රෑ මැදියමට ළංව
නිදි නොමැති යාමයේ
ඇද හැලෙන්නට තරම්
වැස්ස ඇයි ද නුඹ වුණේ කුරිරු
එකින් එක ජීවිතේ මතක
නැඟෙනවා යළි යළිත් සිහියට
යළි නොඑන ඒ දවස් මතක් කරනට
වැස්ස ඇයි ද නුඹ වුණේ කුරිරු
වැහි සීතලෙන් මිදෙන්නට
උණුහුමක් සොයන අතරේ
මව් තුරුළේ උණුහුම මතක් කරනට
වැස්ස ඇයි ද නුඹ වුණේ කුරිරු
කඩදහි ඔරුවක් යවමින්
නුඹ වැටෙනා විට තෙමෙන්නට
හීන මැවූ ඒ කාලය මතක් කරනට
වැස්ස ඇයි ද නුඹ වුණේ කුරිරු
ඇය එන තුරාවට තෙමෙමින්
කඩමණ්ඩියේ මඟ බැලූ දවස්
ඇය සමඟම ගිය බව මතක් කරනට
වැස්ස ඇයි ද නුඹ වුණේ කුරිරු
සෙමෙන් පටන් ගෙන
ගුගුරා හැලී දැන් නිහඬ වී
ජීවිතය මෙයයි කියන්නට තරම්
වැස්ස ඇයි ද නුඹ වුණේ කුරිරු
Image Courtesy ; https://bit.ly/2BzP48Y