දුන්න අත හල හීය මෙන්
කලක් ගත විය වැවක දිය මෙන්
වසත් සමයේ නැවුම් බව මෙන්
වසඟ විය මා පළමු දසුනින්
තෙපුල මිහිරි සවන් පින වූ මධුවිතක් මෙන්
දෑස් බබළයි ගිම්හානයේ හිරු කිරණ මෙන්
ඇසුර ඉඳුරන් පිනයි රාගික සිතක සිරවුවා මෙන්
පවිටු සිත සිරකලා ඡායා හදෙහි පත්ලේ අඟුළු දමමින්
සවන් පැනයක හඬක් සොයමින් රොනට මත් වූ බඹරා මෙන්
පෑයු හිරු මැකී ගොස් ශීත ඍතුවක සේයාව මෙන්
ඇසුරු උරුමය සැඟව ගොස් විප්පයෝගික රුදුරු කටු මෙන්
දෑස මානේ නොපෙනෙනා, පෙනේ ඡායා අඳුර අබියස මායාව මෙන්
හෙටක් නෑ ඉමක් නොපෙනෙන මුඩු බිමක තනි වුවා මෙන්
දෑස් උණු විය ගැලූ කඳුළින් ලෝ දියක් මෙන්
හදෙහි රජ, පෙම් රණබිම ආඬියකු මෙන්
තිබූ සෙනෙහේ බුරා නැඟුණේ විරහවේ ගිනි දැල්ල මෙන්
තටු කැපූ විහඟ නෙත් කඳුළු කැට මෙන්
දියෙහි පාවෙන පාරුවක රළු කඹය මෙන්
ඇසුරු මතකය රිදුම් දේ කිණිසි පහරක කැපුම මෙන්
අහස් තලයට යන්න පියඹා වැසුණු දොරටු විවර කරමින්
රිදුම් දෙන රුදුරු දම්වැල් බිඳා දමමින්
උස් පහත් රළ දරා අචලව බෝයාව මෙන්
දුකට වෙදාණන් ලෝ සතා වෙත තැනූ ඔසුවෙන්
නිවී සැනසෙමි දැවෙන පහනක සිළුව මෙන්
Written by : Shameera Udesh
Image courtesy ; https://bit.ly/2RYLUk9