හදවතේ බිත්ති දෙදරුම්කවමින්, සුපුරුදු රුධිර ගැලීම අවිඤාණිකව අවුස්සමින්, තෙනඟින් කඳුළු බිඳුවක් ලෙස පැමිණෙනු, කෙනෙක් නැතිනම් එකෙක් දෙන්නෙක් පමණක් ම දකින්නට ඇත. ජයග්‍රහණයේ සම්පයෝගයෙන් සිතිවිලි බැඳී උන් තැනක විපපයෝගය සහයක සිලිකන් චිපයේ සචල විද්‍යුත් පුංජයන් හරහා තිරයේ අලවන්ට තනමි.
අප කැඩපතෙන් දකිනුයේ අපේ පිළිබිඹුවයි, එලෙස ම වැඩිහිටි සමාජයේ ‘අංකුර‘ ඔවුන්ගේම සමාජයක එක් රැස්වීම මතුවට එන එම සමාජයේ ම පිළිබිඹුවක් බව කීමට කිනම් හෝ බධාවක් තිබීම අතාත්වික ය. එහෙව් පොඩ්ඩන්ගේ ලොවින් නික්මෙමින් සිටිමි.
මවුන්ට පියන්ට බෑයන්ට සදිසි වූ නෙක් ජීවීන් පිරිසක් මැද ප්‍රාථමිකයේ සිට මේ තෙක් දිවි ගෙවුවෙමි. සෙනෙහස ද කඳුළ ද විඳින්නට උගත්තෙමි. යථා ලෝකය යථා ලෙස දුටුව ද නොදුටුවද ලෝකය අභිමුවට පැමිණි කළ එය ප්‍රත්‍යක්ෂයෙන් දකින්නට දෑස් ද විඳින්නට විඤ්ඤාණය ද හසුරවාගන්නා සැටි නම් උගත්තෙමි.
යම් තැනක්,
යම් කලකදී අපට අපේම වී ඔප්පු ද තිරප්පුද නොමැති වුවද අපේම වී,
අපේම වුවත් විකිණීමට හෝ දීමටවත් නොහැකි ලෙස එලෙස වී.
ගැරහුම්ද, සැළකුම්ද, හැඳිනුම්ද නිති ලැබූ,
රටක ලේ, කඳුළු, දහදිය බෙලෙන් පණගැහෙන, මේ බිම තවකෙකුට විදින හැටි උගනින්නට තුදුස් වසකට මට වෙන්වූ ඉඩ ශේෂ කොට මා හැර යන මේ බිම.
පුදබිමකි, කෙසේද යත් අප විසින් දිවිහිමියෙන් රකින, අදහන, වෙසෙන,අයිතිය කඩදාසියක තින්තෙන් නොලියවුනත් හදපල්ලේ හැඟුමන් ගල් කටුවෙන් සටහන් තබා තහවුරු කළ, කතන්දර නම ගම් ලියා කියා තබමින්, අප යන්නේ තවකෙකුට ඒ මග ම මවන්නට. පුදබිමක් වන්නේ අපේම වුවත් අපේ බූදලයක් නම් එක් ක්ෂණයකට වත් නොවන හෙයිනි.
හැරී ආවෙමි සමු දී, දන්නා නිසා යන්ට වෙන බව එතනින්. අන් කිසිවකට නොව එතනින් අප තැනූ අරමුණ දිනන්නට.
දෙගුරුන්ගේ සෙනෙහස මෙන් ම ස්වකීය නිවස්නයේ මහ බලකොටුවෙන් බැස, තණ බිස්සවල්, මත වැලි කතර හරහා ‘මිනිසෙකු‘ ලෙස ක්‍රමිකව නම් බැඳෙද්දී, දිවි ගෙවද්දී බොහෝ රසයන් හමුවන බව දැන කියා ගත්තෙමි. ප්‍රේමය, විරහව හා උපේක්ෂාව මේ සුදුවන් වතෙන් දැනගන්නට ලැබෙන අයුරු මියුරුය. ඉතා මියුරුය. වයසෙන් වැඩෙත් ම සිරුරෙන් හා එහි අංගයන්ගෙන් වැඩෙත්ම සොයුරිකගේ, මිතුරියකගේ සෙනෙහසට පෙමට අමතරව බොහෝ දැනුනි. ඒ දරා ගන්නා හැටි උගත්තෙමි.
ගුරුන්ගේ සෙනෙහස සෙනෙහසින් වින්දෙමි. මිතුන්ගේ ඇසුරක අපූරුව දුටුවෙමි. හැරදාල යන කළ ඇතුල්වන පොතෙන් නම අයින් කර තුදුස් වියැති කොළ කෑල්ල වෙව්ලුම්කන නැතිනම් එසේ වීමට ඉතා ආසන්නව සිටින දුබල අතැඟිලි මැදින් අතැතිව, හතලිස් ගණන්වල වෙහෙසින් ඉදිවූ කොන්ක්‍රීට් කණුවකට කශේරුකාව භාර දී, ඇගේ දෑස් දෙස කෙලින් බලන්ට වීරිය නැතිව දුහුවිලි බිම බලන් සිටිමි. ලෙයින් එලෙස වීමට පින් මදි වුවත් සිතින් ම මාගේ වූ ගුරු සොයුරියක සෙවණේ ඒ දයාවට හද භාර දී සිට, ඇගේ සෙනෙහෙබර තෙපුලින් වාරු ගනිමින්, මතක දුක් ගී වැලක් නිහඬ ඝෝෂාවකින් ගැයුවෙමි. නැත ගැයුම් ස්වරයෙන් නිහඩ හඬකින් හැඬුවෙමි.
එසේ හැර යන්නේ හදවතින් දොහොත් මුදුනේ තබා වැදගෙන ය. මෙබිම මෙලෙස යළිත් පිළිසිඳ ගත හොත් මව්කිරි බලෙන් බිහිවී සිප්කිරෙන් ගුණලබන්නට පැමිණෙමි, ඔව් එසේ අනිවාර්‍යෙන්ම පැමිණෙමි.
මා හට සුහුඹුල් වියේ පය හසුවන යුරු කිවූ සේනානායක විදු මෑණියනි,
පියාපත් මතින් උස් අහස ජයගන්නා කතා කියාදුන් වළිසිහ හරිසඳ විදුමව්නි,
කරදඩු උස්මහත් වන විට උස් අහස දකිනු වස් මා නිදහසේ උඩුහුළඟට නික්මවූ අනුරපුර මැදි විදුමවුනි,
තුංමුල්ලේ සරසවි මංසල සිට මේ මහ කපේ කෙළවර මෙත් බුදු සසුන තෙක් ඉන් ඔබ්බටත් ඥාණ ප්‍රභාව පතුරවන්නට සෙනහසින් ජය පතමි.
Image courtesy – Dilshan.A.Ranasinghe
https://www.facebook.com/photo.php?fbid=960354507408229&set=a.960378900739123&type=3&theater