ගෙන්දගම් පොළොවේ නොදුටු රැයක්

Share

දිනක චාරිකාව අවසන් වූයේ දවස ගත වෙනවා නොදැනීමයි. මැදියම් රැය එළැඹීමට මත්තෙන් මා මිතුරන්ගෙන් සමු ගෙන බසයෙන් බැස ගත්තේ, හොඳින් ම ප්‍රමාද වී ඇති බව පසක් වී ඇති මොහොතකයි. ඒ, කොටුව නම් වූ හුරුපුරුදු ගමනාන්තයෙන්. අහස් කුසේ අපූරුවට හඳ මෝදු වී තිබූ මුත් එය ඉන් හෝරා කිහිපයකට පෙර මම බොහෝ ආසාවෙන් බලා සිටි හන්තානට පෑයූ සඳ ම දැ’යි මොහොතකට සිතුවෙමි.

පාළුවට ගිය මං මාවත්වල කණාමැදිරි එළි මෙන් දිස්වූ විදුලි පහන් ආලෝකය මැද ප්‍රධාන මාවත ඔස්සේ මයිල බාගයක පමණ දුරක් ඇවිද යාමට මා තීරණය කළේ මැදියම ආසන්නයේ නිවෙසට යාමට බසයක් නැතත් ටැක්සියක් හෝ අල්ලා ගැනීමට හැකිවෙතැයි සිතමිනි.

කුඩා කල සිට ම ආ ගිය කොටුව නමින් හැදින්වූ ඒ ගෙන්දගම් බිමෙහි රාත්‍රියක දුටු තරමක් වෙනස් පැතිකඩක් මුල් වරට අත්දුටුවේ එදිනයි. දමිළ ගීත වාදනය වෙමින් පැවති රාත්‍රී ආපනශාලා කිහිපයක් සහ කඩ කිහිපයක් විවෘත ව තිබුණේ රාත්‍රියෙහි වැඩෙහි නිරත වන්නන්ට හා රැයෙහි ගමන් යෑමට පැමිණ සිටින මගීන්ට ය. සෑම ආපනශාලාවක ම ඉදිරියේ බල්ලෙකු හෝ බළලෙකු රැඳී සිටියේ එහි අයිතියක් තමන්ට ද ඇති බව අඟවන්නාක් මෙන් ය. ආසන්නයේ පිහිටි ආපනශාලාවකින් ගැලූ ආහාර පිසින සුවඳ නිරාහාර ව සිටි මගේ කුසගින්න ද අවුස්සන්නට වූයේ ඒ අහිංසක සතුන් කෙතරම් නම් පීඩාවක් විඳිනවා ඇත්ද යන සිතුවිල්ල ද ඇති කරවමිනි.

වසා දමා තිබූ සෑම කඩ කාමර දෙකකට තුනකට වරක් ම මා දුටුවේ නිදා සිටින හෝ නිදන්නට වෙර දරන යාචකයෙකි. තවත් තැනක අසල්වැසි කඩකාමරයේ නිදන්නට සූදානම් වන යාචක මිතුරෙකු සමඟ බර කතා බහක යෙදී සිටින තවත් යාචකයෙකි. එම දසුන් දුටු මා සිතන්නට වූයේ නිදන්නට ඇඳක්වත් ලබන්නට තරම් අප කෙතරම් භාග්‍යවන්ත ද යන්නයි. ඒ අතර ම කෙලින් සිටීමටවත් නොහැකි වන තෙක් කුමක් හෝ මත්ද්‍රව්‍යයක් ගෙන සිටි මැදිවියේ මිනිසෙක් ද දුටිමි. මත් ද්‍රව්‍යය කුමක් වුවත්, පානයට හේතුව කුමක් වුවත් එම මිනිසා කෙරෙහි බලවත් අනුකම්පාවක් මගේ සිතේ ඇති වූයේ ඔහු කාගේ හෝ දරුවෙක්, බොහෝවිට සැමියෙක්, පියෙක්, සහෝදරයෙක් වන්නටත් ඉඩ ඇති බව මා හට කල්පනා වීමෙනි.

අවසානයේ මම කොටුව දුම්රියපළ ළඟ තිබූ බස් නැවතුම්පළට සේන්දු වීමි. උදෑසන ගමනාරම්භයේ දී කුහුඹු ගුලක් මෙන් කාර්‍යබහුල ව තිබෙනු දුටු දුම්රියපළ ඒ මොහොතේ පාළුවට ගිය සොහොන් ගෙයක් මා සිහි කැඳවිය. නිදිකිරා වැටෙමින් උන් ටැක්සි රියදුරන් කිහිපදෙනෙකු, දුරගමන් බස් රථයක් පැමිණෙන තෙක් නිදා උන් මගීන් කිහිපදෙනෙකු සහ සිටගෙන උන් මගීන් කිහිපදෙනෙකු සමඟ කතාබහක යෙදුණු රාළහාමි කෙනෙකු ද මාගේ අවදානයට යොමු විය.

මිනිත්තු කිහිපයක් මහ මගට නෙත් යොමු කළ මා හට ප්‍රත්‍යක්ෂ වූයේ දුරගමන් බස් රියක් දෙකක් හා මග සකස් කරන යන්ත්‍ර කිහිපයක් සමඟ ඔට්ටුවන කම්කරුවන් පිරිසක් හැරුණුකොට මහ මග මුළුමනින් ම හිස් බවයි. නිදා උන් ටැක්සි රියදුරෙක් ඇහැරවාගත් මා නිවෙසට යෑමට කතා කර ගත්තේ වෙලාවේ හැටියට කීයක් වියදම් වුවත් කම් නැතැයි සිතාගෙන ම ය. රථයට නැග මොහොතක්වත් යාමට ප්‍රථම අසල සිටි රථයේ රියදුරු ඉන් බැසවිත් මා සිටි රථයේ රියැදුරුට පරුෂ වචනයෙන් බැන වැදුණේ තමන්ගේ හයර් එක ඔහු කඩාකප්පල් කර දැමූ බව පවසමිනි.

ජීවිත කෙතරම් පුදුමාකාර ද? ලොවක් නිදන යාමයේ නොනිදා පහන්වන රාත්‍රීන් කොපමණක් ඔවුන් පසු කරන්නට ඇත් ද? එක ම පොළොවක හිරු ඉදිරියේ සහ සඳු ඉදිරියේ සිදුවන සිදුවීම් දාම අතර වෙනස අරුමයක් ම ය. හුරුපුරුදු ගෙන්දගම් පොළොවේ මෙතෙක් මා නුදුටු නුපුරුදු රැය; තරමක් වෙනස් මතක සමුදායක් මගේ මනසේ  සනිටුහන් කර තිබුණේ එලෙසිනි.

 

Image Courtesy: https://bit.ly/2PNwuAZ

 
Tagged : / /