රාජ්‍යත්වය මෙහි තබා ඇය මිහිදන් වනු ඇත

Share

දෙවන එලිසබෙත් මහ රැජින පසු ගිය සතියේ මිය ගියේ ය. සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය තුළ ද ඒ ගැන මතභේදාත්මක කරුණු රැසක් මතු විය. එය සාමාන්‍ය ස්වභාවයක් බැවින් අප ඒ ගැන වැඩියෙන් තැකිය යුතු නොවේ. තව ප්‍රතිවාදියා වූ එළාර මහ රජු පරාජයට පත් කළ දුටුගැමුණු රජු එළාර රජු වෙනුවෙන් මතක ස්මාරකයක් කරවා එයට ගෞරව කිරීමට අණ පනත් පැන වූවා නම් එලිසබෙත් රැජිනගේ මරණයට ශෝක වන පිරිසට නිර්ධය ලෙස පහර දීම එක්තරා ආකාරයක තරහ පිරිමසා ගැනීමක් ම බව සමාජයට මතුව පෙනේ.

දෙවන එලිසබෙත් රැජිණ (Queen Elizabeth II), එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි යනු එක්සත් රාජධානියේ සහ අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය 14, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද රැජිණ වේ. එක්සත් රාජධනියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැ‍මෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ‍ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි. ඇය 1952 දී රාජ්‍යත්වයට පත් වූයේ රාජ්‍යයේ පූර්ව ප්‍රාප්තිකයා වූ ඇගේ පියාණන් වන හයවන ජෝර්ජ් රජුගේ මරණයෙන් පසුවය.

මෙම සටහන දක්වන්නේ එලිසබෙත් මහා රැජිනගේ ලංකා ගමනයන් සම්බන්ධ සිද්ධි දාමයන් කිහිපයකි.

බ්‍රිතාන්‍යයේ මහ රැජින වශයෙන් කිරුළු පලඳා වසරක් ගතවීමටත් පෙර එනම් මීට වසර 65කට පෙර දෙවන එලිසබෙත් මහ රැජින පළමුවරට මෙහි පැමිණියාය. එදා රැජින මෙහි ළඟා වූයේ කොළඹ වරායට සේන්දු වූ නෞකාවකිනි.

අධිරාජ්‍යවාදී පාලන යුගයේ අපේ රටේ එතුමිය ඇතැමෙකු හැඳින්වූයේ මහේසිකාවුන් වහන්සේගේ මිනිපිරිය ලෙසිනි. රැජින ලෙස පත්වූ පසු බොහෝ ගෙවල්වල ඇගේත් ඇගේ වල්ලභයාගේත් වර්ණ ඡායාරූප ද එල්ලා ගෙන සිටි අයුරු පැරැන්නන්ට මතකය. රැජිනගේ මන බඳනා දින දර්ශන ද එකල එළිදැක්විණි.

අප රට නිදහස ලබා වසර 6ක් ගිය තැන රැජින පළමු වරට මෙරටට සැපත් වූයේ 1954 අප්‍රේල් 10 වෙනි දිනය. එකල හැටියට එය අසිරිමත් මොහොතක් ලෙස හැඳින්වීමට ජනතාව මෙන් ම එකල මාධ්‍ය ද පෙලඹුණේය. “අගනුවර මඟුල් ගෙයකට පෙරළෙයි… මහ රැජිනට මහ හරසර” යනාදී සිරස්තල ද එකල පුවත්පත්වල පළවී තිබිණි. රැජින රැගත් නෞකාව ලංකාවට පැමිණි මුල් ගමනේදී දෙවුන්දර තුඩුවේ නවතා රාජකීයයන්ගේ බෝට්ටුවක නැගී විවේක සුවය ගතකළ රාත්‍රියකදී අඩි 5ක් තරම් වූ මෝරකු පැන පීනා ගිය සිද්ධියක් දර්ශනය වීම එකල සමහර පුවත්පත් වාර්තා කර තිබුණේ “උත්තමාවිය අනූ නවයෙන් බේරෙයි” යන සිරස්තලය ද සමගිනි.

ලංකාවට ඒමට පෙර මහ රැජින හා ඇගේ වල්ලභ පිලිප් කුමරු අපේ රටේ සිරිත් විරිත් ගැන තමන් ගමන් කරමින් සිටි නෞකාවේදීම තොරතුරු ලබා ගත්හ. අපේ ජාතික ගීයට නැගිට ගෞරව දැක්වීම, ආචාර සමාචාර දක්වන අන්දම ද රාජකීය යුවළ පුරුදු වූ අතර නෞකාවේ කපිතාන් විවියන් ඩන් ඒ සඳහා රාජකීය යුවළට සහය වී තිබේ. රැජින මෙහි පැමිණි විට හැසිරිය යුතු අන්දම ගැන අවබෝධයක් ගැනීමට ලිපියක් එවකට ලංකා විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාව සිටි සර් අයිවර් ජෙනින් විසින් සරසවි සිසුනට යවා තිබිණි.

රාජකීය යුවළ රැගත් “ගොතික්” නෞකාව වරායට සේන්දු වූයේ පෙරවරු 6.30ට පමණ ය. 6.40ට ආචාර වෙඩි මුර පිරිනැමිණි. එවක අගමැති සර් ජෝන් කොතලාවල ඇතුළු ප්‍රභූවරු රාජකීය යුවළ පිළිගන්නට වරායට පැමිණ සිටියහ. පෙරවරු 9.00ට යුවළ ලංකාවට ගොඩබට වරායේ නැංගුරම් ලා තිබූ ලංකා නාවික හමුදාවට අයත් විජය නෞකාවට ද මොහොතක් ගොඩවීමට කටයුතු කළහ.

ඉනික්බිතිව වරායෙන් පිටවූ රාජකීය යුවළ පෙරවරු 10.11ට කොළඹ වික්ටෝරියා උයනේ යුද ස්මාරකයට මල්වඩමක් තැබූහ. පස්වරු 6.30ට ගුවන්විදුලිය මගින්
රැජින මෙරට ජනතාව ඇමතුවා ය.

පසුදින අරලියගහ මන්දිරයේ අති විශාල භෝජන සංග්‍රහයක් පැවැත්වූයේ රාජකීය යුවළ වෙනුවෙනි. එතෙක් එහි පැවති විශාලතම ප්‍රිය සම්භාෂණය එය විය. අමුත්තන් දෙදහස් පන්සියයක් ඊට එක්ව තිබේ.

මහ රැජින පසුදින මහනුවරට ගියා ය. එහිදී ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගන්නට එක්වූ ඇයට මල්වතු අස්ගිරි විහාරවලින් පිළිගැන්වූ ස්තුති පත්‍රයක් ද විය. පාලියෙන් ලියවුණ එහි මෙවන් සටහනක් ද විය.

සිරිමති සිරි ලංකාය
මජ්ජිම දිසා භාගෙස් මි
සුප් පට්ටිතං
දඨා ධාතු මංදිර මුපගතායං
එලිසබෙත් නාම මහා රාජනී
සකල රාජ සම්පත් තියා
සුචිරං ජීවතුනී පත්ථ යාමං

රැජින නිදහස් ශ්‍රී ලංකාවේ දෙවන පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය විවෘත කිරීමට ද එක් වූවාය. 1815 දී සුදු අධිරාජ්‍යවාදීන් විසින් පහතට ඇද දැමූ ජාතික ධජය ඔවුන් ඉදිරියේ දී යළි එසවිණි. රැජින නුවරඑළියට ගිය අවස්ථාවේ එහි සිටි තැනැත්තෙක් තමා සිංහල රජ පරපුරකින් පැවැත එන බව පවසමින් සන්දේශයක් අතැතිව රාජකීය යුවළ සිටි තැනට රැකවල් මැද කඩා වැදී තමාට නිවසක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය. ‘පියසේන’ නම් වූ මෙම තැනැත්තා පසුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. අප්‍රේල් 19 වැනිදා රැජින වෙනුවෙන් මහනුවර (සෙංකඩගලපුර) විශේෂ දළඳා පෙරහැරක් ද පැවැත්වීය. ඒ පිළිබඳ පුවත්පත්වල පසුදින පළවූ සටහනක මෙවැනි සටහනක් ද වූයේය.

“සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම නරදේවයන් විසින් පත්තිරිප්පුවේ සිට රජ පෙරහැර පැවැත්වීමට ආඥාව දුන් ස්ථානයේම සිටගෙන දෙවැනි එලිසබෙත් මහ රැජින ඊයේ රාත්‍රි කන්ද උඩරට පුර රජ පෙරහැර පැවැත්වීමේ අවසරය දුන්නාය.”

එදා එම පෙරහැර පැවැත්වීමට අවසර ලබා ගත්තේ එවක දළඳා මාලිගාවේ දියවඩන නිලමේව සිටි සී.බී.නුගවෙල මහතාගෙන් බව සඳහන් වේ. රැජන නිදහස් ශ්‍රී ලංකාවේ එම සංචාරයේදී අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය ඇතුළු මෙරට ඓතිහාසික ස්ථාන නැරඹීමට ද ගියාය. ඇගේ සංචාරය පිළිබඳ අතීත කතා පුවතේ රසවත් සිද්ධි ද එමට තිබේ. වරෙක සීගිරිය නැරඹීමට රැජින ගිය අවස්ථාවේ එකවර හැමූ සුළඟකින් ඇගේ ඇඳ සිටි ඇඳුම මොහොතක් සුළගේ ලෙළදෙන්නට වූ විට එහි සිටි ඡායාරූප ශිල්පීන් දෙසට අත දිගු කළ අගමැතිව සිටි සර් ජෝන් “හොඳ දුර්ලභ පිංතූරයක්නේ පිංතූරයක් ගන්නවා.” යැයි කියමින්
රැස්ව සිටි සෙස්සන් සිනහ සයුරේ ගිල්වූ කතාවක්ද අප අසා තිබේ. රැජින මෙම සංචාරයේදී වැඩි ප්‍රමාණයක් දුම්රියෙන් ගමන්කිරීමද කැපී පෙනෙන්නකි. අද මෙන් රූපවාහිනි නොතිබූ යුගයක රටේ සතරදිග් භාගයේ ජනීජනයා එම සංචාරයේ විස්තර ප්‍රචාරයට සවන් දුන්නේ ලංකා ගුවන්විදුලියෙන් පමණි. ගුවන්විදුලි යන්ත්‍ර ද එකල ගමක තිබුණේ ඉතා සීමිත නිවෙස් ප්‍රමාණයක වීම නිසා ඇතැමුන් එකම තැනකට රැස්වී මහත් උනන්දුවකින් එම විස්තර ප්‍රචාරය ඇසූහ.

රැජින ගමන් කළ ස්ථානවලට ලක්ෂ සංඛ්‍යාත පිරිස ඇදී ආවේද ඇය නරඹන්නට වෙනත් මාධ්‍යයක් නොතිබූ හෙයිනි.

1954 අප්‍රේල් 20 වැනිදා කොළඹදී එවකට ලංකාවේ අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතාටත් ඔලිවර් ගුණතිලක මහතාටත් ගෞරව නාම දෙකක් පිරිනැමුවාය. සර් ජෝන් කොතලාවල මහතාට රාජ්‍යානුසාශක පදවිය පිරිනැමිණි. ‘මහාමාන්‍ය’ පදවිය ලැබූ දෙවැන්නා ඒ අනුව සර් ජෝන්ය. සර් ජෝන්ට පෙර එම ගෞරවය හිමිව ඇත්තේ නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී. ඇස්. සේනානායක මහතාට පමණි. අභිනව ලංකා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස සර් ඔලිවර් ගුණතිලක නම් කෙරුණේද එම සංචාරයේදී රැජින විසිනි. රැජින දින 12ක සංචාරය නිමාකර ගොතික් නෞකාවේ යළි නැගුණු පසු අපේ විජය නෞකාව ඇගේ නැව පෙනෙන මානයේ යාත්‍රා කරමින් තම ගෞරවය දැක්වූ බවද සඳහන් වේ.

දෙවන එලිසබෙත් රැජින මේ දක්වා දෙවතාවක් මෙහි පැමිණීම සුවිශේෂී වන්නකි. ඇගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ 1981 ඔක්තෝබර් 21 වැනිදාය. එම ගමන සිදුවී පසුගිය 21 වැනිදාට වසර 41ක් පිරුණි.

මහ රැජින හා වල්ලභ පිලිප් කුමරු දෙවන වරට මෙහි සැපත්වූයේ ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී පනස් වසරක් පිරීම නිමිත්තෙන් වූ මහෝත්සවයට සහභාගිවීම සඳහාය. එවක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඇරයුමෙන් මෙහි පැමිණි රාජකීය යුවළ රාජ්‍ය ගෞරව සහිතව පිළිගැනීමට එවක රජය මනාසේ කටයුතු සංවිධානය කර තිබිණි. පළමු වරට මෙහි පැමිණ 27 වසරකට පසු රාජකීය යුවළ කරන මෙම සංචාරයේදී රාජකීය යුවළේ පරිවාර ඇමැතිවරයා ලෙස කටයුතු කළේ එවකට ඉඩම් හා මහවැලි සංවර්ධන ඇමැතිවරයා වූ ගාමිණි දිසානායක මහතාය. 1981 ඔක්තෝබර් 21 වැනිදා රාජකීය ගුවන්යානයකින් මෙහි සැපත්වූ මහරැජන කටුනායක ගුවන් තොටුපළේදී රාජ්‍ය ගෞරව සහිතව පිළිගනු ලැබීය. ත්‍රිවිධ හමුදා උත්තමාචර ද එහිදී පිළිගැන්විණි.

ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී පනස් වසරක් පිරුණ දින ගාලුමුවදොර පැවති උළෙල ඇමතූ එලිසබෙත් මහ රැජින කළ සඳහනකින් හා 1954 දී කළ සඳහනකින් මෙම සටහනට තිත තබමු.

“පනස් වසරක් ශ්‍රී ලංකාවේ ජනතාව භුක්ති විඳි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය රැක ගැනීමට ඉදිරියට ද ක්‍රියා කරන ලෙස තරුණ තරුණියන් හා අනාගත පරපුරෙන් ඉල්ලා සිටිනවා. එය ඔබට භාරයි”.

අප කැමති වූවත් නැතත් එංගලන්තයත් , මහ රැජිනත් , අපත් අතර වන්නේ ඓතිහාසික බැඳීමකි. කෙසේ වුවද සභ්‍යත්වයෙන් හෙබි මනුෂ්‍යයෙක් ලෙස මම එතුමියට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය ප්‍රාර්ථනා කරමි.

Image Courtesy : https://bit.ly/3QTzvcX

 

 
Tagged : / /