නුඹ තරම් සොඳුරු කවියක් නැහැනේ රාජිනී

Share

මට සිංදු කියන්නටවත්, ලියන්නටවත් බැරි ය. නමුත් සිංදු යනු මගේ හැඟීම් සැම විට ම අවදි කරවන, සංඛ්‍යා රේඛාවක මම බිංදුවේ ඉන්නවා නම් දෙපසට ම අනන්තයක් දක්වා මා රැගෙන යා හැකි, විස්මයජනක, මට විවරණය කළ නොහැකි පද වැලක් ය. හැම විට ම නිදහසක් ලැබුණු විට සිංදු ඇසීම මගේ විනෝදාංශය වෙන තරමට ම ඒ හැඟීම මනස තුළට ම කිඳාබැස ඇත. මේ අතරවාරයේ මට සිතුණේ පරණ සිංහල සිංදුවල ප්‍රධාන මාතෘකාවක් බවට සිංහල දමිළ ප්‍රේමය මූල බීජය වී තිබුණ බව ය. වසර 30ක යුද්ධයට පෙර, යුද්ධය අතරවාරයේ හා යුද්ධය අවසානයේ ලියවුණු මේ ගීත මගේ හදවත පැහැරගන්නේ, ප්‍රේමයට සීමා විරහිත බව තනුවකින් ම පැහැදිලි කරමින් ය.

තුමුල නමුණුකුල ගිරි හිස, ශාන්තිනී තෙමා වැටේ, නළල කුන්කුමම්, දීපාවලී දාට දීපාවලී සඳ අරන් වගේ සිංදු මගේ හදවතේ ලැගුම් ගත්තේ අසන අසන වාරයක් පාසා තිබෙන කැමැත්ත තව තවත් වැඩි කරමිනි.

ඒ අතර එක සිංදුවක් මගේ තොල් අතරින් ඉබේ ම හෙමිහිට මිමිණෙන තරමට ම මට ළං විය. “නළල වියළවා විගසින් තිලකයක් තියා අලුතින්”, පද වැල සමඟ සංගීතය රන් රස සේ මුසු වීමක් ම මේ ගීතය තුළින් මට දැනුණේ මගේ සිත කොහෙදෝ ලෝකෙකෙ අතරමං වෙලා ආදරයකට තේරුමක් හොයනවා වගේ ය. එකම සංස්කෘතියක ප්‍රේමයට වඩා සුන්දර හැඟීමක් සැම විට ම සංස්කෘතීන් දෙකක ප්‍රේමයක් තුළින් දකින්න පුළුවන් මට ම විතරක් නොවෙන බව මම හොඳට ම දන්නේ ආදරය සුන්දර වෙන්නේ එකිනෙකාට අහස පොළොව වගේ ඉඳලත් හැඟීම් ගලපා ගත්ත ම කියලා මම අහලා තියෙන නිසා ය.

යාපනය විශ්වවිද්‍යාලයේ සුවහසක් දරුවන්ට ශිල්ප කලා දැනුම ලබා දුන් සිංහල මහාචාර්‍යවරයෙක් හා ඔහු හා පෙමින් බැඳුණු දමිළ මහාචාර්‍යවරිකගේ ප්‍රේම අන්දරය මේ ගීතය පසුබිම් කරගන්නට යෙදුණු බැව් මා අසා තිබේ. පසුව යුද්ධයට විරුද්ධ ව අදහස් දැක්වීම නිසා මේ යුවල මරා දැමුණු බව ද අසා තිබුණාට ඒ කොහේදීදැයි මට නිසැකව ම මතක නැත.

“නළල වියලවා විගසින්
තිලකයක් තියා අළුතින්
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී
ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
දිලිහෙනවා රාජිනී
දිලිහෙනවා රාජිනී…”

කාන්තාවක් නා අවසන් වී කොණඩය කඩාගෙන ඉන්න විට අමුතු ලස්සනක් පෙනෙන බවක් පිරිමි පාර්ශවය පවසන්නට හේතුව මම හරියට ම නොදන්නා මුත් මේ මුල් පද පේළිය ලිය වී ඇත්තේ ඒ සුන්දරත්වය අළලාගෙන ය. වතුර බේරෙන කොණ්ඩය කඩා දමාගෙන නළලේ තිලකයක් තබාගෙන තමා දිහා හිනැහෙමින් බලන තම ප්‍රේමියගේ සුන්දරත්වය ප්‍රේමවන්තයාට විස්තර කළ නොහැකි තරම් පියකරු වුව ද, ඒ පියකරු බව බිමට නැමුණු මිරිස් මලක් මුහුණ කෙළින් කර සිනාගන්වන්නට හැකි බව කියාගැන්මට මේ පෙම්වතාට හැකි වන්නේ තම හිත ප්‍රේමයෙන් පිරී ඉතිරී තිබෙන මොහොතක ය.

“දෙවොල් මළුවේ සුදු වැලි කැට
පුරුද්දට වගේ ගැන ගැන
සීනු හඬට කන් දෙන විට
පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැවේ
රාස්සිගේ අව් කෙඳි ටික
නාගදීපයට එපිටින්
මුහුදේ ගිලෙන විට සිහිලයි නොවේද රාජිනී
නොවේද රාජිනී
නොවේද රාජිනී…”

දෙවියන් වසන බිම ඇතිරූ වැලි කැට ගනින්නට තරම් පුරුදු බිම දිහාව ම බලගෙන, ඈතින් ඇහෙන සීනු හඬට කන් දීගෙන හිතේ මැවෙන චිත්‍රය  මදහසකින් මුවෙන් පිටකරන රාජිනි, බැසගෙන යන ඉර, මළානික දවසේ අවසන් එළිය කදම්බය  පිරිවර කරගෙන ඉරේ ගිලෙන මුහුද පසුබිම් කරගෙන පෙනෙන්නා වූ රාජිනි, රාගයෙන් තොර පිවිතුරු ආදරයකින් වර්ණනා කරන්නට තරම් මේ සිංහල පෙම්වතාගේ ප්‍රේමය මුහුකුරා ගොස් ය.

“මඟ වසන වලා තිරපට
ඉරාගෙන උජාරුවකින්
බක් මහේ නැවුම් සඳවත
පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ
කතා කරන ඇස් වහගෙන
අගය පෙන්වනා විටදිත්
නුඹ තරම් සොඳුරු කවියක් නැහැනේ රාජිනී
නැහැනේ රාජිනී
නැහැනේ රාජිනී…”

ආදරේ කියා එක වචනෙකින් කෙළින් කියනවට වඩා ප්‍රේමයේ කවිය  කියලා තමන්ගෙ පෙම්වතිය ව විස්තර කරන ප්‍රේමවන්තයෝ සුලබ නම් නොවේ. බක් මහ යනු බක් මහ අකුණු සමඟ මහ වරුසාව ගොම්මන් යාමයේ කඩා වැටෙන කාලයකි. මේ තරම් ඝන අඳුරු වළාවන් දුහුල් පටක් සේ ඉරාගෙන හඳ අහසෙ පායන්නෙ තමන් එන අතරමඟ වුණ හැම ඇබැද්දිය ම, හැම බය හිතෙන දෙයක් ම තමන්ගේ එළියෙන් ලෝකයට කියන්න වගේ. හැබැයි, එසේ කී ගමන් ආයෙමත් අඳුරු වළාකුලකට මුවා වෙන්නේ තරුවලට ඝන අඳුර මකන්න බෑ කියල අපිට මතක් කරලත් දෙන්න වගේ. මේ සඳවත දිහා බලන ඔහුට මතක් වෙන්නේ ම තමන්ගෙ රාජිනීව ය. තමන්ගේ මීවීතක් වගේ ඇබ්බැහි වෙන ප්‍රේමිය තරම් මේ ලස්සන සඳවතවත් ලස්සන නෑ කියල අහස දිහා බලන ඔහුට හිතෙන්නේ ආදරයේ නාමයෙන් ම වෙන්න ඇති.

සිංහල දමිළ යනුවෙන් මිනිස්සු වෙන් වුණාට දෙවියෝ වඩින හිත් ඇතුළේ එහෙම භේදයක් නැත. එවන් හිත් ඇතුළේ තමයි මේ සිංදුවේ වගේ ආදර කතා ලියවෙන්නේ. ඇතුළට කිමිදිලා අර්ථයක් හොයන්න ඕනෙ නැතුවට හැම සිංදුවකට ම වඩා මේ සිංදුව අර්ථවත් කියල මට හිතෙන්න ඇත්තෙත් ඒ හැඟීමේ ගැඹුරුකම නිසාමත් වෙන්න ඇති. රාජීනී වෙන්නට හිත ඇතුළෙන් පොරබැදීමක් එක්ක ම, කූඩුවක් ඇතුළට වෙලා ආදරය හොයන මට ඒ ධෛර්යය නෑ කියල හිතෙන්නේත් ඒ නිසා ම වෙන්න ඇති.

 

Image Courtesy: https://bit.ly/3cIDZoP 

 
Tagged : /