හයියෙන්ම දුවන්නම ඕනෙමද දිනන්න?

Share

පුංචිම කාලේ මතකද? ඒ කාලේ දුවනවා කියන්නේ මොකක්ද කියලවත් දැනගෙන හිටියාද? ඒ කාලේ දිව්වේ නො දැනුවත්ව කිව්වොත් නිවැරදි. ඔහොම කාලේ ගෙවෙනකොට අපි ටිකෙන් ටික දැන දැනම දුවන්න පුරුදු වුනා. හිමින් හිමින් ලකුනු වෙනුවෙන්, වෙනියා වෙනුවෙන්, තව එකී මෙකී නොකී ගොඩක් දේවල් වෙනුවෙන් දුවපු නැති කෙනෙක් නැති තරම්. ඒ තරමටම කාලය එක්ක අපේ වටාපිටව අපිව තරගකාරයෝ කලා.

මේ තරගයේ උච්චතම අවස්තාව එළැඹුණේ විභාග එක්ක. ජීවිතයම විභාග වෙනුවෙන් කැප කරපු පිරිසකුත් නොසිටියාම නෙමෙයි.ඒ මොනවා වුණත් ඒ හැමෝටම තිබුනෙත් අනාගතේ වෙනුවෙන් යහපත් හීනම තමයි. බහුතරයකගේ ජීව්ත වෙනස් කරපු, වෙනස් කරන සාධකය, අධයාපනය වූ නිසාවෙන් ගුරුවරු, දෙමව්පියෝ හැමෝම තරගය වෙනුවෙන් දුවන්න අපිව දිරිමත් කලේ අහිතකින් නෙමෙයි. අපි වෙනුවෙන් තියෙන සෙනෙහස නිසාම තමයි.

ඉතින් ජීවිතේ දිවිල්ලක් වුනේ කාලය එක්කමයි.කොහොම වුනත් ඉතින් ජීවිතේ අරමුණ මොකක් හෝ ගමනාන්තයක් නම්, සමහරු කොහොමහරි වේගයෙන් දුවලා දුවලා ගමනාන්තයට ළඟාවෙනකොට , සමහරු අතරමඟ නැවතිලා වෙහෙස නිවාගන්නවා වෙන්න පුළුවන්, තවත් කෙනෙක් ජීවිතේ දුවන්නම ඕනේද කියල කියලා හිත හිත තැවෙනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් වෙනත් මාර්ගයන් හොයනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ගමන අතහැරලා මම වේගයෙන් දුවන්න ගැලපෙන්නේ නැහැ කියලා උදාසීනව ඉන්නවා වෙන්න පුළුවන්. ඔබත් මාත් අපි හැමෝමත් මේ චරිත අතරේ ඉන්න පුළුවන්.

ඒ නැතත් ජීවිතේ දුවන්නේ නැතුව හිමින් යන්න පුළුවන් නම් කියලා එක වතාවක් හරි අපි හැමෝටම හිතිලා තියෙන්න පුළුවන්. කියවලා තියනවා නම්, බ්‍රසීල ජාතික පාවුලෝ කොයියෝ විසින් ලියපු “The Alchemist” කෘතිය. සැන්තියාගෝ නම් සැරිසරන්නා වටා ගෙතුනු මේ කතාවේ එක තැනකදී ඔහු මෙහෙම කියනවා, “අමතක කරන්න එපා ඔබ කරන කියන සෑම දෙයක්ම යොමු වෙලා තියෙන්නේ එකම අරමුණකට බව, ඒ වගේම ගමන අතරමගදී හමු වන සලකුණු, ඒවායින් කියවෙන දේවල් අමතක කරන්න එපා. වඩාත්ම වැදගත් දේ තමයි ඔබගේ ඉරණම, ගමනාන්තය සොයාගෙන යන චාරිකාව කිසිම හේතුවක් නිසා නතර කරන්න එපා”

ඉතින් ජීවිතය දිවිල්ලක්ම වුණ කාලයක වුණත් අවසාන ඉලක්කය, එහෙමත්නැතිනම් ගමනාන්තය පැහැදිලි නම්, දුවනවාද නැතිද කියලා තීරණය කිරීම තමන් සතු වැඩක්. කෙනෙක්ට වේගයෙන් දිවීම ජය ගේන කොට, තවත් කෙනෙක් හිමින් හිමින් නව මාර්ගයකින් ගමනාන්තයට ළඟා වෙනවා වෙන්න පුලුවන්.තවත් කෙනෙක් ගමනාන්තයට ළඟා නොවුනත් අතරමඟ ලැබෙන දෙයක් ගමනාන්තයටත් වඩා ජයග්‍රහණය ගේන්න පුලුවන්.ඉතින් තමන් විසින් තමාව හා තමන්ගේ ක්‍රමය සොය ගැනීමයි වැදගත්.

ඉතින් වේගයෙන් දුවන, හිමින් දුවන, නො දුවන, ඇවිදින, වැටෙන , නැගිටිනකොහොම කෙනෙක් වුනත්, තමන් තමන් වෙලා ගමනාන්තයට යන්න උත්සහ ගැනීමයි වැදගත්ම. ඉතින් ඇත්තටම, හයියෙන්ම දුවන්නම ඕනේමද දිනන්න?

Image Courtesy – https://bit.ly/2p0IQIY