රැග් (RAG) ?

Share

විශ්වවිද්‍යාලවල මෙන් ම ඊට පරිබාහිර වූ ඇතැම් අධ්‍යයන ආයතන තුළ ද උපසංස්කෘතියක් ලෙස වරදවා හඳුන්වනු ලබන නවක වදය නම් මාරයා මේ වන විටත් බොහෝ සිසු සිසුවියන් පිරිසකගේ ජීවිත බිලිගෙන තිබෙන බව ඔබ හොඳාකාරයෙන්ම දන්නවා ඇති. බොහෝ දෙනා නවක වදයට එරෙහිව වෙමින් ඊට විරුද්ධව නීති පනවා ඇතත්, විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් මෙම නවක වදය මුලිනුපුටා දැමීමට තවමත් නොහැකි තිබෙන්නේ මන්ද යන්න අප සිත් තුළ නිබඳ කුකුසක් දනවන පැනයකි. විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් ඉන් පරිබාහිරවත් ඇතැම් පාසැල් තුළත් පවතින නවක වදයට ලක්වන වින්දිතයන් ශාරීරික ආබාධ වලට පමණක් නොව මානසික පීඩාවන්ට ද ගොදුරු ව සිටියි. නවක වදය හමුවේ තම උසස් අධ්‍යාපන කටයුතු පවා අතරමග නතර කර දැමූ සිසුහු ද බොහෝ වෙති.

නවක වදය යනු පහසු ප්‍රතිකර්මයක් නොමැති ව්‍යාධියකි. එහි ප්‍රතිකර්මය නම් සභ්‍යත්වයෙන් එහා ගිය මෙම පිළිවෙත සම්පූර්ණයෙන්ම නවතා දැමීම යි. නවක වදය යනු උපසංස්කෘතියක් යැයි වරදවා වටහා හැඳින්වීම තුළින් වදකයන් යම් නීත්‍යානුකූලභාවයක් තමන් සතු කර ගැනීමට සමත් ව ඇත. සමාජයේ ඔබ අප සියල්ලන්ටම දැනගැනීමට ලක් වන්නේ නවක වදයේ දරුණුත ම අවස්ථාවන් පමණක් මිස එහි නිවැරදි ම යථාර්ථය නොවේ. වදක පීඩනය සිසුන් ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවම විසින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතය තුළ පුළුල්ව අත්විදින බව ප්‍රසිද්ධ රහසකි. එක් පිරිසක් විසින් තවත් පිරිසකගේ චර්යාත්මක හා චින්තන නිදහස සීමා කිරීම කිසිම විටෙක අනුමත කළ කළ නොහැකි ය. එසේම අන් අයව නවක වදයට පමුණුවන වදකයන් ද මෙම මානසික හිංසනයේ කොටස්කරුවන් වෙමින් දිවිමං සරන්නේ අමිහිරි මතක කැලැල් සමඟින් ය. සියලු දෙනා ම තම අත්තටු විහිදුවා පියාසර කරන්නට කැමති බව සියල්ලන් ම දැනගත යුතුයි.

නවක වදය මර්දනය කර එය මුලිනුපුටා දැමීමට ගත් නොයෙක් ප්‍රයත්න ව්‍යර්ථ කරමින්, දශක ගණනාවක් තිස්සේ නොවෙනස් ව, විවිධ වෙස් ගනිමින් කිඳා බැස තිබෙන අයුරක් පෙනී යන්නේ කලින් කලට මැවෙන ශෝකජනක පුවත් මහජන සිත් සසල කරවන හෙයිනි. පසුගිය සතියේ ආසන්නත ම සිදුවීම නම් චරිත් දිල්ශාන් දයාරත්න නමැති සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයා පසුගිය අප්‍රේල් මස 29 වන දා සියදිවි හානි කර ගැනීමේ පුවත යි. එසේම මීට පෙර ද රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු සමාජ මාධ්‍ය භාවිත කරමින් නවක වදය නම් වූ මේ අශිෂ්ට ක්‍රමවේදයේ තමන්ට විඳින්නට සිදු වූ අමානුෂික ලිංගික හා කායික හිංසනය විස්තර කළ අයුරු සියල්ලන්ට ම තවමත් අමතක වී නොමැති බවක සේයාවක් මැවෙනුයේ සමාජ මාධ්‍ය ඔස්සේ නැවත නැවත මෙම සිදුවීම් මාලා කරළියට පැමිණෙන විට දී ය. එම වසරේදී ම ශනිල්ක විජේසිංහ නම් මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයා තම නිවස පිටුපස ගෙල වැලලාගන්නේ නවක වදයට ලක් වීම හේතුවෙන් ඇති වූ මානසික කම්පනය දරා ගැනීමට නොහැකි වූ අවස්ථාවේ දී ය.

මේ වන විට නවක වදය මුලිනුපුටා දැමීම සඳහා ව්‍යාපාරයක් ගොඩනැගීමට සිසු සිසුවියන්, දෙමව්පියන්, ගුරුවරුන් මෙන් ම වෙනත් වෘත්තිකයින් ද එකට එක්ව ඇති අයුරු දක්නට ලැබීමෙන් පෙනී යන්නේ ඉදිරි පරම්පරාවේ උසස් අධ්‍යාපනයේ සුභාරම්භයකි. එම උත්තුංග අරමුණ පෙරදැරි කරගෙන නවක වදය තුරන් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ගයන් ගැනීමට බොහෝ පාර්ශව පෙළඹී ඇති බව දැකීම පවා සතුටට කරුණකි. මේ දිනවල සමාජ ජාලා ඔස්සේ නොයෙක් නොයෙක් යහපත් මෙන්ම අයහපත් ප්‍රතිචාර ද ඒ සඳහා ලැබී ඇති අයුරු පෙනී යයි.කෙසේ වෙතත් මෙම ක්‍රියා කලාපය අප සැවොම එකට එක්ව අප විශ්ව විද්‍යාල තුළින් ම නවක වදය තුරන් කිරීම සඳහා කළ යුතු ම වූ ආයාචනාත්මක මෙහෙවරකි.

අඳුරු අතීතයකින්, ආලෝකමත් අනාගතයකට පියමං කිරීමට තිබෙන දොරටුවක් අසල අපි තවමත් නතර වී සිටින්නෙමු. අප යුවතියන්ගේ නෙතගට කඳුලක් හා යෞවනයන්ගේ සිතට කැළැලක් නංවන, නීතියට තර්ජනයක් හා සමාජයට නින්දාක් වූ නවකවදය නම් වූ අවිඥානික, මනුසත් කමින් තොර වූ, විකෘති බලපෑම් පමණක් නැති පරිවර්තනය, නවකයන් හට නොව සමාජයේ ම ඇති මිනිස් බවට එරෙහිව ගෙන එන කෲරත්වයක්මයි.

එය නිමවිය යුතුය.
එය නවත්වන්නට අපට හැක.
එය නවත්වන්නට ඔබටත් හැක.

එක්කෙනෙක් නොවෙමු – එකමුතුවක් වෙමු.

නවකවදය තුරන් කරමු – නිදහසේ පියාසලමු.

Written by : Janith Dinuka

Image Courtesy:

Featured Image: https://shorturl.at/a9gM9
Content Image: https://shorturl.at/Y4Rjw

 
Tagged : / /