“දෙවියන්ගේ” අයිතීන් සුරකිනු වස්…

Share

“කැම්පස් එක ගාව බහින්න”

කොන්දොස්තර මහතාගේ හඬ සමග මා බසයෙන් බසින්නේ සරසවිය තුළ තවත් දිනයක් ගත කිරීමට හැකිවීම ගැන සිතේ හටගන්නා ප්‍රීතියත් සමඟයි. කොළඹ නගරයේ අතීත ශ්‍රී විභූතිය කියාපාන මන්දිර අසලින් දිවෙන තර්ස්ටන් පාරට සෙවණ දෙන මාර ගස් පෙළ මගේ උද්දාමය තවත් වැඩි කරයි. දෙපස ම උස් ව නැගුණු දැවැන්ත වෘක්ෂයන් වූව ද, මාර්ගයේ හෝ පදික වේදිකාවේ එකඳු වියළුණු කොළයක් නොතිබීම විටෙක මා මවිතයට පත් කරයි. එලෙස අලංකාර වූ තර්ස්ටන් මාවත දිගේ විශ්වවිද්‍යාලය වෙත පිය මනින අතරතුර, මගේ නෙතට නොවැරදී හමු වන දසුන් දෙකක් වෙයි.

ඉන් එක් දසුනක් මගේ ඉහත කී මවිතයට පිළිතුරු සපයයි. තැඹිලි පැහැ ටී ෂර්ටයක් ඇඳ, ඉදලක් ද අතින් ගෙන කරත්තයක් තල්ලු කරන් යන ඔහු, කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යයයෙන් විඩා පත් වී, ගසක් යට ගිමන් හරිමින් සිටියි. තවත් දිනෙක ඔහු තමා විසින් ම පිරිසිදු  කළ පොළව මත හිඳගෙන දිවා ආහාරය ගනිමින් සිටියි. ඔහුගේ ධෛර්යය හා ශ්‍රමය විසින් මේ තර්ස්ටන් මාවත මගේ ප්‍රියතම ස්ථානයක් බවට පත් කර ඇත.

එලෙස පවිත්‍ර වූත්, අලංකාර වූත් කොළඹ නගරය සිය වාසස්ථානය කරගත් ඉන්දියානු මහ කොමසාරිස්වරයාව රකින ආරක්ෂක භටයා මගේ නෙත ගැටෙන අනෙක් දසුන යි. දැඩි හිරු රශ්මියේ වුව ද නො නැවතී ඇද හැලෙන වර්ෂාව මධ්‍යයේ වුව ද ඔහු නො සැලී සිටියි. වැරදීමකින් හෝ ඔහුට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වුව හොත් එය දෙරටක් අතර සිත් නොහොඳ කමකට මුල පුරනවා නො වේදැයි නො සිතා සිටීමට මට නො හැකි ය.

පාර මාරු වන්නට කොළ එළිය දැල් වෙන තෙක් පදික වේදිකාව මත සිටින අතරතුර මේ චරිත දෙක සිහිපත් වී විශාරද ටී. එම්. ජයරත්න මහතා විසින් ගායනා කරන ගීතයක් මගේ මුවට නැගෙයි.

“අඳුරු කුටිය තුළ – දොරගුළු ලා ගෙන

ගයන ගීතිකා – යදින යාතිකා

දෙවියන් හට නෑසේ

පොළොව කොටන තැන – පාර හදන තැන

ගිනියම් අව්වේ – මහ වරුසාවේ

දෙවියෝ වැඩ ඉන්නේ”

ඉහළ අහසේ වලාකුළුවලින් එහා දෙවියන් සිටී දැයි සැක සහිත නමුත් රාජකාරිය දේවකාරිය කොට ගෙන ඩහදිය හෙළමින් වෙහෙසෙන ශ්‍රම බලකාය අතර නම් දෙවියන් වැඩ සිටින බව නිසැක ය. පවතින වසංගතය නිමා කරන ලෙස ඉල්ලා අප දෙවියන් යැද්ද ද සැබවින් ම එය පාලනය කරනු වස්, නිමා කරනු වස් දිවා රෑ නො බලා වෙහෙසෙන්නේ වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නො වේ ද? එනම් දෙවියන්ගේ කර්තව්‍ය ඉටු කරන්නේ ඔවුන් නො වෙද?

සෑම වසරක ම මැයි පළමු වන දා, එනම් අද දින වෙන් වී ඇත්තේ එලෙස වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරැකීම වෙනුවෙනි. ජාත්‍යන්තර කම්කරු දිනය, එසේත් නැතිනම් මැයි දිනයේ අතීතය 1886  දක්වා දිව යයි. කාර්මික විප්ලවයෙන් පසු ඇති වූ අතිශය දුෂ්කර වූත්, අනතුරුදායක වූත් රැකියාවල අවම වරප්‍රසාද යටතේ වැඩ කිරීමෙන් හෙම්බත් වූ කම්කරුවෝ සිය සේවක අයිතීන් ඉල්ලා 1886 වසරේ මැයි 1 වන දින ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේ උද්ඝෝෂණයක නිරත වූහ. එහි දී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් කිහිපදෙනෙකු මිය ගිය අතර එම උද්ඝෝෂණය මෙහෙය වූ කම්කරු සංගම්වල නායකයින් සිවු දෙනෙකු එල්ලා මරණ ලදී. ඊට අප්‍රසාදය පළ කරමින් ලොව පුරා කම්කරු සංවිධාන හා දේශපාලන පක්ෂ විසින් එම දිනය ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කරන ලදී. එනමුත් ඇමරිකානු කම්කරුවන් ඉල්ලූ මූලික අයිතීන් එනම්, සතියට දින පහක් පමණක්, දිනකට පැය 12ක් වෙනුවට 8ක් පමණක් වැඩ කිරීම හා ළමා ශ්‍රමය යොදා ගැනීම තහනම් කිරීම වැනි ඉල්ලීම් ලබා ගැනීමට ඔවුන්ට 1938 තෙක් ම  අරගල කිරීමට සිදු විය.

ලොව බොහෝ රටවල මෙන් ම ශ්‍රී ලංකාවේත් මැයි දිනය සියලු ම කාර්යාලවලට, වැඩබිම්වලට මෙන් ම පාසල්වලට ද නිවාඩු දිනයක් වේ.

නමුත් ඇතැම් දරුවන්ට මෙය පාසල් නිවාඩු දිනයක් නො වේ. මන්ද යත් ඔවුන්ට පාසල් දිවිය අහිමි බැවිනි. 2016 වසරේ දී ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ මුළු ළමා ජනගහනයෙන් 9.9%ක් පාසල් නො යන බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගෘහස්ථ කටයුතුවල හෝ රැකියාවල නිරත වන බවත් හෙළි වී තිබේ. මෙලෙස සිය ශ්‍රමය වැය කරමින් ඔවුන් සාමාන්‍යයෙන් මසකට උපයන්නේ රු.11 000කට ආසන්න ගණනක් බවත්, ළමා ශ්‍රමිකයන්ගෙන් 37%ක් එම ආදායම තම දෙමව්පියන්ට හෝ භාරකරුට ලබා දෙන බවත් මෙම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය යොදා ගැනීම නීතියෙන් තහනම් කොට ඇති පසුබිමක යි.

මීට අමතර ව, අප රටේ වැඩ කරන ජනතාවගෙන් 68% සමන්විත වන්නේ ලිපියේ මුල දී ම සඳහන් කළ මාර්ගය සුද්ධ පවිත්‍ර කරන්නන් හා ගොවීන්, ගෘහ සේවිකාවන්, ධීවරයන්, කර්මාන්තශාලවල හා ඉදිකිරීම් අංශයේ සුළු සේවකයින් ආදී කම්කරුවන්ගෙනි. ඔවුන්ගෙන් බොහොමයක් සේවය කරන්නේ නිසි පරිදි නිවාඩු, වෙහෙසට සරිලන වැටුප්, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල වැනි මූලික සේවක අයිතීන් නොමැති ව ය.

ජීවිතයෙන් දශක දෙකහමාරක පමණ කාලයක් ශිෂ්‍යයන් වශයෙන් ගත කරන අපට, කම්කරු දිනය යනු තවත් එක නිවාඩු දිනයක් පමණි. නමුත් ඒ දිනය, වසර ගණනාවක් තිස්සේ කම්කරුවන් සිය ජීවිත ද කැප කරමින් සිදු කළ අරගලවල ප්‍රතිඵලයකි. සිසුන් ලෙස ගත කරන දිවිය නිමා කොට වැඩ ලෝකයට පිය මනින ගමනේ දී, කම්කරු අයිතීන් තවමත් උරුම නැති, ඒ අයිතීන් වෙනුවෙන් නැගීමට හඬක්වත් උරුම නැති කම්කරු පිරිසක් මෙන් ම, සිය පාසල් දිවිය ද කැප කරමින් ජීවන අරගලයේ යෙදෙන දරුවන් පිරිසක් ද මෙරට වසන බව සිහි තබා ගත යුතු ය.

References:

Image Courtesy:

 
Tagged : / /