විසි එක අබියස

Share

මුහුණුපොතේ උඩ පහළ යන මට හදිසියේ නෙත ගැටෙන්නේ “නව කොරෝනා වෛරසයයනුවෙන් සුප්‍රසිද්ධ පිටුවක පළවුණු ලිපියක්. මගේ සිත දුවන්නේ මෙතැන් සිට හෝරා කිහිපයකින් මායිම් වුණු 2020 වර්ෂයට. කවුළුවෙන් එපිට සංකීර්ණත්වය, කොළඹ වීදිවල ජනාකීර්ණ බව හා දූලි දුමාර මැද්දේ නොයෙක් මතකයන් අප බොහෝ දෙනෙක්ට තියෙනවා. සරසවි මඟ දිගේ ඇදුරු මිතුරු සෙවණේ ගතවුණු මතක ගොඩක් එක්ක විස්සයි විස්සේ අපි කවුරුත් නිවෙස් තුළ සිරකරුවන් වූවත් සොබාදහම නිදහසේ ජීවත් වුණා. වෙන දා කොළ රතු වීදි සංඥා ඇතත් නැතත් දිගු වාහන පෝලිම් වූ කොළඹ මාවත් අද හරිත සෙවණේ විඩා නිවනවා. 2020 සොබාදහම ලද විරාමයක් ද? එසේත් නැති නම් සමස්ත මානව සංහතියට ම දුන් දඬුවමක් ද? වෙනදා සිවිල් යුද්ධ නිසා එකිනෙකා අතර දලුලා වැඩුණු බිය සැකය විස්සයි විස්සේ කොරෝනාව නිසා වැඩෙන්නට වුණා. පහට දහයට විකිණි මුව වැස්ම කළුකඩ මුදලාලිගේ තවත් ගොදුරක් ව වැඩි ගණනට විකිණුනේ එය සාමාන්‍ය ජනතාවට නැතිවම බැරි අංගයක් වූ නිසාමයි. වැළඳගැනීම වෙනුවට දුරස්ථ හමුවීම්, දෑත් එක්කාසු කළ ළෙන්ගතුකම් වෙනුවට දුරස්ථ සුබ පැතුම් වලින් පමණක් ම ගතවුණු 2020 පිටු හිස් අතේ පෙරළුණු දිනපොතක් වුණා. 

මේ නව ආරම්භයක්…

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ” 

විස්සයි විස්සෙන් විසි එකට දුන් හොඳ ම පාඩමයි ඒ. සොබාදහමේ ම අපූරු නිමැවුමක් වන අප, සොබාදහමට ම ආදරය කරනවා විනා එය නැසූ දා ලොව කිසිම ජගතෙකුට අභිබවා යා නොහැකි අයුරින් සොබාදම නැඟී සිටිනවා. එයයි අප සිත් දැරිය යුත්තේ මේ නව ඇරඹුමේ දී. විස්සයි විස්සේ කඳුළු කතාවට තිත තබා අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්ක අලුත් ඇරඹුමක සක්‍රීය අඩිතාලම වන්නට අපි හැම එක්කාසු වෙමු. කොරෝනාවෙන් මිදුණු, ස්වාධීන ව නිදහස් හුස්මක් ගන්නට විසි එකේ අපි අත්වැල් බැඳගනිමු.

උදාවන නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා…!!!

Image Courtesy: https://cutt.ly/PjqXe6V

 
Tagged : / / /