පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණය කරන්නේ කෙසේද?-7

Share

 

යෝධ වායු ග්‍රහලෝක වර්ගීකරණයේ අනිකුත් කොටස් පිළිබඳව සහ ජනප්‍රිය සංස්කෘතියේ ග්‍රහලෝක වර්ගීකරණයන් පිළිබඳව මෙම ලිපිය තුළින් ඉදිරිපත් කරනු ලැබේ.

පස්වන කාණ්ඩය : සිලිකන් වලාවන් (Class V : Silicon Clouds)

මෙම ග්‍රහලෝක ඉතා උණුසුම් වායු යෝධයන් වන අතර මෙම ග්‍රහලෝකවල උෂ්ණත්වය 1400 K  ද ඉක්මවනු ලැබේ. මෙම ග්‍රහලෝක මව් තාරකාවට ඉතා ආසන්නව පිහිටමින් තදින් බැඳී පවතින අතර අප සූර්යයා වැනි තාරකාවක් වටා මෙවන් ග්‍රහලොවක පැවැත්මට, ග්‍රහලොව හා තාරකාව අතර දුර නක්ෂත්‍ර ඒකක 0.04 ක තරම් පහළ අගයක් පැවතිය යුතු ය. මව් තාරකාවට ඉතා ආසන්නව පවතින බැවින් මෙම ග්‍රහලෝක, තාරකාවට අමතරව ස්වයං ලෙස රතු තැඹිලි ග්‍රහලොවක් ලෙස ප්‍රභාමත් වන අතර ග්‍රහලොවේ රාත්‍රී කලාපය රත් පැහැ ගැන්වේ. සාමාන්‍යයෙන් මෙම ග්‍රහලොවක පැහැය කොළ අළු පැහැයෙන් යුතු වේ. මෙම කාණ්ඩයේ ග්‍රහලෝක කෙටි කාලීන උණුසුම් බ්‍රහස්පතීන් (short-period hot Jupiter) ලෙස ද හැඳින්වෙන අතර මෙම ග්‍රහලෝකයේ අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම ග්‍රහලෝකයන්හි වායුගෝලයන් සුවිශාල අයුරින් ව්‍යාප්ත වීමකට ලක් වන අතර එම හේතුවෙන් මෙම ග්‍රහලෝක “ඉදිමුණු ග්‍රහලෝක (puffy planets)” ලෙස ද හැඳින්වේ.

මෙම ග්‍රහලෝකයන්හි වායුගෝලය නිරතුරුව ම මතුපිටින් ඉහළ නැගෙන සිලිකේට හා යකඩ වාෂ්පවලින් (silicate and iron vapor cloud) යුතු වලාකුළුවලින් යුතු වන අතර මෙම වලාකුළු හේතුවෙන් එම ග්‍රහලෝකයන්හි ඇල්බිඩෝ අගය 0.55 ක් තරම් තරමක් ඉහළ අගයක් ගනී. මෙම ග්‍රහලෝකයන්හි ඉහළ උෂ්ණත්වය හේතුවෙන් එම ග්‍රහලෝකයන්හි සමහර වායූන් උපතාරීය අවස්ථාවේ (sub-stellar point) පවතින අතර, ග්‍රහලෝකයේ අයනික වායුගෝලය විශාල ධූමකේතු වල්ගයක ආකාරයෙන් මව් තාරකාව විසින් වියැකීමට (eroded away) ලක් කරනු ලැබේ. මෙම කාණ්ඩයේ ග්‍රහලෝකයක් ලෙස 51 Pegasus b හැඳින්විය හැක.

ජනප්‍රිය සංස්කෘතියේ ග්‍රහලෝක වර්ගීකරණයන්

ජනප්‍රිය සංස්කෘතිය යනු ප්‍රබන්ධ, චිත්‍ර කතා, සිනමා පට, රූපවාහිනි කතා මාලාවන්වලින් සමන්විත සාහිත්‍ය ලෝකය වන අතර පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණයට මෙම සංස්කෘතියේ විද්‍යා ප්‍රබන්ධ, සිනමා පට, රූපවාහිනි කතාංග, පරිගණක ක්‍රීඩා ආදී බොහෝ අංගයන් දායක වී තිබේ. මින් සමහර වර්ගීකරණ ජනතාව අතර අතිශය ජනප්‍රිය වී ඇති අතර මෙම ජනප්‍රිය භාවය හේතුවෙන් ම සමහර වර්ගීකරණයන් විද්‍යාත්මක වර්ගීකරණයන්හි පදනම් ලෙස ද ගෙන තිබේ. ඒ ආකාරයෙන් වඩාත් ජනප්‍රිය වර්ගීකරණ කීපයක් පහත දැක්වේ.

ස්ටාර් වෝස් ග්‍රහලෝක වර්ගීකරණය (Star Wars Planet Classification)


ජනප්‍රිය සංස්කෘතියේ පිටසක්වල ජීවීන් සහිත ග්‍රහලෝක, අභ්‍යාවකාශ ගමන්, විවිධ ජීවීන් පිළිබ සාකච්ඡා කිරීමේ දී මතකය නැගෙන මුල්ම කතාංගයන්ගෙන් එකක් ලෙස ස්ටාර් වෝස් කතාංග මාලාව සැලකිය හැක. මෙම කතා මාලාව තුළ මෙම ග්‍රහලෝක වෙන් වෙන්ව ප්‍රධාන වශයෙන් අයත් වන හා හැඳින්වෙන වර්ගීකරණයක් දක්නට ලැබෙන අතර එම වර්ගීකරණය පහත පරිදි වේ.

1. නගර ග්‍රහලෝක (city planets) – නගරයන්ගේ අසීමිත ව්‍යාප්තිය මඟින් ග්‍රහලොවේ මුළු මතුපිට ම අත්පත් කර ඇති ග්‍රහලෝක මෙනම් වන අතර මෙවන් ග්‍රහලොවක ජනගහනය ට්‍රිලියන ගණනක් වනු ඇතැයි සැලකේ. එම කතා මාලාවේ කොරසන්ට් (Coruscant) මෙවන් ග්‍රහලෝකයකි.
2. ගිනිකඳු ග්‍රහලෝක (volcano planets) – භූමිකම්පා, ලාවා ගංගා, දුමින් සහ එකිනෙකක් හා නොබැඳුණු අස්ථාවර කඳුවලින් යුතු ග්‍රහලෝක මෙනමින් හැඳින්වේ. මෙම කතා මාලාවේ “Revenge of the Sith” චිත්‍රපටයේ අනාකින් හා ඔබි වැන් සටන් වදින්නේ මෙවන් ග්‍රහලොවක දී ය.


3. වගුරු ග්‍රහලෝක (swamp planets) – ඉතා තෙත් පරිසරයකින් යුතු මෙම ග්‍රහලෝක ඇලෙන සුළු වගුරු ලක්ෂණවලින් යුතු මීදුම අධික ග්‍රහලෝක වේ. යෝධා (Yoda) ජීවත්වන ඩැගෝබා (Dagoba) ග්‍රහලොව මෙම කාණ්ඩයේ ග්‍රහලොවකි.
4. කාන්තාර ග්‍රහලෝක (desert planet) – කාන්තාරමය ලක්ෂණවලින් යුතු ජලය ඉතා ස්වල්ප ප්‍රමාණයක් හිමි හා ඉන් වැඩි ප්‍රමාණයක් භූගතව පවතී. මෙම කාණ්ඩයේ ග්‍රහලොවක් ලෙස ටැටූයින් (Tatooine) සැලකේ.
5. වනාන්තර ග්‍රහලෝක (forest planets) – ග්‍රහලොවෙන් විශාල ප්‍රමාණයක් වනාන්තරවලින් වැසුණු ග්‍රහලෝක මෙනම් වේ. එන්ඩොර් ග්‍රහලොවේ සඳ මෙවන් ග්‍රහලොවකි.
6. අපද්‍රව්‍ය ග්‍රහලෝක – මෙම ග්‍රහලෝකයන් වෙත අනිකුත් ග්‍රහලෝකයන්හි අපද්‍රව්‍ය බැහැර වීම සිදු වේ. ජැකු (Jakku) මෙවන් ග්‍රහලොවකි.
7. අයිස් ග්‍රහලෝක – ග්‍රහලොව අයිස් ආවරණයකින් වැසී ඇති අතර ග්‍රහලොව අධි ශීත අවස්ථාවේ පවතී. හොත් (Hoth) මෙවන් ග්‍රහලොවකි.

ස්ටාර් ට්‍රෙක් ග්‍රහලෝක වර්ගීකරණය (Star Trek Planet Classification)

මෙය අනිකුත් වර්ගීකරණ මෙන් විශේෂ ග්‍රහලෝක කීපයක් පමණක් ආවරණය නොකරන අතර සෑම අවස්ථාවක ම පවතින හා පැවතිය හැකි ග්‍රහලෝක පිළිබ වර්ගීකරණය කරනු ලබන ඉතා විධිමත් වර්ගීකරණයකි. ඒ අනුව මෙම ග්‍රහලෝක එක් එක් ග්‍රහලොවේ වායුගෝලය හා මතුපිට හැසිරුම අනුව වර්ග විසි දෙකකට වෙන් කරනු ලැබේ.

A කාණ්ඩය – භූතාප (Geothermal) : ගිනිකඳු ක්‍රියාකාරීත්වය අධික පාෂාණමය ග්‍රහලෝක
B කාණ්ඩය – භූමර්ථ (Geomorteous) : මව් තාරකාවට ඉතා ආසන්න කුඩා පාෂාණමය ග්‍රහලෝක
C කාණ්ඩය – භූ අක්‍රියකාරි (Geoinactive) : කිසිදු භූ ක්‍රියාකාරීත්වයක් නැති කුඩා ග්‍රහලෝක
D කාණ්ඩය – වාමන (Dwarf) : වායුගෝලයක් නොමැති ග්‍රහාංශු
E කාණ්ඩය – භුප්ලස්ටිකමය (Geoplastic) : අලුතින් නිර්මාණය වන නිතර ගැටෙන පාෂාණ හා ග්‍රාහක ගැටුම්  සහිත ජීවයට හිතකර ග්‍රහලෝක
F කාණ්ඩය – භූලෝහ (Geometallic) : සිසිල් වූ භු ක්‍රියාකාරි E කාණ්ඩයේ ග්‍රහලෝක
G කාණ්ඩය – භූස්ඵටික (Geocrysalline) : F කාණ්ඩය සිසිල් වී ප්‍රාථමික ජීවය නිර්මාණය වන ග්‍රහලෝක
H කාණ්ඩය – කාන්තාර (Desert) : ග්‍රහලොවේ 20% ක් පමණ ජලයෙන් සමන්විත වන ශුෂ්ක ලක්ෂණවලින් යුතු ග්‍රහලෝක
I කාණ්ඩය – අයිස් යෝධයන් (Ice Gaints) : සිසිල් අයිස් මූලද්‍රව්‍ය සහිත ග්‍රහලෝක (යුරේනියානු ග්‍රහලෝක)
J කාණ්ඩය – බ්‍රහස්පතීන් (Jovians)
K කාණ්ඩය – සකස් කළ හැකි (Adaptable): අධික භූ ක්‍රියාකාරම් නිසා මළ බවට පත් ග්‍රහලෝක
L කාණ්ඩය – සීමාකාරි (Marginal) : 20% ට වඩා ජලය සහිත සීමාකාරි ලෙස ජීවය පවත්වා ගන්නා ග්‍රහලෝක
M කාණ්ඩය – පෘථිවි ආකාර(terrestial) : ජීවය සහිත ග්‍රහලෝක
N කාණ්ඩය – ඛාදනය වන(redusing) : සල්ෆර් ග්‍රහලෝක
O කාණ්ඩය – සාගර (Pelagic) : ජලය 80% ට වඩා පවතින ග්‍රහලෝක
P කාණ්ඩය – ග්ලැසියරකාරි(Glaciated) : ග්‍රහලොවේ 80% පමන ග්ලැසියර සහිත පාෂාණ ග්‍රහලෝක
Q කාණ්ඩය – විචල්‍යමය (Variable) : ග්‍රහලොවේ අධි ඉලිප්සීය පථය හේතුවෙන් ග්‍රහලොවේ ස්වභාවය නිරතුරුව ම වෙනස් වන ග්‍රහලෝක
R කාණ්ඩය – හුදෙකලා ( Rogue) : මව් තාරකාවක් නොමැති ග්‍රහලෝක
S කාණ්ඩය – සුපිරි යෝධ (Super Gaint)
U කාණ්ඩය – අධි සුපිරි යෝධ (Ultra Gaint) : ග්‍රහලෝක කාණ්ඩයේ සීමාව
X කාණ්ඩය – Chthonian : මව් තාරකාවට ඉතා ආසන්න වීම නිසා වායුගෝලය අහිමි වීමෙන් ඉතා ඝන ලෝහ හෝ පාෂාණ හරය පමණක් ඉතිරි වූ සුපිරි යෝධ හා අති සුපිරි යෝධයන්
Y කාණ්ඩය – භයානක (Demon) : සෑම ආකාරයකින් ම ජීවයට අහිතකර ග්‍රහලෝක
මෙහි උප කාණ්ඩ දෙකක් පවතින අතර එම උප කාණ්ඩ ප්‍රධාන කාණ්ඩයන්හි උපශාඛාවන් ලෙස ගැනේ.

උපකාණ්ඩය 1 – විතංසමය (Retinal): හරිත පැහැ ශාක වගාවන් වෙනුවට දම් පැහැ ශාක වගාවන් සහිත ග්‍රහලෝක
උපකාණ්ඩය 2 – චන්ද්‍රිකාවන් (Satellites)
එලෙසින් ම ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධකරු අයිසැක් ඇසිමොව් විසින් සිය ග්‍රන්ථයන්හි ග්‍රහලෝක හා ග්‍රාහක අතර පවතින වස්තූන් එනම් බුධ හා සෙරස් අතර විශාලත්වයෙන් යුතු වස්තූන් මෙසො ග්‍රහලෝක (meso planets) ලෙස හඳුන්වා දී ඇත.
මීට අමතරව විද්‍යාවේ දියුණුවත් මිනිස් පරිකල්පනයේ පුළුල් වීමත් යටතේ නව පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණයන් තවදුරටත් අනාගතයේ බිහිවනු ඇත.

References ;

https://bit.ly/3idPpPt

https://bit.ly/2VphUzB

https://bit.ly/2Zh9wU1

https://bit.ly/3gaILr4

https://bit.ly/3g5C8Xd

 
Tagged : / / /