අවීචි දොර තව චුට්ටක් කරනු පමා

Share

“දුම්රිය වේදිකාවේ හෝ දුම්රිය මැදිරි තුළ සොරුන් සහ ගැටකපන්නන් ගැවසීමට ඉඩ ඇති බැවින්, මගීන් තම තමන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන, රන් ආභරණාදිය පිළිබඳ විමසිලිමත්ව සිටින්න.” ඇහුණෙ එච්චරයි. හරියටම මා දිහා බලාන කියනවාදෝ කියලත් එකපාරට හිතුණා. ඒත් එක්කම ගෙදර පුංචි උන් මතක් වෙලා ආයෙම වටපිටාව පොඩ්ඩක් බලල කෝච්චියක් එනව දැකල ඒ පැත්තට සේන්දු වුණා.

කීවත් ලොක්කන් නෙක නෙක  ගජබින්න
අපෙ දුකේදි කෝ උන්දැල කන්  දෙන්න
සවි නැහැ බැලුමට පවුලගෙ       බඩගින්න
පුංචි පැටව් අඬද්දි බැහැ             ඉවසන්න

රේල් පීලි දැක ගෙල ඒ වෙතට             නැවේ
දරු පවුලගෙ හෙට වෙනුවෙන් දිවිය  ගෙවේ
හදවත පුළුස්සාලන ගිනි පුපුරු          මැවේ
මහතුණි තුමියණි මගෙ හද නිතොර දැවේ

චූටි දෝණි ලබන වසරෙ ඉස්කෝලේ
හැමදාමත් වියළි පොලේ සම්බෝලේ
පොඩි එකීගෙ හිත වහගෙන සබකෝලේ
රත්වෙන්නෑ දියවන්නා සෙංකෝලේ

පුංචි පුතා අඳ බිළිඳෙකි උපතින්ම
මාස තුනත් ලැබුවා පව් යහතින්ම
කිරි සුරතල් පෙම මැවෙද්දි දසතින්ම
මාව මැරි මැරී ඉපදේ මොහොතින්ම

බිරිඳ මගේ ඉස්සර හරි හැඩකාරී
මලක් වගේ සිටියේ හද ලොබකාරී
තැවෙන දැවෙන දුක්ගිනි ඇගෙ රුවනාරී
මාව බැන්දෙ ඇයි සුන්දර පව්කාරී

සොරකම් කළේ හදවතෙ සතුටකින් නොවේ
ඔබෙ බව දැනත් ගත්තේ පිරියකින් නොවේ
දාඩිය කඳුළු සුසුමන් නොදැනුණා නොවේ
පිය සෙනෙහස හින්දයි ඒ මහිමෙ ලොවේ

දොස් පදවැල් මුසු වී රුදු සුළං හමා
බස් හී සැර කන් හකුළමි දෙයැස යොමා
යමයෙ රජුණි ගැති යදිනෙමි පාද නමා
අවීචි දොර තව චුට්ටක් කරනු පමා

Image Courtesy : https://bit.ly/2LVjO7g

 
Tagged : / /