ප්‍රේමසිරි කේමදාස ගාන්ධර්වයාණෝ

Share

“මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී……
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්‍රාසයෙන්……
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා කන්‍යාවී……”

මේ ගීතය මුල් වරට ඇසූ දිනය මගේ මතකයේ තවමත් තැන්පත් ව ඇත. එක් අතෙකින් ගත් කල, ගීතයේ පද මාලාව තුළින් පැවසෙන්නේ කුමක්දැයි කිසිඳු වැටහීමක් ලබා ගත හැකි නොවුණු නිසා, මම වික්ෂිප්තව සිටියෙමි. මා විස්මයට පත් කළ අනෙක් කාරණාව වූයේ, ගීයේ තනුව හා එහි සංගීත නිර්මාණයයි. ගීතය ඇසූ වහාම එහි සංගීතය නිර්මාණය කළ ගාන්ධර්වයා කවරෙක්දැයි සොයන්නට වෙහෙසෙනු මට සිහි කළ හැකි ය. ඒ, එතරම් ගීතයක් සජීවීකරණය කරන්නට සමත් සංගීතයක් මා අසා තිබුණා නම් ඒ ඉතා කලාතුරකින් වූ හෙයිනි. හේ අන් කවරකුවත් නොවේ, අපේ මාස්ටර් ය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් ය.

කේමදාස ශූරීන් ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා නමින් උපත ලද්දේ වාද්දුව ප්‍රදේශයේදී ය. ඔහු උපන්නේ දිළිඳු පවුලක බාලයා ලෙස ය. ඔහුට වැඩිමහල් සහෝදර සහෝදරියන් දොළොස් දෙනෙක් වූහ. ජීවිතය සරි කර ගැනීමට ඔවුන් ගෙන ගිය අරගලය නිසා, ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ සොයා බැලීමට පවුලේ කිසිවෙකුත් උනන්දු නොවුණි. ඔහුට අවුරුදු හතේ දී ඔවුන්ගේ පියා මෙලොව හැර ගියෙන්, මහත් ආයාසයෙන් සිය පවුල නඩත්තු කිරීමට ඔහුගේ මෑණියන්ට සිදුවිය.

බටනළා වාදනය පිළිබඳ කුඩා කේමදාසයන් තුළ පැවතියේ මහත් ඇල්මකි. ඔහු අඩුම මුදලකට විකිණීමට තිබූ බටනළාවක් මිලදී ගෙන, එය වැයීමට පුහුණු වූයේ ය. කුඩා කේමදාසයන් ඉගෙනීමෙහි සමතෙකි. ඒ වන විට පන්තියෙහි දක්ෂතම සිසුවා ඔහු විය. එහෙත් ඔහුට ලැබීමට නියමිතව තිබූ ද්විත්ව උසස්වීම ඔහුට ලැබුණේ නැත. ඒ පිළිබඳව විමසූ කේමදාසට සිදු වූයේ, විදුහල්පතිවරයාගේ ගුටි බැට ලබන්නට ය. ඒ සිදුවීමෙන් පසු, ඉගෙනීම කෙරෙහි වූ ඇල්ම ඔහු කෙරෙන් පහ වී ගියේ ය. ඒ වෙනුවට ඔහු බටනළා වාදනයට වඩාත් නැඹුරු විය.
කේමදාසයන් සංගීතඥයකු වනු දැකීම ඔහුගේ පවුලේ අය රුචි කලේ නැත. ඔහුගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැම්විට ඔහුගේ බටනළා විනාශ කර දැමූහ. පානදුර සිට කොළඹට දුම් රියේ බටනළා වාදනය කරමින් පැමිණි ආකාරය කේමදාසයන් විසින් පසු කලෙක දී සඳහන් කරන ලද ඔහුගේ ජීවිතය පිළිබඳ ප්‍රසිද්ධ පුවතකි. දුම් රියේ ගමන් කරන වරායේ සේවකයන් වෙනුවෙන් බටනළා වැයීම වෙනුවෙන්, ඔවුහු ඔහු අත සුළු මුදලක් තැබූහ. ඔහු කිසි දිනෙක දුම් රියේ ගමන් කිරීම සඳහා ප්‍රවේශ පත්‍ර නොගත්තේ ය. ටිකට් පරීක්ෂකවරුන් පැමිණි විට ඔහුගේ හිතවත් රසිකයින් මේ කුඩා බටනළා වාදකයා ටිකට් පරීක්ෂකවරුන්ගෙන් වසන් කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ සම්මුඛ පරීක්ෂණයකට කේමදාසයන් කැඳවා තිබුණේ, පාසලේ ජ්‍යේෂ්ඨ සහතික පත්‍ර විභාගය පැවැත්වීමට නියමිතව තිබුණු දිනයේදී ම ය. විභාගය නිම වීමටද මත්තෙන් ගුවන් විදුලියේ කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා හේ විභාග ශාලාවෙන් නික්ම ගියේ ය.

ආචාර්ය කේමදාසයන් අතින් විශාලම මෙහෙවරක් ඉටු වූයේ, චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට ය. ඔහු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේ, සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රපටයෙනි. ඔහු එම ක්ෂේත්‍රයට පිවිසෙන අවධියේ, චිත්‍රපට සංගීතය ලෙස හඳුන්වා ගැනුණේ හුදු අනුකාරක සංගීතයකි. පසුබිම් සංගීතයන් හෝ තේමා සංගීතයක් ද නොතිබුණු තරම් ය. මේ සියල්ලම ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒමෙහිලා මූලික වූයේ කේමදාස මාස්ටර් ය. හේ ස්වතන්ත්‍ර තනු අනුව ඉතා මධුර වූ ගීත රැසක් චිත්‍රපට සඳහා නිර්මාණය කළේ ය. සැනසුම කොතැනද චිත්‍රපටයේ සුළං කුරුල්ලෝ, කපටිකම චිත්‍රපටයේ කුරුළු රෑන් රෑන් රෑන්, මී මැස්සෝ චිත්‍රපටයේ රුං රුං රුං රුං මී මැස්සෝ, දුලීකා චිත්‍රපටයේ ආදර මල් පවනේ, වාසනා චිත්‍රපටයේ ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මට වාසනා, ළසඳා චිත්‍රපටයේ මා ප්‍රාර්ථනා ආශාවෝ, වසන්තේ දවසක් චිත්‍රපටයේ දේදුන්නෙන් එන සමනලුනේ, ජනක සහ මංජු චිත්‍රපටයේ කෝ මා පැතූ ඔබෙ ආදරේ යනාදී ගීත මෙහි ලා සඳහන් කළ හැකි ය.
එසේම හේ ගීතයේ සාම්ප්‍රදායික ආකෘතිය බිඳ හෙළමින් විප්ලවීය නිර්මාණ බිහි කළේ ය. බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා හිනැහෙනවා, සිරිමැදුර චිත්‍රපටයේ කන්‍යාවී වැනි ගීත ඊට නිදසුන් ය.

සිනමා කෘති සඳහා සිනමානුරූපී වූත් භාවානුරූපී වූත් පසුබිම් සංගීතයක් ගොඩනැංවීම ඔහු අතින් සිදු වූ දැවැන්ත කර්තව්‍යයකි. විචාරකයන් පවසන අන්දමට සිංහල සිනමාවෙහි ප්‍රථම වතාවට, සිනමානුරූපී වූත්, භාවානුරූපී වූත් චිත්‍රපට සංගීතයක් හමුවන්නේ කේමදාසයන් සංගීත අධ්‍යක්ෂණය කළ සැනසුම කොතැනද චිත්‍රපටයේ ය. සිංහල සිනමාවට තේමා සංගීතය හා පසුබිම් සංගීතය හඳුන්වා දෙන ලද්දේ ද ආචාර්ය කේමදාස විසිනි. ඒ සැනසුම කොතැනද චිත්‍රපටයෙනි. තේමා සංගීතය හා පසුබිම් සංගීතය එකක් නොව දෙකක් වුවද, ඒ දෙක අතර කිට්ටු සබැඳියාවක් පවතී. චිත්‍රපට පසුබිම් සංගීතයක අරමුණ රූප රාමු වල එක් එක් අවස්ථා තීව්‍ර කිරීමයි. තේමා සංගීතයේ අභිප්‍රාය වන්නේ සමස්ත තේමාව පිළිබිඹු කිරීමයි. ගොළු හදවත චිත්‍රපටයේ කේමදාසයන් ගේ සංගීතය විශිෂ්ඨ ය. එහි වූ චරිත වල ඇතුළාන්ත ආත්මය රූපයටත් වඩා නාද මාලාව තුළින් ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට ඔහු තුළ වූ හැකියාව විස්මය උපදවයි. ගොළු හදවතේ සුගත්, එහි චරිත නිරූපණය කළ වික්‍රම බෝගොඩ නොව, කේමදාසයන් බව විචාරකයන් පැවසුවේ එ හෙයින් විය යුතු ය. ඔහුගේ චිත්‍රපට පසුබිම් සංගීත ප්‍රතිභාව පිළිබඳ ලිපියක දැක්වුණු කොටසක් උපුටා දක්වනු කැමැත්තෙමි.

එදා මෙදා තුර ආචාර්ය කේමදාස නිර්මාණය කළ ශ්‍රේෂ්ඨත ම සංගීත රචනාව ඇතුළත් වන්නේ ‘නිධානය’ චිත‍්‍රපටයට යැයි මම සිතමි.

මෙහි විශිෂ්ටාර්ථවත් බව ධාරණා තුනකින් දක්වාලිය හැකි ය. පළමුවැන්න විලී අබේනායක (ගාමිණී ෆොන්සේකා) මුල්වරට අයිරින් (මාලිනී ෆොන්සේකා) දකින රූපරාමු කීපයේ පසුබිමින් ෂෙලෝ, හාර්ප් හා යක් බෙරය යන සංගීත භාණ්ඩ තුනේ සංකලනයෙන් යුතු නාද රටාවක් ඇසේ.

මෙහිදී යක් බෙරය ප‍්‍රබලව වැයෙන අතර ඉතිරි සංගීත භාණ්ඩ දෙකම වැයෙන්නේ අතිශය සියුම්ව ය. යක් බෙරය විලී ගේ නිධානය පිළිබඳ චේතනාව පිළිබිඹු කරන්නක් බඳු ය.

හාර්ප් තුළින් ගැමි අවිහිංසකත්වයෙන් යුතු අයිරින්ගේ සුකුමාරමතික භාවයත් ෂෙලෝ තුළින් බටහිර වේෂ්ටාවෙන් යුතු විලීගේ වලව් මානයත් කැටපත් කරන්නක් වැනි ය.

දෙවැන්න විලී මී මැස්මොර රෝගයෙන් ආතුරව සිටින අවස්ථාවේ ඔහුට උවටැන් කරනු ලබන්නේ අයිරින් විසිනි.

මෙහිදී විලීගේ සිත්හි ක‍්‍රමයෙන් ඈ පිළිබඳ දයානුකම්පිත පේ‍්‍රමයක් ලියලා වැඩේ. නිධානය ලබා ගැන්ම අරභයා ඔහු තුළ පවත්නා තෘෂ්ණාව අනතුරුව වියැකී යයි.

මේ රූපරාමු සරණියේ කොතැනකවත් යක් බෙරයේ හඬ අපට නො ඇසේ. මන්දයත්, ඔහු ඒ කාල අන්තරයේදී නිධානය පිළිබඳ තෘෂ්ණාවෙන් අත්මිදී සිටින බැවිනි.

නොඇසෙන දේ ද සංගීතය ලෙස වර්ග කළ හැක්කේ මෙබඳු අවස්ථාවකය. තෙවැන්න චිත‍්‍රපටය අග භාගයේ දී විලී අයිරින් මරා දමයි.

එහිදී කේමදාස සංගීතයෙන් ඈ මරා දැමීමට තරම් සැහැසි වන්නේ නැත. විලී ගේ විකල් මනස හා ඔහු ගේ භග්නාශාවට උචිත යාතිකා ස්වරූපයෙන් යුතු නාද රටාවකි එම රූපරාමු පෙළට ඇතුළත් වන්නේ. මෙය කේමදාසයන් ගේ ප‍්‍රතිභාව දැක්වෙන ජීවමාන අවස්ථාවකට මාහැඟි නිදර්ශනයකි.

ආචාර්ය කේමදාස සංගීත ක්ෂේත්‍රයේ විවිධ අංශයන් පර්යේෂණයට ලක් ක්ළේය. ඔහු දෑස නිසා චිත්‍රපටයේදී ප්‍රථම වතාවට චරිත හා සිද්ධි නුරූපණය සඳහා මිනිස් කටහඬ සංගීත භාණ්ඩයක් කොට යොදා ගත්තේ ය. තුන්වැනි යාමය චිත්‍රපටය මිනිස් කටහඬ ඉතා ප්‍රබලව යොදා ගත් චිත්‍රපටයකට දිය හැකි විශිෂ්ඨ උදාහරණයකි.

ආචාර්ය කේමදාස වේදිකා නාට්‍ය වලට හා ටෙලි නාට්‍ය වලට නිර්මාණය කළ සංගීත රචනාද අමතක නොකටයුතු ය. අන්ගාරා ගඟ ගලා බසී, ජුලී, ඒකාධිපති, මකරාක්ෂයා, ධවල භීෂණ වැනි වේදිකා නාට්‍ය වලට ද, වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, සතර දෙනෙක් සෙන්පතියෝ, සදිසි තරණය වැනි ටෙලි නාට්‍ය වලට ද නිර්මාණය වූ සංගීත රචනා ඔහුගේ ප්‍රතිභාව සඳහා වන සාක්ෂි ය.

කේමදාස මාස්ටර් සරල ගී රැසක් සඳහා රසාලිප්ත වූ තනු නිර්මාණය කළේ ය.
පණ්ඩිත් අමරදේවයන් ගේ “විකසිත පෙම්”, නන්දා මාලිනිය ගයන “අම්මාවරුනේ”, අමරසිරි පීරිස් ගයන “ළඳුනේ”, ටී. එම්. ජයරත්නයන් ගේ “මේ අයුරින් අපි සංසාරේ” ආදිය ඔහුගේ සරල ගී සයුරෙන් දෝතකි.

ගීතයෙන් නොනැවතී ඔහු ගීත නාටක, ඔපෙරා, සංධ්වනි මෙන් ම කැන්ටාටා ද නිර්මාණය කළේ ය.බැරි සිල්, නවරැල්ල, කැළෑ මල්, සිතිජය ඔහු ගේ ගීත නාටකය. මානසවිල, දොරමඬලාව, සොඳුරු වර්ණදාසි හා අග්නි ඔහු ගේ ඔපෙරා ය. මුහුද, මගේ කාලයේ මවුනි, සිංහල අවුරුද්ද, නියඟය හා වැස්ස ඔහු විසින් රචනා කරන ලද සංධ්වනි අතර වෙයි. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමේ අවස්ථාව පාදක කොට ගෙන ඔහු විසින් නිර්මාණය කරන ලද පිරිනිවන්  මංගල්‍යය කැන්ටාටාව විශ්ව සංගීතය තුළ හමුවන එකම බෞදිධ කැන්ටාටාව ලෙස හැඳින්විය හැක. එම සුමධුර නිර්මාණය කේමදාස ශුරීන්ගේ අවමඟුල් උත්සවයේ දී කේමදාස පදනමේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලදී.

220px-premasiri_khemadasasmall

සංගීතය පිළිබඳ ඔහුගේ චින්තනය පෘථුල ය. මා පරිශීලනය කළ ලිපියක සඳහන්ව තිබූ පරිදි, සංගීතය පිළිබඳ ඔහුගේ නිර්වචනය මෙසේ ය.

එක් මිනිහෙක් හෙමින් කියන දේ මිනිසුන් දාහක් ලවා ඊටත් හෙමින් ඇසීමට සැලැස්වීම සංගීත නිර්මාණ ශිල්පියකු ගෙන් ඉටුවිය යුතු කාර්යයක්.

එසේ ම මිනිසුන් දාහක් එකවර හයියෙන් කියන දේ එක මිනිසකුගෙන් ඊටත් වඩා හයියෙන් කියැවීම සංගීතඥයාගේ මහිමයයි.

කේමදාස මාස්ටර්ගේ සංගීත නිර්මාණ තුළ දක්නට ලැබෙන ඔපෙරාමය හා හාමනි සහිත ගායනයන්, එකී ශෛලීන් පිළිබඳ ඔහුගේ පුළුල් වූ දැක්ම විදහාපායි.එකිණෙකට නොගැලපෙන රිද්ම රටා, ප්‍රසංවාදී සංගීත ඛණ්ඩ සහ සිතාරය වැනි සංගීත භාණ්ඩ වාදනයෙහිලා නැවුම් ශිල්පීය ක්‍රම භාවිත කිරීම ඔහුගේ සංගීත නිර්මාණ තුළ නොඅඩුව දක්නට ලැබේ.

ශ්‍රී ලාංකේය සංගීතඥයන් අතර ඔපෙරා ශෛලිය ප්‍රගුණ කළ එකම සංගීතඥයා ලෙස මාස්ටර් හැඳින්විය හැකිය. ඔහුගේ ඔපෙරා සියල්ලම සිංහල භාෂාවෙන් ලියවී ඇති බැවින් ඒවා සිංහල ඔපෙරා ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔපෙරා සංගීතයේ මර්මස්ථානය ලෙස හැඳින්විය හැකි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හි පවා ඔහුගේ ඔපෙරා රඟ දැක්වුණි.

සංගීතය පිළිබඳ කුසලතා දියුණු කිරීමෙහිලා තමාගේ ගුරුවරයා වූයේ සොබාදහම හා ජනතාව බව ආචාර්ය කේමදාස නිතර සඳහන් කළ දෙයකි. හේ නිදහස් සංගීතවේදියකු වූයේ ය. භාරතීය හෝ බටහිර හෝ දේශීය ජන සංගීතය යන කිසිඳු සීමාවකින් කොටු වී නොසිටියේ ය. ඒ ඒ ප්‍රකාශනයට අදාළ ව පමණක් ඔහු සංගීත ශෛලීන් ඇසුරු කළේ ය. තුන්වැනි යාමය චිත්‍රපටයේ පසුබිම් සංගීතය සඳහා තොවිල් කවි වලින් ද, දඬුබස්නාමානය ටෙලිනාට්‍යයේ සංගීතය සඳහා කෝල්මුර කවි වලින් ද ඔහු ආභාෂය ලබා ඇති අයුරු ඊට නිදසුන් ය. ඔහුගේ නිර්මාණ කලානුරූපීව වෙනස් විය. එහෙයින් ඔහුගේ නිර්මාණ යල් පැන යාමේ චෝදනාවට කිසිදා ලක් නොවීය. ඒවා සැමදා එකසේ රස උත්පාදනය කිරීමට සමත්ය. හේ පරිණත මානවවාදියෙකි. මානව භක්තියෙන් තොර වූ සංගීතඥයෙකුට චිත්‍රපට චරිත වල අභ්‍යන්තරයට පිවිස, තම නිර්මාණ ඔවුන්ගේ ආත්මය පිළිබිඹු කරන කැටපතක් බවට පත් කරවීමේ ප්‍රතිභාව නොපිහිටයි. ඔහු විලී, සුගත්, නිරුදක වැනි මිනිස් චරිත ස්වීය ආත්මයට ග්‍රහණය කරගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත් වල ජීවත් වන සංගීත හැකියාවන් සහිත අඩු ආදායම් ලාභී තරුණ තරුණියන් වෙනුවෙන් ඔවුන්ගේ කුසලතා ඔප්නැංවීම සඳහා කේමදාසයන් විසින් 1992 වර්ෂයේදී කේමදාස පදනම ආරම්භ කරන ලදී. මෙම පදනම මගින් පවත්වන පාඨමාලා සියල්ල නොමිලයේ පැවැත්වීම විශේෂත්වයකි. එසේ කේමදාස මාස්ටර් තම පදනම හරහා අලුත් පරම්පරාවකට සිය සංගීත ඥානය නොමිලයේ ම ලබා දුන්නේ ය. සුපර් ස්ටාර් වැනි නවක ගායන තරඟ විවේචනයට ලක් වන විට, හේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ ය. ඔවුන්ගේ කුසලත අගය කළේය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන ඉන්දිකා උපමාලි, අමරසිරි පීරිස්, කසුන් කල්හාර, නදීක ගුරුගේ, සමන්ත පෙරේරා වැනි අය මාස්ටර් ගේ ගුරුහරුකම් ලබා ක්ෂේත්‍රයට පැමිණියවුන් ය.

මාස්ටර් දැයෙන් සමුගෙන අදට වසර 8 කි. 2008 වසරේ ඔක්තෝබර් 24 වැනිදා අප අතරින් වියෝ වන විට හේ 71 වන වියේ පසු විය. මාස්ටර් හුදු සංගීතඥයකු පමණක් නොවේ. ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ ඔහුගේ නිර්මාණ කාර්යය විප්ලවීය ය. ඔහු විස්මයජනක සංගීත කෘති දැයට දායාද කළ ඉන්ද්‍රජාලකයෙකි. ඔහුගේ සමුගැන්මෙන් ඇති වූ රික්තය පූර්ණය කිරීමෙහිලා සමර්ථ වූ කිසිවෙක් බිහි නොවූ බව මගේ හැඟීමයි. ඒ ඔහුගේ කලා කෘති එතරම් ම අග්‍රගණ්‍ය නිර්මාණයන් වන හෙයිනි.

ආශ්‍රිත ලිපි:

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය
මාස්ටර් ගිහින් එන්න : http://www.silumina.lk/punkalasa/20081109/_art.asp?fn=ar0811096