පින් මද වුවෙද මනමේ කුමරියනේ…

Share

හිතවත් දමිත්‍රී  සොහොයුරියගේ “සරණ යමි මනමේ ධණුද්දර” නම් කවි පෙළ කියවූ මා හට මෙලෙස සටහනක් ඔබ හමුවේ තබන්නට සිත් වුනා. ඇත්තටම මනමේ නාට්‍ය  නැරඹූ දා පටන්ම මෙය මා සිත පෙරලි කරන්නට වූ දෙයක්. එනම් ඇත්තටම මනමේ කුමරිය, මනමේ කුමරුට ද්‍රෝහිකමක්ද කලේ යන්නයි. ඒත් මනමේ කුමරියට යම් සාධාරණත්වයක් දෙන්නටම මට සිත් වේ. එබැවින් මම ඇය වෙනුවෙන් මෙලෙස ඇයව සාධාරණීකරනය කරමි.

නූතන යුගයේ පමණක් නොව ඈත අතීතයේ පටන්ම සමාජය විසින් සෑම විටම ගැහැණියකගේම වරද පමණක් ඉස්මතු කර පෙන්වයි. නමුත් එවැනි අවස්ථා වලට ඇති පිරිමින්ගේ දායකත්වය පිළිබඳව කිසිඳු තැකීමක් නොකරයි. ඕනෑම වරදක් සිදු කර පිරිමියෙකු සෝදා ගෙට ගැනීමෙන් පිරිසිදු වීමත්, ගැහැණියකට එසේ කල නොහැකි වීමත් යන මතය ආදි පැරැන්නන් විසින් සමාජයේ මුල් බැස්සවීමත් නිසා සියලු ගැහැණියකටම ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු වී ඇතැයි මට සිතේ. පිරිමියෙක්  ඕනෑම වරදක් සිදු කලත් එය “හැටි” වීමත්, ගැහැණියකගෙන් වරදක් සිදු වීම සමාජයේ උදහසකට ලක් වීමට තරම් දරුණු වරදක් වීමත් පුදුම සහගතය.

මනමේ නාට්‍යයේද මනමේ කුමාරිය වැදි රජු මැරීමට මනමේ කුමරු හට කඩුව නොදීමේ වරද ගැන නාට්‍යය අවසානය දක්වාම නිරූපනය කරයි. නමුත් වැදි රජ පර අඹුන් කෙරේ ලොබ වීම වරදක් ලෙස වචනයකිදු සඳහනක් නොකරයි. සාහිත්‍යකරුවා පවා ගැහැණියට මෙතරම් ගරහන්නේ මන්ද? පිරිමින් විසින් කරන වරදක්, වරදක් ලෙස නොදකින්නේ මන්ද? වැදි රජ හා මනමේ කුමරු අතර සටනේදී මනමේ කුමරිය විසින් වැදි රජව නොමරන ලෙස පවසන්නේ ඔහු කුමරුට අබය දානය දුන් බැවිනි. ඇය වැදි රජුට කඩුව දුන්නා නොව, ඔහු විසින් පැහැර ගත්තා කිව්වොත් නිවැරදිය. (නාට්‍යයේද එසේ නිරූපණය කරයි) සටනින් පසුව වැදි රජ කරන  ප්‍රශ්ණ කිරීමකදී ඔහු විසින්ම ඇයට චෝදනා කරන්නේ ඇය කුමරු හට කඩුව දීමට කමැත්තෙන් සිටිනු තමා දුටු බවය. තවද ඇය නැවත නැවතත් කුමරු මිය යාම සිහි කරමින් අඬා වැළපෙන්නීය. කඩුව ඔහුට නොදීම පිළිබඳව ශෝක වන්නීය. ඇය කුමරුට කෙතරම් ආලය කලේදැයි මෙලෙසින්වත් ප්‍රේක්ශකයාට දැනෙන්නට සැලැස්වීම නම් යහපත් දෙයකි. නමුත් අවසානයේදී කුමරියවම වැරදිකරු කර වැදි රජ ඇයව අත් හැර දමයි.

නමුත් වැදි රජ ඇය කෙරෙහි මෙවන් ලොල් වීමක් නොදැක්කුවේ නම් කුමරිය මහ වන මැද අනාථ නොවන්නීය. කුමරුන් තවමත් ජීවතුන් අතරය. මේ සියලු ව්‍යසන වලට මුල් වූයේ වැදි රජ පර අඹුන් කෙරේ ලොල් වීමයි. අසරණ කුමරිය හටම සියලු වරද පැටවීම තරම් නොවේ. මනමේ කුමරු සමඟ සැපවත් ජීවිතයක් ගෙවීමට ඇයට පින් මදි වූවා විය යුතුය. කුමරු මිය ගිය පසු සුවිසල් මන්දිර අතහැර වන ලැහැබක දිවි ගෙවීමට ඇය සිත හදා ගත්තා විය යුතුය. මගේ අදහස අනුව වැරදි කරු “වැදි රජ” වේ.

පින්තූරය:-  www.go2lanka.com