කරපු කැපකිරීම, ඒ ආදරය හිතාගන්නවත් බැරි තරම්. නොමැකෙන මතක ගොඩක එකතුවක්.
සියලු ම අත්තම්මලාට උපහාරයක් ම වේවා !
කලින් වගේ දෙතනෙ පුරා කිරි එරුණේ නැති උනාට
පෙමින් ඇගේ ළය තෙමුණා දරු සුරතල් මැදි කළාට
නිතින් වගේ අත්තම්මා ගුණ ගයනට බැරි උනාට
ඉතින් අගේ මේ මහිමය කවි නිති නොම ලියැවුණාට
තුන් තිස් පැයෙ ගැහෙනා ළයෙ සිසිලස නැත නිම්මා
රන් අඳුනකි සතපාලන කරුණා සුව පෙම්මා
නන් ගුණකඳ සිතුවිලි මල් විකසිත කර නම්මා
පින් කෙත ඇය දිවිපෙත තැනු පෙම්බර අත්තම්මා
සිරුර පුරා සෙනෙහස් අම රසය ගලා
රුහිර දරා සුදිලෙන සඳ කැලුම වෙලා
ඉහිර ගියත් ගත සවිබල පරණ වෙලා
මිහිර නැතේ එක බිඳකුත් මිලින වෙලා
තරහක් මා අරගෙන ඉන්නා කල විලසින් දැවී
සිසිලක් වී ඉස්සා කරුණා සුව වැස්සක් වෙවී
යුගයක් ඈතට පියඹා ඇදුණත් දුරකට ගෙවී
මොහොතක් නෑ අමතක තවමත් රුව මහදේ මැවී
මගෙ සිනහව දැක දැක ඇය නිවුණා පැතුමින්
මගෙ කඳුළැලි පිස පිස ඇය හැඬුවා රහසින්
මගෙ දිවිපෙත ජය ම පතා දිව රෑ අදරින්
අත්තම්මා නිවන් පුරට වැඩියා සතුටින්
Image link: https://bit.ly/3C3rDzb