මනෝ විද්‍යාත්මකව කෙනෙක්ව ආදරයට පොළඹවා ගත හැකි ද?

Share

ඔබත් ආදරයක් හොයන කෙනෙක් ද? එසේත් නැති නම් ඔබගේ සිත් ගත් තැනැත්තා හෝ තැනැත්තිය තවමත් ඔබට ආදරය ප්‍රකාශ කර නැත් ද? එසේ නම් මෙම ලිපිය ඔබට බෙහෙවින් ඉවහල් වනු නිසැකයි. (මෙම ලිපිය කියවීමට පෙර “ඔබත් සැබෑ ආදරවන්තයෙක් ද / ආදරවන්තියක් ද…?” යනුවෙන් පළ කළ ලිපිය කියවා බලන්නේ නම් වඩාත් සුදුසුයි.)

සාමාන්‍ය විදියට නැතුව කෙනෙක්ගේ මානසික තත්ත්වය ගැන අවබෝධ කරගෙන, එයට අනුව ආදරයකට පොළඹවා ගන්න පුළුවන් කියලා අධ්‍යයනවලින් හොයාගෙන තියෙනවා. හැබැයි මේ ක්‍රමය හරියට ම හරියන්න නම් ඔයා උත්සාහ කරන පුද්ගලයා තුළ ඔයා ගැන අවම හැඟීමක්වත් තියෙන්න ඕනේ. ඉතින් ඒ සාමාන්‍ය හැඟීම ගැඹුරු හැඟීමක් කරලා ඔයාගේ ආදරේ ඔයාට ම හිමි කර ගන්න මේ කියන මනෝ විද්‍යාත්මක උපක්‍රම ටික උපකාරි වෙයි.

1. හමුවෙන පළමු දිනයේ දී අයිස් ක්‍රීම් ලබා ගන්න එපා.

සමාජ මනෝ වෛද්‍ය ජෝන් බාර්ග් කරලා තියෙන අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා පුද්ගලයකුගේ ශරීර උෂ්ණත්වය හා මනෝභාවය අතර ඉතා ම සිතගන්නාසුලු සම්බන්ධයක් තියෙනවා කියලා. අපි ශාරීරිකව උණුසුම් වෙනකොට අනෙක් පුද්ගලයන් සමග හොඳින් සුහදශීලී වෙන්න පුළුවන් බව පෙනී යනවා. මේ උපක්‍රමය විශේෂයෙන් ම වැදගත් වන්නේ කෙනෙක්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් හමු වීමේ පළමු දිනය තුළයි. ඉතින් ඔයාගේ ආදර පාර්ශවය හමු වෙන පළමු දිනය තුළ (ආදර මෙන් ම ව්‍යාපාරික සබඳතාවල දීත්) උණුසුම් ස්ථාන, උණුසුම් ආහාර හා උණුසුම් බීම වර්ග තෝරා ගන්න හොඳින් මතක තියා ගන්න.

2. අක්ෂි සබඳතාවය.

හාවර්ඩ් මනෝ විද්‍යාඥ සික් රුබින් ආදරය තේරුම් ගැනීමට එය මැන බැලිය හැකි අධ්‍යයනයක නිරත වෙලා තියෙනවා. මෙහි දී පුද්ගලයන් එකිනෙකා දෙස බලන වාර ගණන හා කාල සීමාව පිළිබඳ තමයි ඔහු අවධානය යොමු කරලා තියෙන්නේ. ගැඹුරින් ආදරය කරන ජෝඩුවක් කිසිම අකමැත්තකින් තොරව ඔවුන්ගේ සංවාදය පවත්වන කාලසීමාවේ දී 75% ක් පමණ එකිනෙකා දෙස බලාගෙන සිටින බව වගේ ම, සාමාන්‍ය සංවාදයක දී පුද්ගලයන් 30% ත් 60% ත් දක්වා කාලයක දී පමණක් එකිනෙකා දෙස බලාගෙන සිටිනවා කියලා හොයාගෙන තියෙනවා.
මෙහෙම දිගුකාලීන අක්ෂි සබඳතාවයක් පවත්වාගෙන යාමෙන් ආදරයට සංවේදී වීමට අපේ ස්නායු පද්ධතිය තුළ ෆීනිතයිලමින් හෝමෝනය නිපදවෙනවා. ඉතින් එතකොට ආදරය ඇති වෙන එක වළක්වන්න කිසිම කෙනෙකුට බැහැ.

3. ඔයා ගැන කිසිම දෙයක් සඟවන්න එපා.

විවෘත හා අවංක අදහස් ඇති පුද්ගලයෙකුට කෙනෙක් කැමති වීමේ වැඩි හැකියාවක් තියෙන බව හොයාගෙන තියෙනවා. ඉතින් ඔයා ඔයාගේ ජීවිතය ගැන අදහස් නිර්භීතව ආදරය කරන්න හදන කෙනාට කියනවා නම් ඔයාට ලැබෙන ලකුණු ප්‍රමාණයත් වැඩි වෙනවා.
හාවර්ඩ් ව්‍යාපාරික පාසලේ විද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, පළමු දිනය තුළ විවෘත හා අවංක අදහස් ඇති පුද්ගලයන්ට 79% කට මනාපයක් ලැබිලා තියෙනවා. නරක පුරුදු, නරක රසයන්, අසීරු අවස්ථාවන් හා සෘණ චරිත ලක්ෂණ මෙන් ම කිසිම දෙයක් ඔවුන් අනෙකාට සඟවලා නැහැ. රහස් තබා නොගැනීම මගින් අනෙක් පුද්ගලයන් අතර විශ්වාසය හා අවබෝධය පදනම් කර ගත් විශේෂ සබඳතාවයක් ගොඩ නැගීම, ආදරයකට මුල පිරීමක් වෙන්න පුළුවන්.

4. ඔබ කිසිවක් කරන්න එපා. ඔවුන්ට යමක් කිරීමට ඉඩ දෙන්න.

අපි කෙනෙකුට යමක් දුන් විට හෝ හොඳ දෙයක් කළ විට අපේ හිතට ලොකු සතුටක් දැනෙනවා. අපි, අපි ගැන සතුටු වෙනවා වගේ ම අපි උපකාර කළ පුද්ගලයා ගැනත් උණුසුම් හැඟීමක් අපේ හිත තුළ ඇති වෙනවා. නමුත් මෙහි දී ඔහු හෝ ඇය ඔබ ඉතාමත් ත්‍යාගශීලී පුද්ගලයෙක් බව පවසන විට හෝ, ඔබට එලෙස හැඟෙන විට දෙදෙනා අතර අදහස් හුවමාරුවට බාධාවක් ඇති වෙනවා.
ඒ නිසා හමු වෙන මුල් දිනයේ ම අනෙකාට ත්‍යාගයක් හෝ උපකාරයක් ලබා දුන් විට, ඔහුට හෝ ඇයට ඔබ වෙනුවෙන් ණයගැති බවක් හෝ ඔබට ප්‍රති උපකාර දැක්විය යුතු බවක් දැනෙනවා. එවිට ආදරයක් ගොඩනැගීමට යම් කිසි මනෝ විද්‍යාත්මක බාධාවක් ඇති වෙන පර්යේෂකයන් පෙන්වා දෙනවා. මේ නිසා ඔවුන් පෙන්වා දෙන්නේ ඔබේ සිත් ගත් තැනැත්තා හෝ තැනැත්තිය හමු වෙන පළමු දින ඔහුට හෝ ඇයට තෑගි ලබා දීම එතරම් නුසුදුසු බවයි.

5. ඔබ දෙදෙනා අතර රහස් භාෂාවක් රඳවා ගන්න.

හමු වෙන පළමු දිනයේ දී ඔබ දෙදෙනා අතර සිදු වෙන විනෝදාත්මක දේවල්, අද්විතීය චලන, විශේෂ වචන ආදිය හොඳින් මතක තියා ගන්න. එය චිත්‍රපටි දර්ශනයක්, විනෝදාත්මක දර්ශනයක්, ගීතයක්, පොතක් හෝ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. පළමු දිනය තුළ වෙන මේ පුංචි දේවල් උනත් මග හැරෙන්න දෙන්න එපා.
ඔබ දෙදෙනා අතර මුල් දිනයේ සිදු වූ මේ පුංචි සිදුවීම් පසුව එදිනෙදා සන්නිවේදනය කරන විට භාවිතා කරන්න. එවිට සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් හා සමීප වෙනවා කියලා ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් හොයා ගෙන තියෙනවා. මේ පුංචි රහස් දෙදෙනාට පමණක් සීමා විය යුතුයි වගේ ම එකිනෙකා තේරුම් ගැනීමට මේ රහස් භාෂාව උපකාරයක් වෙයි.

6. කළු ඉංගිරියාවේ විශාලත්වය.

60 ගණන්වල දී හා 70 ගණන්වල දී පර්යේෂණයක් මගින් කෙනෙකුගේ කළු ඉංගිරියාවේ විශාලත්වය හා ආකර්ෂණය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා. මෙහි දී පුරුෂයන්ගේ ඡායාරූප 2ක් එකම කාන්තාවකට පෙන්වලා තියෙනවා. එක් ඡායාරූපයක් හිමි පුද්ගලයෙක් ගැන හොඳ ආකර්ෂණීය හැඳින්වීමක් කරලා තියෙන අතර අනෙක් ඡායාරූපය ගැන කිසිවක් ම කියලා නැහැ. ඉතින් ඡායාරූප දෙක බැලුවා ම හැඳින්වීමක් කළ පුද්ගලයාව දකින විට කාන්තාවගේ කළු ඉංගිරියාව විශාල වෙලා තියෙන අතර අනෙක් ඡායාරූපය දකින විට කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

ඉතින් මේ තත්ත්වය ඔයාගේ වාසියට භාවිතා කරන්න පුළුවන්. කෙනෙක් කළු ඉංගිරියාව විශාල වෙන තරමට පුදුම කරන්න ඕනෙ නම් ඔහු හෝ ඇය එක්ක රසවත් පුදුම හිතෙන මොහොතක් ගත කරන්න. ලයිට් එළි වෙනුවට ඉටිපන්දම් එළි, ජනාකීර්ණ ආපන ශාලාවක් වෙනුවට ජනප්‍රිය නිස්කලංක වාතාවරණයක් සහිත තැනක් ආදිය තෝරා ගන්න ඔයාට පුළුවන්.

ඒ වගේ ම ඇයගේ හෝ ඔහුගේ කළු ඉංගිරියාව විශාල වෙන ප්‍රමාණය මත අවධානය යොමු කිරීමෙනුත් ඔයාට තියෙන ආකර්ෂණයේ ප්‍රමාණය මැන ගන්න පුළුවන්.

7. ධනාත්මක ඇසුරක් කරන්න.

ඔබට යම් සිතුවිල්ලක් නැවත නැවත සකස් කිරීමෙන් කෙනෙකුගේ මොළය ඊට අදාළව වෙනස් කළ හැකියි. අප ඉතා ම වැදගත් පුද්ගලයන් සමග සන්නිවේදනය කිරීමේ දී වචන ඉතා ම පරිස්සමින් තෝරා ගත යුත්තේ ඒ නිසයි.
ඔයාගේ ප්‍රතිරූපය වඩා හොඳ කර ගැනීමට අනෙක් පුද්ගලයා ඔයාට වඩා හොඳයි කියලා කියන්න උත්සාහ කරන්න. ඒ වගේ ම ධනාත්මක ආකල්ප පැතිරවීම හා අනිත් කෙනාව ඒ අවස්ථාවේ හොඳින් තේරුම් ගැනීම මගින් ඔබ පිළිබඳ විශ්වාසයක් හා පැහැදීමක් අනෙකා තුළ නිතැතින් ම ගොඩ නැගීමට පුළුවන්.

8. නිතර ළං වීමෙන්, ඔවුන්ව ඔබගෙන් ඈත් කරයි.

අපිට සිහිනවල දී නම් සතුටින් ජීවත් වෙන්න, කැමති කෙනෙක් හොයා ගන්න හරිම පහසුයි. නමුත් සැබෑ ලෝකයේ දී නම් ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ.
සබඳතාවය පටන් ගත් මුල දී එකිනෙකා හඳුනා ගන්න, සම්බන්ධතාවය ශක්තිමත් කර ගන්න යම් කාලයක් ගත කිරිම ගොඩක් වැදගත්. නමුත් මනෝ විද්‍යාඥයින් පවසන්නේ දින කිහිපයකට පසුව අනෙක් පුද්ගලයාගේ ජීවිතයෙන් ඔබ මඳක් විවේක ගත යුතුයි කියලයි (ඔබ කැමති නැති වුව ද). ඒ කියන්නේ වදයක් නොවී ඔබ යම් සීමාවකට අනුව සම්බන්ධතාවය පවත්වාගෙන යා යුතුයි කියලයි. ඒක කරන්න ඕනෙ මෙන්න මේ හේතු නිසයි.

  • එකිනෙකා වෙනුවන් වෙහෙසට පත් නොවීමට.
  • ඔබ සමග තියෙන සම්බන්ධතාවය කොතරම් ලස්සන ද යන්න තේරුම් ගැනීමට අනෙකාට යම් කාලයක් ලැබීමට.
  • ඔබේ චිත්තවේගයන් පාලනය කර ගැනීමට හා පැහැදිලිව සිතීමට.

ඉතින් මේ විදියට උත්සාහ කරලා බලන්න. පසුව මට ස්තුති කරන්න.

Image courtesy:

 
Tagged : / / / /