හිර නැගෙන්ටත් කලින් පළමුව
පිබිදුණේ ඝණ්ටාරෙ නාදෙට
සුපින්බර ඒ පුනු පොහෝ දින
පියනැගිමි පන්සල දිහාවට
පන්සලට යන පාර දිගට ම
උපාසක බැතිමතුන් පෝලිම
සැදැහැවත් බොදු ගමේ උදවිය
වරද්දන්නෑ හතර පෝය ම
පැමිණි විගසට පන්සලේ
එතන හරි ලොකු ජරමරේ
කාගෙ කාගෙත් බර බරේ
බිත්තියේ කොනටයි පොරේ
ඕප දූපා රස කර
දොඩවතී උන් උන් ගැන
පෝය දවසට පන්සල
සංගමයකි එක ළිඳ ළඟ
අහර ගන්නේ තරමට
දෙසුවෙ එහෙමයි බුදු බණ
දානෙ පංගුව දුටුවම
අමතකයි ගත් සිල්පද
තරම දුටුවිට පංගුවේ
කොත පරාදයි දාගැබේ
කාල නැහැ ඉන් නැවතුණේ
මුලකි ගෙදරට ඔතා ගත්තේ
දහවලට ඒ කාපු තරමට
ඉඩක් නෑ එක වතුර පොදකට
නොදැනීම තෙම වැටුණි නින්දට
සවන් දෙනු බැහැ බණ පදේකට
හාමුදුරුවන් බණ දෙසන අතරේ
ඇසෙන විට බුදු හිමිගෙ නාමේ
දෑත අරගෙන තබා නළලේ
දෙනවා හයියෙන් සාධු කාරේ
සවස් වන විට ටික ටික
හිඳිනු බැහැ හරි තදියම
පවාරන්නට සීලය
කියති පන්සිල් තනියම
මෙලෙස ගන්නා සීලයේ
අරුත කිම දැයි නොම හැඟේ
බොදු දනන් සිරි ලක් දිවේ
නමට සීමා වූ හැඩේ
බොදුයි කියනා දන අපේ
අරුත නො දනී අනියතේ
පොහොය දිනයට මේ ලෙසේ
පන්සලේ හරි ජරමරේ
Written by: E.H. Irushi Chamika
Image Courtesy: https://bit.ly/3yYmXcv