ධීවර පතිනියකගේ සුසුම් රාවය

Share

‘ඒකත් මහ පව්කාර රස්සාවක්, ජීවිතය බිල්ලට තියල, මිනිස් පුළුටක්වත් නැති මහා සාගරයේ දවස් දෙක තුන,ගිනි ගහන අව්වෙ, නා කපන වැස්සෙ, හිරි පිපෙන හීතල රාත්‍රියෙ කියල වෙනසක් නැතුව හොඳටෝම හෙම්බත් වෙලා, හුඟක්ම දාට උණ, හෙම්බිරිස්ස අසනීපයක් එක්ක තමයි මගෙ මහත්තය ගෙදර එන්නෙ. ඔය රස්සාව නිසාම හොඳට කාල,බීල,ඇඳල කරල හිටියට, අපි දෙන්නගෙම හිත් වල ලොකු තෘප්තියක්, සැනසීමක් නම් නෑ ඉතිං.මහ මුහුදෙ රළ ගෙඩි විගේ නිතරම හැපි හැපි බිඳෙන මගෙ හිතට වෙලාවකට කියාගන්න බැරි පුදුමාකාර කාංසියක් තමයි දැනෙන්නෙ.’

රත් වුණු හද සිසිළ සොයන සුසිනිඳු වැල්ලේ
මයෙ සෙනෙහස දුර ගියාද කරදිය    රැල්ලේ
ආලෙ හැඟුම් දවනා තනි ගිනියම්     දැල්ලේ
වැටෙනා කඳුළැලි පිහද්දි හදවත     ඇල්ලේ

අහළ පහළ යන එන උන් හරි කෑදර           ලෙසින්
ඔච්චම් ඉඟි බිඟි මුමුණති පිපාසෙ පිරි           ඇසින්
හිත හයියයි ඔබගේ රුව මැවේවි දස           දෙසින්
මම ඉන්නේ ගුහාව රකිනා කොටි දෙන     වෙසින්

මහ මුහුදේ වැහි කුණාටු මොරදෙන දවසට
සුළි නැතුවම ඇහි පිහාටු තෙත් වේ  විගහට
පාළුව මුසු තනිකම බිය හද වෙළනා කොට
හිත සැනසුවෙ මරියාවයි හද අමතා       මට

සඳ වැටිලා මුහුදේ ලස්සන     පෙනුණා
ඒ ලස්සන වලා පෙළක් තුළ      ගිලුණා
රෑ සිහිනේ ඔබ නැති තනිකම    දැනුණා
පැතුම් ගොඩක් මහ මුහුදට පා කෙරුණා

සුළං සැරේ අරගෙන එන ලුණු රස තව       නෑ
සුළං පොදේ පිසගෙන එන පිළිහිටි ගඳ       නෑ
රැළි බිඳෙනා හැටි දැකලම හද බිඳෙන්නෙ   නෑ
ඔබ එනකල් මග බලලත් නෙතු රිදෙන්නෙ  නෑ

මුහුද වගෙයි ඔබෙ හදවත රළු       වෙනවා
අසරණ මා වෙරළ වගෙයි ගොළු   වෙනවා
රැල්ල වගෙයි ඇවිදින් ඔබ යළි         යනවා
වැල්ල වගෙයි මා ගෙපැලෙම තනි වෙනවා

හොඳම කාලෙ ඇයි මුහුදට පුද දෙන්නේ
මරිය තුමිය අප වෙත ඇප කැප වන්නේ
මගේ පැතුම් මහ දියඹෙනි ගිල  ගන්නේ
දරු සුරතල් සිහිනය තව කල්    යන්නේ

Image Courtesy: https://bit.ly/2JIyVzB

 
Tagged : / / /