මව්පිය වරුණ

Share

ඉරේ එළියෙන්, හඳේ සිසිලෙන් ලෝකය හැඩ උනා වගෙයි, අපෙ ජීවිතත් ලස්සන කළෙ, ලස්සන කරන්නෙ ආදරණීය අම්මා සහ තාත්තා. ඉතිං මේ කවි පන්තිය ඒ උතුම් මව්වරුන්ට පියවරුන්ට උපහාරයක් ම වේවා !

 

එකකින් නවතින්න හැකිද ළමැදට කිරි     එරෙද්දී

අදරින් සිපගන්න මදි ද ඉතිරෙන සුව       මැවෙද්දී

හැඟුමින් තවරන්න බැරි ද රසඳුන නෙත පිනෙද්දී

සතුටින් දුක නිවෙන් නැති ද දරු සම්පත  පිරෙද්දී

 

කිරි සුවඳ හමන කල ගෙයි පුරා දස               අතේ

පිරි සෙනෙහෙ බෙදති සිරි ඉපිළෙමින් ළය මෙතේ

තිරි ඉතිරි කැකුළු පොඩි සැපත මවමින්       සිතේ

සිරි විමන මැවෙනු ඇත එ’ගැන කුකුසක්    නැතේ

 

දස මසක් විඳින්නැති නුහුරු දුක්                  බෝම

රස දෙයක් නොගන්නැති කැප කෙරුම        සේම

ඇස හුඟක් වරන්නැති නින්ද නැති                 රෑම

තොස මිසක් අද අයිති නෑ දුකක්                කෝම

 

පොකුර පිටින් පීදෙන මේ ළකල් ළපටි          මල්

ඉසිර තුටින් නෑවෙන පිනි අරුණලු        හසරැල්

මිහිර මැදින් ජීවය පිඹ සැපත සියලු             කල්

සිසිර ලදින් සැනසේ ලොව ආසිරි          ගඟුලැල්

 

ඇහේ තියන් රකින මහිමෙ මොන බාධක       ආවත්

කොහේ උනන කිරි ද අනේ පුදුමයි මට          තාමත්

රැහේ සැමගෙ වාසනාව කවුරු කොහොම     කීවත්

ගහේ ගෙඩිය බර නෑ ඒ ගහට                කවම දාවත්

 

සිත්යාය පුබුදමින් රන් රසට    මුසු විය

සන්තාප දුරලමින් සුරභිදෙන  හමු විය

පින්සාර හැඟුමකින් පාරමී       ඉටු විය

සංසාර පැතුමකින් පිදෙයි මව්    පදවිය

 

සඳක් උනත් හිරු එළියෙනි        දිලෙන්නේ

නමුත් හිරුගෙ මහිමය නොම   කියන්නේ

පියෙක් නැතිව දරුවෙක් නැහැ   උපන්නේ

එයත් නිතින් සිහියට ගනු        අගෙයිනේ

 

Image link: https://bit.ly/3K9YUgw

 
Tagged : / /