කියමු සයුරේ අගය රොද බැඳ

Share

ඉර බැස යන සැන්දෑවක වෙරළේ සිට මුහුද දෙස බලන කළ කෙනෙකුට පෙනෙන්නේ මනහර දර්ශනයකි. රත් පැහැ ගත් හිරු කිරණ මුහුදු ජලයට වැදී අමුතු ආලෝකයක් පතුරුවයි. නිල්වන් ඝන වැස්මක් සේ ධරණි තලය පුරා සිය අණසක පතුරුවන මහා සාගරය පරිසරයට එක් කරන්නේ සිසිලසක් හා නව ජීවයකි.

මිනිසාගේ උපත සිදු වී ඇත්තේ ද සාගරය තුළ යැයි සැලකේ. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන්නේ ද සයුර අවට ය. ඉන්දියන් සාගරයෙන් වට වී ඉතා රමණීය අන්දමට පිහිටා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආරක්ෂකයා වන්නේ ද මහා සාගරයයි. නමුත් වත්මන අපි සාගරයෙන් ප්‍රයෝජනයට ගන්නේ 10 % කටත් අඩු ප්‍රමාණයකි.

ලක් මව වටා පිහිටි මුතුහරින් ගැවසී ගත් සුන්දර වෙරළ තීරයකින් යුක්ත බැව් එදත් අදත් මෙරටට ගලා එන සංචාරකයන්ගෙන් පෙනී යයි. ඔවුන්ගේ පැමිණීම නිසා බිහි වූ සිරිලක සංචාරක කර්මාන්තය විනිමය සපයන උල්පතක් බවට පත් විය.

එපමණක් නො ව, ධීවර කර්මාන්තය, ලවණ කර්මාන්තය, ජල විදුලි උත්පාදනය මෙන්ම ඇතැම් අවස්ථාවලදී ලවණ ඉවත් කර බීමට ගැනීමටත් සාගර දිය අවැසි වේ. වෙරළ ආශ්‍රිත බොහෝ දරු පවුල් රැකී තිබෙන්නේ ද සයුරේ පිහිටෙනි. ධීවර කර්මාන්තය තුළින් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශ්යෙන් ද ආර්ථික සංවර්ධනයේ දොරටු විවර වී ඇත. මෙලෙස බලන කළ ‘මහ සයුර ධන නිධානයකි’ යන කියමන මොනවට පසක් වේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීම මඟින් ද පෙනී යන්නේ බලධාරීන් යම්තාක් දුරකට සාගරයේ වටිනාකම අවබෝධ කරගෙන ඇති බවයි.

සොබාදම් දිනිතියගේ උත්කෘෂ්ට නිර්මාණයක් වන් වූ ද ඇතැම් අයගේ ජීවනාලිය බඳු වූ ද සාගරය නැවත කිසිවකුගේ ප්‍රයෝජනයට ගත නො හැකි වන සේ විනාශ මුඛයට ඇදී යාම ඛේදනීය වේ. ඇගේ සුන්දරත්වයේ දෙඅත් මානවයා වෙත දිගු කළේ මහත් වූ ධන සම්භාරයක් ලබාදෙමිනි. නමුත් වත්මන මිනිසා, ඒ සියල්ල අමතක කොට මුදල් නම් මිරිඟුව පසුපස හඹා යමින් කරනා කෲර ක්‍රියා කලාපයන් නිසා සයුර දූෂ්‍ය වී මිලින වීමට ද ආසන්න ය.

සමුද්‍ර දූෂණය ගැන කතා කරන විට, වාර්ෂිකව අපතේ යන තෙල් ටොන් දස ලක්ෂ ගණනක් මුහුදට එකතු වන බව ගණන් බලා ඇත. මීට අමතරව, තෙල් නැව් පිපිරීම, ගුවන් යානාවලින් මුහුදට හලන තෙල් නිසා ද සමුද්‍ර දූෂණය වැඩි වෙමින් තිබේ. විකිරණ අපද්‍රව්‍ය අඩංගු බඳුන් සමුදුරු පත්ලට දැමීමට ඇතැම් බලවත් රටවල් ක්‍රියා කරන බව අසන්නට ලැබේ. යම් හෙයකින් මෙම බඳුන් සිදුරු වුවහොත් වන හානිය තවමත් ගණන් බලා නැත.

එමෙන්ම, නො දිරන ප්ලාස්ටික් ඇතුලු කාර්මික අපද්‍රව්‍ය, සංචාරක හොටල්වලින් ඉවතලන ෂැම්පු වර්ග ද, කර්මාන්තශාලාවලින් පිටවන අහිතකර රසායනික ද්‍රව්‍ය ද ගංගා ජලය ඔස්සේ සාගරයට දිනපතා එකතු වේ. වෙරළාසන්න අනවසර ඉදිකිරීම් මෙන්ම ප්‍රමිතියකින් තොර ධීවර වරායන් නිසා ද සමුද්‍ර දූෂණය හිස ඔසවා ඇත. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු ඒ අමාරුව යැ යි මේ හමුවේ නිහඬ වීමට අපට නො හැකි ය.

සමුදුරු දූෂණය නිසා මිහි මඩලෙන් තුරන් වූ සුන්දරත්වය නැවත ළං කර ගැනීමට අප තවමත් පමා නැත. එබැවින්, ඒ සඳහා පෙළගැසීමට කාලය එළඹ තිබේ.

මෙරටට පමණක් නො ව සමස්ත ලෝකයටම වැදගත් වන අර්ණවය සුරැකීමට රජයක් වශයෙන් ඉටු කළ යුතු කාර්‍යභාරය අතිමහත් ය. එමෙන්ම, ප්‍රාදේශිය හා පාසල් මට්ටමින් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ගෙන යන වැඩමුළු, දැන්වීම් සහ පෝස්ටර්  වැනි ප්‍රචාරණ මගින් දැනුවත් කිරීම් සිදු කළ හැකි ය.

හුණුගල් කැඩීම, මුහුදි වැලි ගොඩ දැමීම ආදිය ම්ගින් ජීවන වෘත්තිය සලසා ගන්නා අයට වෙනත් රැකියා මාර්ග හඳුන්වා දීම මගින් ද සමුද්‍ර සංරක්ෂණයට දායක විය හැකි වේ.

සියලු දෙනාගේ සදිසි ප්‍රාණය බඳු සොබාදම් දිනිතියගේ මනෝ බන්ධනීය අංගයක් වන සයුර රැක ගැනීම අපගේ යුතුකමයි. එය සිහි තබාගෙන, අනාගත දූ දරුවන්ගේ ලෝකය සුන්දර කරලීමට ඇප කැප වෙමු.

 

ඡායා රූ යොමුව :
https://www.iyor2018.org/wp-content/uploads/2018/05/WOD.jpg
https://www.maudfontenoyfondation.com/en/data/images/oceansareourfuture.jpg 
https://sites.google.com/site/oceanpollution9845615646464/_/rsrc/1484064631001/home/ocean-pollution.jpg

 
Tagged :