ජීවිතය ඔබේය…එය රැක ගන්න

Share

ඈත අතීතයේ සිට ම දහම් දිවයින, ආසියාවේ ආලෝකය වැනි විරුදාවලි ශ්‍රී ලංකාව හා බැඳී තිබුණේ බුදු දහම හා අත්වැල් බැඳගත් ශිෂ්ට සමාජයක් මෙරටට තිබූ හෙයිනි. කුඩා සොරකමක්, මුසාවක් කීම හැරුණු කළ, අතීත ලාංකිකයෝ සදාචාර ගුණ ධර්ම පණ මෙන් ආරක්ෂා කළහ. සියලු සාරධර්ම පසෙකට තල්ලු වී, යුරෝපීය සංස්කෘතියේ අශ්ශීල පැත්තත් සමඟ මෙරටට සංක්‍රමණය වූ විවිධ අපරාධ, සමාජ පිළිකාවක් බවට පත් විය.

හදිසි කෝපය, පටු එදිරිවාදිකම්, දුරදිග නො බලා කටයුතු කිරීම ආදිය මත ඇති වූ අපරාධ රැසක් තරංග මාලාවක් සේ, මෙරට පැතිර යන්නට විය. අතීතයේ නව යෞවනියකට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා තනිව යාමටත්, තනිව යැවීමටත් තරම් අපේ සමාජය සුරක්ෂිත විය. නමුත් අදටත් එය එසේම දැයි ගැටළුවකි.

වත්මන් සමාජ සමීක්ෂණ වාර්තා පෙන්නුම් කරන ලෙසින් අපරාධ අතින් සිය දිවි නසා ගැනීම් සහ මත් ද්‍රව්‍ය භාවිතය අතින් ඉහළ තැනක වැජඹෙන්නේ, පෙර කී ධර්මද්වීපය යි.

ජනගහනය සීඝ්‍ර ලෙස වැඩි වීම හා සමඟ බැඳුණු පාරිභෝගික අවශ්‍යතා පිරිමැසීමට තරම් ගැළපෙන ආර්ථික හා අධ්‍යාපන ක්‍රමයක් මෙරට ස්ථාපනය කිරීමට තරම් නිදහස ලැබීමෙන් පසු මෙතෙක් බලයට පත් වූ පිරිස් අපොහොසත් වීම කණගාටුවට කරුණකි. පොදු ජනතාවගේ දුක් හා හැඟීම් තෙරුම් නො ගත් බල ලෝබීන් නිසා, අපි අදටත් දිළිඳු බවින් මිරිකී සිටිමු. මේ නිසා ම අධ්‍යාපන ගැටලු, රැකියා වියුක්තිය, දිළිඳුකම, අපේක්ෂා භංගත්වය, නූගත්කම, මානසික ගැටලු ආදී වූ බොහෝ ගැටලු ඇති වීමට මග පෑදී ඇත. මෙවැනි බොහෝ ගැටලු අවසන සිය දිවි නසා ගැනීම දක්වා දුර දිග ගොස් ජන ජීවිතය අවුල් වියවුල් තත්ත්වයට පත් කර තිබීම ඛේදනීය වේ.

වත්මන අප රටේ සිය දිවි නසා ගැනීම් සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතී. මේ අතුරින් වාර්තා වන අපරාධවලට ගොදුරුව ඇත්තේ නව යෞවනයන් වීම කණගාටුවට කරුණකි. වැඩිහිටි, මහලු වයසේ සිට හය හතර නො දත් කුඩා දරුවන් පවා තම දිවි තොර කර ගැනීම් නිරන්තර ව මාධ්‍ය වාර්තා කරයි. නියඟයට හෝ අලි ගම් වැදීම නිසා තම වගා පාලු වීමෙන් කම්පාවට පත් ව සිය දිවි තොර කර ගන්නා ගොවීන් පිළිබඳව ද නිතර අසන්නට ලැබේ. මෙලෙස දිනෙන් දින රටට අහිමි වන්නේ රටේ අනාගතය යි; රටේ ශ්‍රම බලකාය යි.

එපමණක් නො ව, මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම, මානසික ව්‍යාධිය, විශාදය වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළීම ද මෙවැනි ඉරණමක් උදා කරලීමට හේතු වී තිබේ.

නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව  ශ්‍රී ලංකාව සිය දිවි නසා ගැනීම් අතින් ඉහළ ම රට වේ. ලාංකිකයෙකු වශයෙන් එය හද කම්පා කරවන කරුණකි. සෑම පුද්ගලයින් 100,000 කට, පුද්ගලයින් 35 දෙනෙකුවත් සිය දිවි නසා ගන්නා බවට තොරතුරු හෙළි වී ඇත. මෙවැනි සමාජ තත්ත්වයක් අප රට කිනම් දිශාවකට ගෙන යයි දැයි ප්‍රශ්නාර්ථයකි.

බුදු දහමට අනුව සිය දිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයට අයත් වේ. එය පළමු ශික්ෂාපදය කැඩීමකි. ප්‍රාණඝාතයේ අනිටු විපාක ලෙස අල්ප ආයුෂ ලැබීමත්, දුගතිගාමී වීමත් බව බුදු දහමේ පෙන්වා දී ඇත. එවැනි සිතිවිල්ලක් වුව පාපකාරී වේ. සෙසු ආගම්වලින් ද මෙහි ආදීනව පෙන්වා දී  තිබේ. එනමුත් දිනෙන් දින වාර්තා වන සිය දිවි නසා ගැනීමවල නම් අඩුවක් නැත.

පුද්ගලයෙක් තම දිවි තොර කර ගන්නේ තමාට ජීවිතයේ එල්ල වන අභියෝගවලට මුහුණ දීමට ඇති නො හැකියාවෙනි. එසේ කිරීමෙන් ඔහු එම මොහොතේ දී ගැටළුවෙන් පලා ගිය ද ඔහු තම වටිනා දිවියෙන් ද සමු ගන්න්නේ ඔහුටත් නො දැනීම ය. තම  දිවි තොර කරගන්නා, එසේ හෙයින් ඉතා අපහසුවෙන් ලබා ගත් දිවියේ වටිනාකම නො දනී. එබැවින් මෙවැනි තත්ත්ව අවම කර ගැනීමට, වත්මන් සමාජයට, ජීවිතයේ සහ ජීවත් වීමේ වටිනාකම තහවුරු කර දීම අවැසි වේ.

එය ප්‍රථමයෙන් ඇරඹිය යුත්තේ නිවසෙනි. දෙමව්පියන්ගේ නිරන්තර අවධානය තම දරුවන් වෙත යොමු කළ යුතු අතර, අධ්‍යාපනය, රැකියාව ආදිය කෙරෙහි දරුවන් ව අනිසි ලෙස පීඩනයට ලක් නො කළ යුතු යි. පාසැලේදී ද ගුරු මග පෙන්වීම යටතේ දරුවන්ට නිසි මගට යොමු කිරීමට අවස්ථාව සැලසේ. විවිධ මානසික පීඩනවලට, අසහනකාරී තත්ත්වයන්ට ලක් වූ දරුවන් ඉන් මුදවාලීමටත්, මාර්ගෝපදේශන වැඩසටහන්වලට යොවු කරවීමත් අවස්ථානුකූල ව සිදු කිරීම අනගි වේ.

මෙවැනි සමාජ ගැටලු අවම කරලීමට මාධ්‍ය මඟින් ඉටු විය යුතු කාර්යභාරය ද අති මහත් වේ. ස්වභාවයෙන්ම තොරතුරු දැන ගැනීම උදෙසා මිනිසා තුළ ඇත්තේ දැඩි කුතුහලයකි. එබැවින්, අප රටෙහි වාර්තා වන මෙවැනි සිදුවීම්, හුදු මාධ්‍ය ආකර්ෂණය කරන තවත් එක් පුවතක් ලෙස පමණක් වාර්තා කරනු විනා එහි ආදීනව පෙන්වා දී, සමාජය සුමගට යොමු කරලිය හැකි ලෙස වාර්තා කළ හැකි නම් එය වඩාත් යහපත් වන්නේ ය.

නමුත්, මෙවැනි සිදුවීමක තොරතුරු සජීවීකරණ රූප රාමු ලෙසින් ද ඇතැම් මාධ්‍ය ප්‍රේක්ෂකයාට සමීප කරන්නේ වත්මන් මාධ්‍ය සංස්කෘතියේ දිළිදු බව කියාපාමිනි. එය රටේ අවශ්‍යතාවයක් නො වේ. ස්වශක්තියෙන් ඉදිරියට යා හැකි විනයගරුක, දැහැමි, සාමකාමී සමාජයක් බිහි කිරීමට ජන සන්නිවේදන මාධ්‍යයන්ගේ අගය අද වැඩි වැඩියෙන් දැනේ.

දරුවන්, තරුණ පරපුර වශයෙන් අපි ද හිතට ගත යුතු දෙයක් ඇත. එනම් මෙලොව අප වෙත දියුණුව පිණිස යාමට ඇති දොරගුළු එකක් වැසුණ ද සිය දහස් ගණන් විවෘත ව ඇති බව යි. එබැවින් තමා හමුවේ එන ගැටළුවලට පිළිතුර වන්නේ ඉන් පලා යාමට තම දිවි තොර කර ගැනීම නො ව, ජීවිතය ගැන මනා අවබෝධයකින් එයට මුහුණ දීමයි.

සැප්තැම්බර් 10 වන දිනට යෙදෙන, ‘’ලෝක සිය දිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනය’’ යයි අඬබෙර ගසා ගෙන රූපවාහිනියේ වැඩසටහන් පිට වැඩසටහන් ප්‍රචාරය කිරීමෙන් පලක් වන්නේ නැත. උත්සව පිට උත්සව සංවිධානය කිරීම ද හර සුන් වේ. විය යුත්තේ සියලු වැසියන් සුරැකීමට හැකි සෑම විටම ඉත සිතින්ම දායක වීම යි. සුදුසු මාර්ගෝපදේශනය හා මග පෙන්වීම ලබා දීම යි.

විශ්ව ගම්මාන සංකල්පයට මැදි වී ක්ෂණික සංවර්ධනයක් කරා යා යුතු යි කියමින් බටහිර ආකල්ප නැමැති රේස් තිරික්කලේ නැගි බොහෝ පිරිසකට මෙම සමාජ ගැටළුවේ ආදීනව හා බරපතලකම අවබෝධ කරගත නො හැකි වී ඇත. එය එසේ වුව ද අවිඥානික චිත්තය සවිඥානක චිත්ත පරම්පරාවක් බවට පරිවර්තනය කිරීමෙහි ලා තරුණ පරපුර වශයෙන් අපට ඇති වගකීමත්, දෙමව්පියන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාටම ඇති වගකීමත් ඉමහත් වේ.

යුරෝපීය සිරිත් ලෙවකන, ලෞකික තාවකාලික ආශාවන් නැමැති මිරිඟුවේ දැවටෙන ජනයා බහුල අද වැනි සමාජයක මිනිස් සම්පත සුරැකීම කිරීම යුගයේ අවශ්‍යතාවය යි. එය සැපිරෙන කල්හි, සියලු වැසියන්ට මේ ලෝකය අදට වඩා සුන්දර මිහිරි තොටිල්ලක් වනු නො අනුමාන යි.

ඡායාරූප අනුග්‍රහය :
http://worldpopulationreview.com/countries/suicide-rate-by-country/
http://misterawareness.com/wp-content/uploads/2017/03/Speak-Up.-Reach-Out.png
https://goo.gl/Da2d6Y

 
Tagged :