මගේ සිතුවම

Share

මම එදා මුහුදු වෙරළට ගියේ මගේ ජීවිතයේ මා විසින් ඇඳ නිමකල යුතුව තිබුන ඉතාමත් ම වටිනා චිත්‍රය ඇඳ නිම කිරීමට ය.මම වෘතීය වෛද‍යවරියක්.

එදා මම මුහුදු වෙරළට යද්දී කවුදෝ දෙන්නෙක් මගේ ඇඟේ හැප්පීගෙන ගියා. චිත්‍රය අඳින්න මම ගෙනාව සායම් කුප්පි ඔක්කොම තිබුණ පෙට්ටිය බිමට වැටුණා.

අවසාන සිතුවම ඇඳීමට මම ගෙනා සායම්, මේ ආකාරයෙන් බිම වැටී බිඳී ගියද ඇඟේ හැපී ගිය අයගෙන් කෙනෙක්වත් මට කිසිවක් නොකියා සිනාසී යන්නට ගියා.” සමාවන්න කියා කියන්නට තරම්වත් නිහතමානී නොවූ ඒ ස්ත්‍රිය හා පුරුෂයා දෙස බැලූ මට, ලේ නහර වැල් පුරා ඇවිලී ගිය කෝපයක් ජනිත වූවද ඉවසා සිටියා නිහඬව මම.

මදක් ඉදිරියට ඇවිද ගිය ඔහු, නැවත් හැරී මා දෙස බලා කියා සිටියේ ”මා පසුපසින් පැමිණේවි මගේ අනුගාමිකයා ඔවුන් ඔබට උපකාර කරාවි ” කියා පමණි.

කිසිවක් නොකියාම නික්ම ගිය ඔවුන් දෙස බැලූ මම බිම වැටී ගිය මගේ දයාබර සායම් පෙට්ටිය දෑතින් අහුලා ගත්තා. ඒ දෙස පිටින් බැලූ විට කිසිඳු බිඳීයාමක් හෝ සායම් හැලී ගිය වගක් හෝ මා නොදුටුවා. සතුටින් ඉපිළ ගිය, එහෙත් සැකයෙන් පීඩිත සිත් ඇතිව මම  සායම් පෙට්ටිය විවෘත කළා.

සායම් කුප්පි සියල්ල බිඳී ගොස් තිබුණා. ඒවායින් සායම් පිටතට ගලමින් තිබුණා. ආදරෙන් රැකගත් ඉතා වටිනා සායම් කුප්පිත් ඒවා ඇසුරූ පෙට්ටියත් මම සෙමින් කරුණාවෙන් වැල්ල මත තබා ඈත පායගෙන ආ හිරුත් ක්ෂිතිජයත් දෙස බලා සිටියා. අසරණව පීඩිත සිත් ඇතිව.

මා වෙරළ මත තනිව හෝරාවකින් අඩක් පමණ ගත වන්නට ඇති.

එක්වරම ආ අයෙක් කාරුණිකව මා අමතා සිටියා, ඔබ ද මට ඔහු කියූ චිත්‍ර ශිල්පිණිය. ඒ මාගේ ශාස්තෘවරයා, මා ඔහුගේ අනුගාමිකයා. සමාවන්න ඔහුගෙන් හා ඔහුගේ හිතවතිය අතින් සිදුවූ වරදට, සමාවන්න මා අතින් සිදුවූ ප්‍රමාද දෝෂයට.

මෙතෙක් වෙලා සියල්ල මා ඉවසා සිටියද තවත් එක් මොහොතක් හෝ ඉවසුම් රහිතව මම නැගී සිටින්නට උත්සාහ කරන්නට වීමි, ගෝරණාඩු කරන්නට සූදානම් වෙමින්. ස්ත්‍රියක් වන්නී ඉතාමත්ම ළාමක එහෙත් ද්‍රෘඩ සිත් ඇති අයෙක්. ඇය ඇතම් විට මිහිකත මෙන් ඉවසන්නී.තවත් විටක භූමිය කම්පාකර මිහික්ත ද දෙදරවන්නී. මම ද එවන් වූ ස්ත්‍රියක් වූයෙමි, වෙමි. සමාවෙන්න කියූ ඔහුගේ බෙල්ලෙන් අල්ල දකුණට වමට හරවා කඩා දමන්නට මට සිතී තිබුණි.

හිස ඔසවා බැලූවෙමි මා ඔහු දෙස, නැගීසිටින්නට පළමුව.ඒ සිනහව සත්තකින්ම මා ජීවිත කාලය තුළදී මින් පෙර නොදුටු එහෙත් සසර ගමන අතරතුර දුටු අයුරක් මට සිතෙන්නට විය. මාගේ සිත පුරා, නහර වැල් පුරා තෙමී පෙඟී ගිය වෛරය කඳුලු බවට හැරී ගලා යන්න වුණා මා අසරණව සිටි නිසාම. වෙරළ මතටම වී හිඳ මා හඬන්නට වුණා. ඔහු නිහඬව බලා සිටියා.

මේ අයුරින් පැයක පමණ කාලයක් ගතවන්නට ඇතී. හැඬීම වෙහෙසකර වූ නිසාත් පීඩාකාරී නිසාත් මම හැඬුම නවත්වා ඔහු දෙස බැලූයෙමි. ඔහු මා දෙස බලා සිටියා එහෙත් වෙනත් ස්ත්‍රියක දෙස යොමූ දෙනෙත් ඇතිව.

මට මතකයි මම කීවා,’’ මේ චිත්‍රම මා විසින් ඇඳිය යුත්තක්, වෙහෙසකර චාරිකාවක අවස ප්‍රතිඵල එය. වසර ගණනක පුහුණුවෙන් පසු තරඟයක ඉදිරිපත් කරන්නට තිබූ සිතුවම, දැඩි ආශා සිත් ඇතිව මා බලා සිටි මොහොත අද රැය ගෙවෙන්නට පෙර මා මෙය ඇඳ අවසන් කළ යුතුයි. එහෙත් ඒ සියලා ඔබගේ ශාස්තෘවරයා අතින් විනාශ වූවා පමණයි මා කුමක් කළ යුතුද දැන්.

ඔවුන් කිසිවක් නොකියා, නොකර පිටවී ගියා. මා දැන් තනිවම මුහුණ දිය යුතුයි සියල්ලටම.

 

හංදියක් හංදියක් ගානේ සායම් විකුණන්ට තබා ඇති කිසිම වෙළඳසලක නැති මේ සායම් මම අවුරුදු ගණනක් පුරාවට විවිධ අවස්ථාවලදී මිලදී ගෙන විවිධ මාත්‍රයන්ගෙන් කලවම් කර තනා ගත්තා. නමුත් දැන් ඒ සියලු වර්ණ හැලී ගොස් හමාරයි.

 

මේ කහ පාට මට උපතේ දී  කුඩා කල පටන් ආදරයෙන් මා රැකබලා ගත් දෙමාපියන් උදේ හවස මා හිස අතගා සෙනෙහෙවත් වූ කල මගේ සිතින් විහිදී ගිය රශ්මිය ගබාඩකර තබා සාණ්ද්‍ර කොට තනාගත් වර්ණය, එය විසිරී ගියා.

 

මේ රොස පාට මාගේ මග ගමන් ගත් මට සෙනෙහෙවත් වූ මගේ කුඩා ගෝල බාල සහෝදර පිරිස මට දැඩිව දැක්වූ සෙනෙහස නිසා මාගේ මුවෙන් ගිලිහී ගිය සියලු සිනා එක කොට තබා සාණ්ද්‍ර කොට තනාගත් වර්ණය. එයද හැලී ගියා.

 

මේ නිල් වර්ණ්ය මගේ අත ගන්නට මා පසු පස පැමිණි එහෙත් අවසර නොලද්දෙන්,  මගේ හෝ ඔවුන්ගේ අවාසනාවට මා අත අහිමිව මට සමුදුන් අය සමුදුන් මොහොතේ මට ආසිරි පැතූ විට මගේ සිතෙන් ගලා ගිය කරුණාව මා දිගු කාලයක් තිස්සේ එක් කොට සාණ්ද්‍ර කොට තනාගත් වර්ණය, එයද විසිරී ගියා…

 

මේ කොළ වර්ණය මම රට පුර ලොව පුරා ඇවිද එහි වූ ලක්ෂණ දැසින් දැකගත් විට මා සිත සතුටින් පිරිගිය මොහොතේ මගේ සිතේ ඇතිවූ සතුට එක් කොට සාන්ද්‍ර කොට තනාගත් වර්ණය එය ද විසිරී ගියා වෙරළ මත.

 

මේ දුඹුරු පැහැය මා වැඩිවිය පැමිණ තාරුණ්‍ය දැන්නෙනට වූදා පටන් සිත නැවතී ගිය නෙක සිත මට නොලැබුණු බව දැනගත් සියලු අවස්ථාවලදී මාගේ බොලඳ සිතෙවූ සියලු ලැජ්ජා එක් කර තනුක කර විටක සාන්ද්‍ර කර තනාගත් වර්ණය. එය විසිරී ගිය අයුර ඔබ දුටුවා ද ???

 

මේ තැඹිලි පාට අයෙක් මාගේ සිත පතා මා හිතවතියන් අත එවූ පෙම් හසුන් හා මා දෙස බැලූලුම් ඉදිරියේ රැවටී මා රැවටුණු බවක් දැනගත් දා සිත වසා ගත් බියත් කෝපයත් වාර ගණනක් තිස්සේ තනුක කොට සාදාගත් වර්ණය . හැලී ගිය අපූරුව එය.

 

මේ ලා රතුපැහැය අයෙක් මා අවලක්ෂන බවක් කියා මා හෑල්ලු කර මා අසළටම වී සිටි තැනැත්තියකගේ අතගත් බවක් කීදා මගේ හිස පැලී ගලා ආ රුධිරය හැකිතාක් තනුක කර සාදාගත් වර්ණය. එය ද හැලී ගියා අපූරුවට.

 

මේ ලේ රතු පැහැය මීට වසර දෙකකට පෙර, අයෙක් මාගේ හදවතේ ගැඹුරට ඇණ හදවත කපා හෙලූ කල ගලා ආ රුධිරය වසර දෙකක් මුලුලේ එකම අයුරින් තනුක කොට සාදා ගත් වර්ණය විසිරී ගියා එය ද.

 

මේ කලු පාට මා අඳුරු කාල සීම පසුකළ සියලු අවස්ථාවල දී ඒ මතක යම් ප්‍රමාණයකින් එක්කාසු කර සාදාගත් වර්ණය එය ද විසිරී ගියා..

ඔහු මා කී සියල්ල අසා සිටියා නිහඬව ම. දිගු නිහඬතාවයකට පසු කියා සිටියා මට මේ ලෙසකට.

 

ඔබ අඳින්න චිත්‍රය. ඔබේ කැන්වස් රෙද්ද මත, මගේ හුණුකූරෙන්. ඈත ක්ෂිතිජය දෙස බලන්න. අහසත් පොළවත් එකට එක්වන ක්ෂිතිජය ඔබ අඳින්න ඔබේ දෑසින් බලා, ඔබේ දෑසින් දැක.

 

ගල්කූර මා අතට දී ඔහු ඈත්වී සිටියා මට පෙනෙන නොපෙනෙන දුරින් හරිටම ගල් පර දෙකක ඈතින්. මා දෙස මට නොපෙනෙන සේ බලමින් පූර්ණ අවධානය මට දෙමින් එහෙත් මා රවටමින් ඔහු රවටා ගනිමින්. වෙනත් ස්ත්‍රියකගේ සිත සනසමින්.

 

මා ඉතාමත්ම සෙමින්, වැරදි වැරදී ඒ වැරදි මත නැවත නැවත හුණු කූර යවමින් ක්ෂිතිජය චිත්‍රයට නැගුවා.

 

මළ මිනියක් ගොඩට ගෙන, එය කැන්වස් රෙද්දක් මත තැබුවා නම් මගේ චිත්‍රයට කදිම උපමාවක් වනු ඇතැයි මා සිතුවා.

 

මා ඔහු අමතා කියා සිටියා මාගේ කර්තවය අවසන් බව.

 

ඔහු පැමිණියා සිනාසී කියා සිටියා නේක පාටින් හැඩ ගැන්වුණු වැලි ඔබේ දෑතට ගෙන, ඒවා සිහින්ව හලාගන්න අනතුරුව, චිත්‍රය මත විසුරවන්න. මේ දැල් රෙද්ද මත වැලි විසිරී ගිය විට අවශ්‍ය ප්‍රමාණයට හැලී යාවී ඒවා. හැලී ගිය වැලි ගෙන,මේ ගම් බෝතලයෙන් ගම් ගා හුණු කූරෙන් ඔබ ඇඳි සිතුවම මත අලවා ගන්න.

 

එපමණක් පවසා සිටි ඔහු වෙන්වී ගියා, මට වඩා එක් ගලපරක් ඈතින් සිට මා දැක්ක නොදැක්ක සේ. වෙනත් කීප දෙනෙක් සමඟ සිනාසෙමින් කතාබස් කරමින් මා ගණනකට නොගනිමින් එහෙත් විටල කොළ බැලුම් හෙලමින් එහෙත් පූර්ණ අවධානය මට දෙමින්.

 

වැලි හැලීමත්, කැන්වස් රෙද්ද මත ගම් ගැල්වීමත්, ඒ මත වැලි ඇලවීමත් මා රටාවකට කළ යුතුව තිබුණා. මා ඒ සියල්ල රටාවක හරි හැටි කළ යුතුව තිබුණා. නමුත් මා ඒවා ඒ අයුරින් නොදැන සිටියා.

 

සියල්ලටම වඩා රාත්‍රිය එලඹීමට පෙරාතුව,මා චිත්‍රය නිමකල යුතුව තිබුනා.

වරෙක ඔහුට වෛර කරමින් තවත් තවත් වරෙක ස්තූතීවන්ත වෙමින්. වැලි ඔරලෝසුවේ වැලි වේගයෙන් පහතට රූරා වැටෙමින් තිබුනා. රෑ බෝවීමට පැය කීපයක්ව තිබුණා.

 

චිත්‍රය අවසන් වන්නට ආසන්න වූවා පමණි. කැන්වස් රෙද්ද , ඒ මත අලවා තිබූ වැලි වල බරට එය කාඩා වැටෙන්නට ඔන්න මෙන්න තිබුණා. තව මොහොතකින් මෙය පොළව මත පතිත වේ යැ යි මා සිතත්ම ඔහු පැමිණ සිටියා ශක්තිය දී මාගේ සිතුවමට දෙඋරින් එය හිරකර නොදී වැටෙන්නට. ශක්තිය දී කියා සිටියා මා අර ඈත තබා ඇති ශක්තිමත් ලීය හණික ගෙන ගෙන එන්න. එය ආධාරකයක් ලෙස සවි කරන්න.

 

මා අසළටම වී හිඳ, මාගේ චිත්‍රයට බර දෙමින්, මා නොදැක්කාසේ මගේ ඇස් සමඟ සිනා සී මා වෙත පුර්ණ අවධානය දෙමින්.

 

ඉතාමත්ම බර ශක්තිමත් ආධාරකය රැගෙනවිත් තනිවම චිත්‍රය මා සවිකර සිටියා. ඔහුට ස්තූතිවන්ත වෙමින්, තවත් විටක වෛර කරමින්. රැබෝවන්නට ඉතාමත්ම ආසන්නව තිබුණා.ඔහු දෙදෙනෙක් වූ ඈදෙස බලා සිටියා අඩවන් නෙත් ඇතිව .

 

සඳ ද පායා තිබුණා, තරු සඳ එළියේ ගිලී තිබුණා.

 

ඔහු සිය හඬ අවධි කර මෙසේ කියා සිටියා. දැනි ඔබේ සිතුවම හුදෙක් සිතුවමක් නොවෙයි. එය කලා කෘතියක්. මා සතුව ඔබට තෑගි කරන්නට යමක් වෙයි. ඒ මාගේ සායම් පෙට්ටිය ඔබ මෙන්ම වසර ගණනක් මුලුල්ලේ මා රැස්කොට තබා ගෙන තනුක කර සාන්ඳ්‍ර කර සාදා ගත් සායම් වර්ග. ඔබ සතුවූ සියලු වර්ණ එහිද ඇත. කහ, රෝස,නිල්,කොළ,දුඹුරු, තැඹිලි,රතු, කලු සහ අලුතින්ම එක් වූ ලා රතු.ඒ සියල්ල ඔබට ත්‍යාග කරමි මම. මගේ වර්ණ ඔබේ වර්ණ මත යවා හැඩ කරගන්න ඔබේ කලා කෘතිය.

 

සියල්ල අහිමිවී තිබූ මට එය,තරම් වටිනා යමක් නොවුණා ඒ වන විට. ඔහු මා අසළටම වී සිටියා. මා ඔහුට දසදහස් වරක් ස්තූතිවන්ත වූවා.

 

මා අසළට වී සිටියා හුස්මක දුරෙන් මාත් සමඟින්ම මුහුදු සුළඟට වඩා වෙගයෙන් ඔහුගේ සුසුම් මාගේ කොපුල් මත වැදී නො වැදී ගිය අයුරු මට අදටත් සිහිවන විට දැන්නේ ඉවසුම් රහිත බවක්. මාගේ සිතුවම මත ඔහුගේ සායම් ආලේප කළ විට එහි වූ රූප ස්වභාවය සඳ එළියෙන් දිලිසෙන්නට පටන් ගත්තා.

 

මා නික්ම යායුතු බව මා දැන්සිටියා. එහෙත් ඔහුත් මේ වෙරළත් අත් හැර මට නික්මා යානොහැකි බව මා දැන්සිටියා. එය ඔහු ද දැන සිටියා විය යුතුයි. නමුත් සියලු කඳුලුත් වේදනාත් සිතේම සිරකරගෙන සිත පුරා බැඳි ආලය ඔහුට නොකියාම වෙරළ තීරයෙන් සමුගන්නට මා තීරණ කර තිබුණා.

 

නමුත් මා අවසන් වරට නැවත ක්ෂිතිජය දෙස බලා සිටියා ඒ මාගේ සිතුවමේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමට. මා එක් වරම දුටුවා රුවල් නැවක් තනිව පාවෙන. මා ඉතාමත්ම ඉක්මණින් මගේ පින්සල ගෙන කලු පාටින් සිතුවම් කලා ඒ රුවල් නැව.

 

කාලය ඉගිලී ගියා. මා රුවල් නැව සිතුවම් කර අවසන්වූවා පමණි. මගේ අතින් මගේ පිසලය උදුරාගත් ඔහු මා සිතුවම් කළ රුවල් නැව අසළින්ම රුවල් නැවක් ඇඳ සිටියා.

 

සඳ බැස යත්ම උදෑසන එළඹෙත්ම මාගේ ඉණවටා ගිය අත මගේ කොපුල් මත යවා ඔහු මාගෙන් අසා සිටියා මේ සිතුවම මත යදමක් ඇඳ එක් කර සිටිමුද මේ රුවල් නැව් දෙක කියා.

 

දහසකුත් එකක් බධා මැද අපි දෙදෙනා එක්ව අවසානයේ සියලු ආශීර්වාද සමඟ රුවල් නැව් දෙක එක් කර සිතුවම් කලා සිතුවමක් සසර මග හුරු පුරුදු ලෙසකට.

 

කාලය ගතවත්ම ඒ එකම සිතුවම මත අප දෙදෙනා ද තවත් දකුණත් තුනක් ද ඉතාමත් මැතකදී සිඟිති දෑත් ගණනාවක් ද එකී සිතුවම් කළා ජීවිත සිත්තම ඔහුගේ අනුදැණුම මත මගේ කැන්වස් රෙද්ද මත.