සුපහන් සිතින් පොසොන් සමරමු

Share

පොසොන් පොහොය දිනය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂි වු පොහොය දිනයකි. මන්ද යත් විජය රජුගේ ආගමනයට පෙර හා පසුව මෙරට විසූ විවිධ වර්ගයේ ජන කොට්ඨාස ශිෂ්ටසම්පන්න ජන සමාජයක් බවට පත්වීමේ මූලික අඩිතාලම වැටුණේ අද වන් පොසොන් පොහොය දිනයක යි. පොසොන් පොහොය දිනයේ සිදු වූ වැදගත් ම සංසිද්ධිය වන්නේ මහින්දාගමනය යි. බුදුන්වහන්සේගේ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය ද රැගෙන අනුබුදු මිහිඳු හිමි ඇතුළු අනුශ්‍රාවක පිරිස ලක්දිව මිස්සක පව්ව හෙවත් මිහින්තලයට වැඩම කිරීම යි. එමෙන්ම බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් පසු හතරවන සතියෙ දී සවණක් ගණ බුදුරැස් විහිදීම සිදු වුයේ ද අද වන් වූ පොසොන් පොහොය දිනයක යි. දේවානම්පියතිස්ස රජුගේ සහය ඇතිව මිහිඳු හිමි විසින් මෙරට බුදුසසුන ස්ථාපිත කිරීමත් සමඟ අවිඳු අඳුරේ ගිලී විවිධ මිත්‍යා මත අදහමින් සිටි ලක්දිව ජනයාට නිර්මල වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයට, අනුගමනයට මෙන්ම භව කතරෙන් එතෙරවීමට ද මඟ පෑදුණි. මහින්දාගමනයෙන් පසු ශ්‍රී ලංකාවේ සංස්කෘතික, ආගමික, දේශපාලනික හා කෘෂිකාර්මික යන සෑම අංශයන්හි ම කැපීපෙනෙන දියුණුවක් ඇති විය. ජනතාව සියලු පස් පව්වලින් වැළකී  ‘ගමයි පන්සලයි, වැවයි දාගැබයි’ යන උදාර සංකල්පය මුල් කරගනිමින් කෘෂිකාර්මික දිවි පෙවෙතකට හුරු  වූහ.

වර්තමානය වන විට මෙම සංකල්පය මෙලෙස පවතින්නේ ද යන්න සිතූ විට සිතට දැනෙන්නේ යම් කුතුහලයකි. දිනෙන් දින අභාවයට යන කෘෂිකර්මයත් ක්‍රමයෙන් ආගමට දහමට පිටුපා ජීවත් වන ජනයා දුටු විට සිතෙහි යම් කනගාටුවක් ජනිත වේ. වසංගත තත්වය හේතුවෙන් වසර තුනකට ආසන්න කාලයක් කටුක අත්දැකීම්වලට මුහුණ දුන් ජනතාව නැවතත් රාජ්‍ය පාලනයේ යම් යම් දුර්වලතා හේතුවෙන් පීඩා විඳිති. මෙම ගැටලු වලින් මඳක් හෝ සහනයක් ලැබෙන්නේ ආගම දහමට මුල්තැන දී කටයුතු කිරීමෙන් පමණි. වෛරය, ක්‍රෝධය, තෘෂ්ණාව ආදී වූ කෙලෙස් රැස්කරවන සිතුවිලි වලින් බැහැර වී මෛත්‍රිය, කරුණාව, පරිත්‍යාගය ආදී නිකෙලෙස් සිතුවිලි සිත් තුල ජනිත කරවා ගත යුතු වෙමු. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව බොහෝමයක් පොසොන් පොහොය දිනය ගත කරන්නේ සිල් සමාදන් වීමේ නිරතවෙමින් හා පොසොන් තොරණ හා දන්සල් සංවිධානය කරමිනි. තවත් පිරිස් කිසිඳු හරයක් නොමැති නිශ්ඵල ක්‍රියාවල යෙදෙති. මෙවර පොසොන් පොහොයේ සිට හෝ කිසිඳු හරයක් නොමැති නිශ්ඵල ක්‍රියාවලින් බැහැර වී උදව් අවැසි මිනිසුන්ට මෙන්ම සත්වයින්ට ද පිහිටවීමට හැකිනම් එය අගනේ ය. සිත් තුළ ඍණාත්මක සිතුවිලි යටපත් කරගෙන ධනාත්මක සිතුවිලිවලට මුල් තැනක් දෙමින් මානසිකව  මෙන්ම කායිකවද වෙහෙසට පත්ව සිටින මිනිසුන්ට ද වචනයකින් හෝ සහයක් විය හැකි නම් එය ඉමහත් අස්වැසිල්ලකි.

ශ්‍රී ලංකාව අතීතයේ සිට නොයෙකුත් විදේශීය ආක්‍රමණවලට මුහුණ දී සමාජයේ සුළු වෙනස්කම් සිදුවුවත් අද වන විටත් ලෝකයේ  බෞද්ධ කේන්ද්‍රස්ථානය බවට පත්වී තවමත් බුදු දහමට ලැදි සමාජයක් අප රට තුළ පවතී. එබැවින් මෙම පොසොන් පොහොය දිනයේ අප සැමගේ පැතුම විය යුත්තේ ආගම දහමට මුල් තැන දී අන්‍ය ජාතිකයින් සමග එකමුතුව ක්‍රියා කරමින් සියලු දෙනා බලාපොරොත්තු වන සෞභාග්‍යසම්පන්න රටක් ඉක්මනින් නිර්මාණය වනු දැකීමයි.

 

Written By Chamodi Prasadini

Image Courtesey: https://bit.ly/3zschWd

 
Tagged : /