පොසොන් පොහොය, මහින්දාගමනය සහ බෞද්ධ දර්ශනය

Share

අද පොසොන් පොහොය. වෙනදා මෙන් මෙවර විහාර භූමිය සැදැහැවතුන්ගෙන් පිරී නොගියත්, ගමක් ගමක් පාසා දන්සල් බත් සුවඳ පැතිරී නොගියත් අදත් “පොසොන්” යන නම ඇසෙද්දිත් අපේ සිතට දැනෙන්නේ බොහොම සුපහන් හැඟීමක්.

දේවානම්පියතිස්ස රජ සමයේ අද වන් පොසොන් පොහෝ දිනෙක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර සහ භණ්ඩුල උපාසක යන පිරිස විසින් ලක්දිවට බුදු සසුන රැගෙන විත් පිහිටුවන ලදී. භාරතයේ බුද්ධ ශාසනය නොපවතින බවත්, දිනෙක එය චිරාත් කාලයක් නොනැසී පවතින්නේ ලංකා ද්වීපයේ බවත් දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ,ලංකා ද්වීපය ආරක්ෂා කිරීමට උපුල්වන් දෙවිඳුන්ට භාර කළ බවත්, පසු කලෙක ධර්මාශෝක රජු තම පුත් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුලු පිරිස ලංකාවට එවූ බවත් ඓතිහාසික මූලශ්‍ර වල සඳහන් වේ.

බෞද්ධ දර්ශනයේ මූල බීජය රෝපණය කළ භාරතයේ බුදු සසුන පිරිහී යන කලෙක මෙරට ස්ථාවරව එය පිහිටු වීමට නම් ලක්වැසියා තුළ ආධ්‍යාත්මික වෙනසක් මෙන්ම සංස්කෘතිකමය පෙරළියක් ඇති කළ යුතු බව මිහිඳු හිමි වටහා ගත්තේය. ඒ අනුව ලක්වැසියන් අතර එවකට ප්‍රචලිතව තිබූ වෘක්ෂ හා පාෂාණ වන්දනයට බෞද්ධ අර්ථකථනයක් ලබා දෙමින්, චෛත්‍ය හා බෝධි වන්දනාව ආරම්භ කරන ලදී. බුදුන් වහන්සේ දැක ගැනීමට නොහැකිව දොම්නසින් පසුවූ දෙවන පෑතිස් රජුට උන් වහන්සේ පැවසුවේ බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා දැකීම බුදුන් දැකීම හා සමාන බවයි. ඒ අනුව සුමන හිමියන් ඉන්දියාවට වැඩම කර රැගෙන ආ ධාතූන් නිදන් කර ථූපරාමය ඉදි කරන ලදී. මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනය පරිදි සිදු වූ දුමින්දාගමනයෙන් පසුව මෙරට බෝධි වන්දනය ඇරඹිණි. ප්‍රාග් මහින්ද යුගයේ ස්ථාවර ගොඩනැගිලි කිසිවක් දක්නට නොලැබෙන අතර දසට කුලයක ශිල්ප ශ්‍රේණින්හි ආගමනයත් භාරතයේ අවන්ථි දක්ෂිණාපථ බෞද්ධ සම්ප්‍රදායේ සම්ප්‍රාප්තියත් සමග මෙරට කලා ශිල්පයන්හි නවෝදයක් ඇති විය.

 

මහින්දාගමනයේ සිට වසර 2300 කටත් අධික කාලයක් තිස්සේ පැවත එන ථේරවාද ධර්මයේ මූලික හරයන් විකෘති නොකොට අනාගතයටත් රැක ගැනීම ගිහි පැවිදි බෞද්ධ සියලුදෙනාගේම වගකීමයි. එදා මිහිඳුහිමියන් අපට හඳුන්වා දුන්නේ බෞද්ධ දර්ශනයක් මිස ප්‍රඥාව යටපත් කර භක්තිය ඉස්මතු කොට ගත යුතු ආගමක් නොවේ. එබවින් යමෙකු දිනපතා උදේ සවස මල් පහන් පූජා කිරීමෙන් හෝ සෑම පොහොයකටම සිල් සමාදන් වීමට යාමෙන් හෝ විහාරස්ථනයේ ප්‍රධාන දායකයා වීමෙන් හෝ සැබෑ බෞද්ධයෙකු නොවන බව මාගේ මතයයි. යමෙකු ලෝකය ඉදිරියේ බෞද්ධයෙකු වූ පමණින් ධර්මය ඉදිරියේ ද බෞද්ධයෙකු නොවේ.

බුදුන් වහන්සේ එදා පැවසුවේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි”; “මහණෙනි චේතනාවම කර්මය යැයි පවසමි ” යන්නයි. එබැවින් බෞද්ධ යන මුවාවෙන් යමක් කිරීමට ප්‍රථම සැබවින්ම එය ධර්මයට අනුව සිදු කරන්නේද යන්න ගැඹුරින් සිතා බැලිය යුතුය. කාලයාගේ ඇවෑමෙන් සමාජය තුළ මුල් බැසගෙන ඇති ධර්මය හා විනය පිළිබඳ වන විවිධ දුර්මත ඉවත් කිරීම සඳහා යළිත් ධර්ම සංගායනාවක් පැවැත්විය යුතු බවට ඇතැමෙකු මත පළ කළා ඇතැම් විට ඔබටත් මතක ඇති. සැබවින්ම එය එසේ කළ හැකි නම් අගනේය. නමුත් එවැන්නක් සිදුවන තුරුම බලා නොසිට තමාටම නුවණින් සිතා බලා වෙනස් විය හැකි නොවේද?

 

“පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි ” : “ධර්මය බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කර ගත යුතුය” ලෝකයේ වසංගතයක් ඇති වී ඇති මේ මොහොත, ලෝකයාට නියම බෞද්ධ දර්ශනය අවබෝධ කරවීමට ස්වභාව ධර්මයා විසින්ම දරන වෑයමක් විය හැකියි.

එබැවින් ලක්වැසි බෞද්ධයාට වැදගත්ම පොහොය දිනයේ යළිත් සිතන්න…දෑස් වසාගෙන සිතන්න… දෑස් විවරව ඇති විටෙකට වඩා දෑස් වසා ඇති විටෙක නිවැරදිව දැකිය හැකියි. නිවැරදිව සිතා ධර්මය දකින්න…

 

Written by – Navodhya Laksarani

Image 1- https://images.app.goo.gl/givXgGpSCjvMCTHVA
Image 2- https://bit.ly/36zwTvo
Image 3- https://bit.ly/3eRcB3B
Image 4- https://bit.ly/3cizM4Y

Reference- බෞද්ධ ධර්මාචාර්ය විභාගය (බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය )

Special thanks — Thara Pieris

permalink ; Poson_poya_Da

 
Tagged : /