ආ මඟ කෙටියි යා යුතු මඟ දුරයි….

Share

2013 වසර මුල් භාගයේ දිනක අමල් අයියා මා ඇමතුවේ “මල්ලී ITU එකේ අළුතෙන් වැඩක් පටන් ගන්න අදහසක් තියෙනවා, ඒ පැත්තේ ඇවිත් යන්න එන්න ය.” කියාය. එහි ගිය විට අළුත් මූණු රැසක්ම මට මුණ ගැසුණ ද අද වන විට මා සතු සමීපතම මිතුරන්(මිතුරන් කිව්වද මේ සියළු දෙනාම Demonstratorsලාය.) ද ඒ අතර සිටින බව මට නිකමටවත් නොසිතුනේ ය.  කෙසේ වුවද අමල් අයියා එහිදී පැවසුවේ විද්‍යා පීඨය සඳහා අලුතෙන් blog අඩවියක් නිර්මාණය කිරීමේ අදහසක් පවතින බවය. මුලින්ම මම හිරාන් සර්, මුදිත අයියා නිපුන අයියා හඳුනා ගත්තේ එහිදී ය.

ඉන් පසු භාරධූර කර්තව්‍යක් ආරම්භ කරමින් blog අඩවිය සඳහා නවීන තාක්ෂණික ගුණාංග රැසක් අඩංගු කරමින් අද පවතින අඩවියේ මුල් ආකෘතිය නිර්මාණය කිරීමට මුදිත අයියාටද නිපුන අයියාට ද හැකි විය. ඒ සඳහා දැනට දෙවන වසරේ ඉගෙනුම ලබන ජනිත් මල්ලිගේ සහයද අමතක කළ නොහැකිය. ඉන් පසු අප හට පැමිණි ප්‍රධානතම අභියෝගය උනේ නව බ්ලොග්කරුවන් සොයා ගැනීමය. ඇත්තෙන්ම බ්ලොග් එකක් යනු කුමක්ද කියා අදහසක් පවා පැවතියේ ඉතා සීමිත පිරිසකට පමණි. කෙසේ වුවද ඒ අතරින් මුලින්ම අප හා එකතු වුණු ශේන්යාත් පළමු වසරේ අනූපමා, බියංකා (දැන් ඉගෙනුම ලබන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ ය.) සහ සචිත යන නංගිලා හා මල්ලීගේ දායකත්වය මේ මොහොතේ අමතක කල නොහැකි ය.

මෙහි සාමාන්‍ය බ්ලොග් අඩවියක ලක්ෂණ වලින් මදක් ඔබ්බට ගොස් ඡායාරූපකරුවන්ටද තම නිර්මාණ එකතු කිරීමට ඉඩක් ලබා දෙන විශේෂ පහසුකමක්ද ඇති කරන ලද්දේය. ඒ සම්බන්ධව සම්බන්ධීකරණ කටයුතු යසස් විසින් සිදු කරන ලදි.

මේ අයුරින් විවිධ අභියෝග රැසක් පසු කරමින් අපගේ බ්ලොග් අඩවිය 2013 අප්‍රේල් මස දෙවෙනි දින සුභ මොහොතින් එළිදක්වන ලදි. එසේ ආරම්භ කරන ලද නොනවතින සාර්ථක ගමනේ සියවෙනි කඩ ඉමට (100th article) අද පැමිණ ඇත්තේය. හරියටම මාස 07 සහ තවත් දින දින 3ක් ගෙවිලාය. වටිනා නිර්මාණ සීයකින් දැන් අප පොහොසත්ය. දැන් අපත් සමඟ ගමන යන්නට හැකියාවන්ගෙන් සපිරි හොඳ පිරිසක් එකතුව සිටින්නේය. හොඳ වැඩකට වැඩකාරයන් සුළු පිරිසක් ප්‍රමාණවත්ය. නැතහොත් ආඬි හත් දෙනාගේ කැඳ හැලියක් වන්නේය. ජනිත්, අනූපමා, සචිත, ගසිත, චරිත්, ගීත්, රෙහානි, ඩිලානි, දමිත්‍රි, චාරුනි, ඉෂාරා, උදාරි, ජීවන්ත (මෙහි පෙළ ගස්වා ඇත්තේ අප හා එකතු වූ පිළිවෙලින් මිස ඔවුන්ගේ හැකියාවන් අනුව නොවන්නේ ය.) අපගේ සම්පත් ය. නියම වැඩ කාරයෝය. සමහරෙක් කවි ලියන්නට දක්ෂයය, සමහරෙක් විද්‍යා ලිපි ලියයි සමහරෙක් මේ හැම දේටම එක සේ දක්ෂය. කෙසේ වුවත් අප දැන් ස්ථායි මට්ටමට ලඟා වෙමින් සිටියි. පසුගියදා අළුතින් අපත් සමඟ මල්ලිලා පිරිස්ක් එකතු විය. ඒ අයද මේ මොහෙතේ මතක් කිරීම අගනේය.

සමහරු ජනප්‍රිය වෙන්නට විව්ධ දේවල් කරමින් ඕප දූප සොයමින් ඒවා විවිධ වෙබ් අඩවි වල පල කරයි. කෑ ගසයි, හූ කියයි, එසේ වුවද අපට අඬ බෙර ගසන්නට වුවමනාවක් නැත. ජනප්‍රිය වෙන්නටද උවමනාවක් නැත. අංක එක වෙන්නටද අපගේ ආසාවක් නැත. අපී සියළු දේ කරන්නේ ඉගෙනුම විද්‍යා ලබන පීඨය වෙනුවෙනි. විශ්ව විද්‍යාලය වෙනුවෙනි අවසානයේ රට වෙනුවෙනි. විද්‍යාවේ උන්නතිය උදෙසා අපට සිසුන් වශයෙන් කල හැකි එක් සේවාවක් කරන්නට උත්සාහ දැරීමකි මේ. බ්ලොග් post එකක් ලිවීමෙන් විද්‍යාව දියුණු කරන්නේ කෙසේ දැයි ඔබ අසන්නට පුළුවන. විද්‍යාවේ දියුණුව සඳහා අප විද්‍යාව සමඟ ගැටිය යුතුය. ගැටීමට නම් නව සොයා ගැනීම් කල යුතුය. එසේ නම් පර්යේෂකයන්, විද්‍යාඥයින් වශයෙන් පර්යේෂණ සිදු කල යුතුය. මේවා කරන්නට නිකන් ආවාට ගියාට බැරිය. ලක්ෂ ගණනින් මුදල් වැය වෙයි. වසර ගණන් ගත වෙයි. ඉතා සංයමයෙන් කල යුතු ක්‍රියාවන් වේ. ඉතින් මේ මුදල් නිකන් හිටියාට ලැබෙන්නේ නැත. Research Grants ලෙස හඳුන්වන්නේ එලෙස ලැබෙන මුදල් ය. ලෝක බැංකුව වැනි ආයතන මේවා සඳහා මුදල් ආධාර ලබා දෙයි. ඉතින් මේවා ලබා ගැනීමට අපද යමක් කරන බව පෙන්විය යුතු වේ. සිසුන් වශයෙන් පීඨය ඉතා ක්‍රියාකාරී බව පෙන්විය හැකි එක් ක්‍රමයක් වන්නේ Student Blog එකය. ලොව ඉහල ගණයේ විශ්ව විද්‍යාල සියල්ලම ඔවුන්ගේ Student Blogs වලට දී ඇත්තේ සුවීශේෂී ස්ථානයකි. ඔවුන් හරි හරියට තමන් කරන දෑ මෙවැනි බ්ලොග් වල පල කරන්නේ මහත් ආඩම්බරයෙනි.

අක්‍රීය සිසුන්ගෙන් පිරි විශ්ව විද්‍යාලයක් කා හටවත් වැඩක් නැත්තේය. ඉතින් මේ ක්‍රියාකාරී බව පෙන්විය හැකි පහසුම මඟ ඩිජිටල් මාධ්‍ය භාවිතා කිරීමයි. අපේ අඩවිය ගැන ලොව ඕනෑම කෙනෙකුට මෙන්න අපේ වැඩ කියා කටක් ඇර කියන්නට පුළුවන. යම් දිනක වෙනත් රටකට ගිය විට මම කොළඹ විශ්ව විද්‍යාලයේ කියා කිවූ විට එය තිබෙන්නේ කොහෙද කියා විස්තර නොකරන්නට තරම් ප්‍රසිද්ධියක් විශ්ව විද්‍යාලයට ලබා දිය යුතුය. කොළඹ පවා නොදන්න රටක කොළඹ විශ්ව විද්‍යාලය යන නම ඉදිරියට ගෙන ආ හැකි එකම මඟ කොළඹ විශ්ව විද්‍යාලයේ සතුව ඇති ඩිජිටල් සම්පත්(Contents/Digital Resources) ඉහල දැමීමය. අන්තර්ජාලය හරහා නිතැතින්ම ඒවා ජනප්‍රිය වනු ඇත.

බ්ලොග් අඩවියේ නිර්මාණ ආවාට ගියාට පළ වන්නේ නැත. ඒවා පූර්ව පරීක්ෂණ කිහිපයක්ම පසු කල යුත්තේය. ඒ නිසා මෙහි වල්පල් නොමැති බව ඕනෑ තැනක ගොස් පැවසිය හැක. කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ බ්ලොග් එක කියා සැම දෙනාම හඳුන්වන්නට පටන් ගන්න තරමට මෙය ජනතාව අතරට ගිය කලෙක අප සාර්ථක වී ඇති බව අපට සිතිය හැක. එනම් නිතැතින්ම අපගේ පීඨය හොඳම පීඨය බවට පත් වෙලාය. එසේ නම් තව තවත් හොඳ ලිපි මෙහි පළ කල යුතුය, විද්‍යාත්මක ලිපි ඉදිරිපත් කල යුතුය. විද්‍යා පීඨයේ නිල බ්ලොග් අඩවිය වන මෙය සෘජුවම පීඨය නියෝජනය කරයි. ඒ නිසා හොඳ ප්‍රමිතියකින් ලිපි පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා වගකීමක්ද අප සතුව ඇත. කවුරු කෑ ගැසුවත් හූ කිව්වත් අපට කමක් නැත. අපේ අදහස පිවිතුරුය.

එමෙන්ම අප හා එකතු වූ බ්ලොග්කරුවන්ට සුවිශේෂී වරප්‍රසාද රැසක් හිමිව ඇත. ඉන් බොහොමයක් ගැන ඒ අය තවමත් නොදනී. අප ඒවා විස්තර කර දීමට යන්නේ ද නැත. මන්ද එවිට එම වරප්‍රසාද ලබා ගැනීම සඳහා පිරිසක් එකතු විය හැකි බැවිනි. ඔවුන්ට අවශ්‍ය වූ විට ඒවා නොදැනුවත්වම උපකාරී වනු ඇත. ඒවායින් කාටත් ආඩම්බරයෙන් කිය හැකි වරප්‍රසාදයක් වන්නේ Academic mail address එකය. විද්‍යා පීඨයේ කිසිම සිසුවෙකුට තම නමින් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ලිපිනයක් ලබා ගත නොහැකිය. නමුත් බ්ලොග්කරුවෙකුට ඒ සඳහා විශේෂ වරප්‍රසාදයක් හිමි වේ. මෙවැනි වරප්‍රසාදයක් වෙනත් කිසිම පීඨයක හෝ දන්නා තරමින් වෙනත් විශ්ව විද්‍යාල සිසුවෙකුට හෝ ලැබී නොමැත. Academic mail එකක වැදගත් කම තේරුම් ගැනීමට දැන් ඔබට නොහැකි වුවත් තෙවන වසරට ගිය විට එය නිතැනින්ම වැදගත් වනු ඇත. මෙහි වටිනාම දේ වනුයේ එම සේවාව ලැබෙන්නේ Google mail හරහා වීමය. එබැවින් Google mail භාවිතා කරමින් ලබා ගන්නා සියළුම පහසුකම් මේ හරහා ලබා ගත හැකි වේ.

මේ ලිපිය ලියන විට රටවල් 50කින් 35,000කට අධික පිරිසක් අඩවියට පිවිස තිබුණි. මාස 07කට මේ නම් වැඩිත් එක්කය.  එහෙත් ආ මඟ කෙටියි යා යුතු මඟ දුරයි…. ඉතින් මේ ආ ගමනට උපකාරි වූ අයගේ නම් සඳහන් කරන්නට ගියහොත් මේ ලිපිය අවසන් කරන්නට දින ගණනක් ගත වනු ඇත. නමුත් විද්‍යාපීඨ පීඨාධිපති තුමා, හිරාන් ජයවීර ගුරුපියාණන්, මුදිත බණ්ඩාර අයියා, අමල් පට්ටිවිදාන අයියා, නිපුන දොඩන්තැන්න අයියා, නවෝද කොටුගොඩ අයියා. ප්‍රබෝද් වීරසිංහ අයියා, බ්ලොග් අඩවියේ සියළුම නංගිලා හා මල්ලිලා, යසස්, ගසිත, ශෙන්යා ඇතුලු නන් අයුරින් උපකාරී කල සියළුම දෙනාට මේ මොහෝතේ මගේ හෘදයාංගම ස්තුතිය පුද කර කර සිටිනවා.