෙත පැමිණි මාරයා “ඉතා ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර භික්ෂූන් ඇති වන තෙක් පිරිනිවන් නො පාන බවට කලින් ප්‍රතිඥා දී තිබූ නමුත් දැන් ඒ සියල්ල සම්පුර්ණ වී ඇති හෙයින් පිරිනිවන් පා වදාරන්න” යි ඉල්ලා සිටි නිසා බුදුරදුන් මාරයාගේ ඇරයුම පිළිගෙන තවත් තෙමසකින් පිරිනිවන් පානා බවට පොරොන්දු වූ සේක.

මෙලෙස බුදු රදුන් විසින් ආයු සංස්කාරය අත් හැරීම සිදු වූයේ ද නවම් පුර පසළොස්වක පොහෝ දිනකයි.

ශාසනික වශයෙන් ඉමහත් වැදගත්කමක් උසුලන නවම් පුන් පොහෝ දිනය යෙදෙන අද දිනයේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගේ යෙදෙමින්, නිරෝගි බව රැක ගනිමින්, අර්ථවත් ව ගත කිරීමට අප සැවොම අදිටන් කර ගනිමු.

 

Image Courtesy: https://bit.ly/3uHOqNI

 
Tagged : / /