ඇති දාට නොනෑයොත් සපැමිණෙති. නැති දාට සෙවණැල්ල පවා සැඟවෙයි. ඇති නැති සියල්ලක ම අවසානය දුක ම පමණකි.
ඔබට, මට, අප සියල්ලන්ට ම නොපමා ව එම ධර්මතාවය පසක් වේවා!
හත් දවසෙ දානෙ ගෙයි ඉවර උන හැටියේ
තිත්ත දොං නිළමෙලැයි පහළ බඩ වැටියේ
රත්තරන් පොරවගෙන වගෙයි මහ තුටියේ
රොත්ත ගිනි මත් වතුරෙ ඉපිළෙමින් හිටියේ
ගෙවුණු මුළු කාලෙදිම ජීවතුන් අතර
අසනීපෙ බව රැගත් ආරංචි නිතර
ආවෙ නැති වරිගෙ උන් කිසිම දා හතර
දැන් වෙන්න හදන හැටි මෙහෙ ඇවිත් නතර
අහසට දිවෙන සුදු ගෑ ගෙයි උස බිත්තී
කොඳුරනු හැඟේ මයෙ කරුමයෙ තතු විත්තී
මතකය නමින් දවමින් හිතෙ ඇති සත්තී
තෙපළනු ඇසේ “මම වෙමි මූසල ඇත්තී”
උන්ගෙ වාගේ ඇවිත් කෙහෙල් කැන කපලා
එහෙ මෙහෙන් කම්බි කණු යටට කර පටලා
හරක් බානක් දෙකක් ගෙනත් ගැට ගහලා
පොලුත් අහුලන් යනව මඟ රැකන් ඉඳලා
බණේ කීවෙත් ඔය ටිකයි ගිලිහෙනව රිදි රිදි නොදැනිම
මගේ කියලත් කිසි කෙනෙක් නැති ලෝකයකි දුක විතරම
ගමේ උන්ලගෙ නොහොබිනා වැඩ ඉවසනව මිස තනියම
අනේ නංගියෙ මක් කරන්නද අසරණයි වැන්දඹු මම
Image Courtesy: https://bit.ly/3hx4z6g