නිහඬ ඉකිබිඳුම

Share

ඇසුණි ඉකිබිඳුමක්

මලානික මඳ පවන සමඟින්

දුටිමි තනි වූ වනස්පතියක්

හුදෙකලා වූ තුරු සුසානේ

 

නැවතුණා ඉකිබිඳුම මඳකට

මගේ පා යුග ගැටෙන විට බිම

යළි අවදි විය වේදනා හඬ

තනිව හඬනා වනස්පතියක

 

එකල මේ බිම තුළින් ඉපදුණු

අප සැවොම සොහොයුරන් සේ

තැනූ සුවිසල් තුරු වියන මෙහි

අහස් කුස තෙක් දිව ගියේ

 

මඳ පවන හා ගී ගැයුවෙමු

සොලවමින් තුරු පත් අගින්

අතු පතර වු සියොත් කැල නැගු

ගී තනුව හා එක් වෙමින්

 

රිවි කිරණ දුන් උණුහුමින්

මහ පොළොව දුන් ජීවයෙන්

ලොවම  රැකුමට  වෙහෙස වූවෙමු

හෙළන තෙක් අවසන් සුසුම්

 

මරණයේ අඳුරින් වෙළී ගිය

දිනක නුඹගේ සොහොයුරන්

පැමිණ විත් අප තැනූ වියමන්

නසා සැදුවා හිස් ලොවක්

හුදෙක් දූවිලි රටා හැඩ කළ

රක්ත ගිනියම් ලෝකයක්

 

තුරු සොයුරු කැල නැගි අඳෝනා

මුසුව මඳ නල වියැලුණේ

ලොවට කළ මෙහෙවරට ඔවුනට

අවසන් බුහුමනද නොම වුයේ

 

අප ලබා දුන් සිසිල් සෙවණේ

වුණිද යම් අඩුපාඩුවක්

අප ලබා දුන් නේක ඵලයන්

නොම වීද රසයෙන් උසස්

නුඹව රකිනා යුතුකමින් අප

බැහැර වුයේද එකදු මොහොතක්

 

හෙට දිනේදී මා ද මේ බිම

නොම දකීවි ඔබ ඉතින්

හරිත පැහැයෙන් දිදුළ මේ බිම

වෙවී නිරුදක මහා කතරක්

 

දිනක මේ ලොව නුඹට පමණක්

දිවි ගෙවිය හැකි දෝ තුටින්

නසා දමමින් ජීව ධාරා

නුඹේ සිරුරට සවිය දුන්

 

සිතනු නුඹ ගැන එක් වරක්

අපව නැසුමට පෙර හොඳින්

අවසනට ඔබගේ දෙ අත් මත

තබන්නම් ඔබගේම ඉරණම

 

හුදෙකලා වු වනස්පති කළ

නිහඬ ඉකිබිඳුම ද නිමා විය.

මලානික මඳ පවන පමණක්

මගේ දෙසවන් මත ගැටෙන්නේය.

 

Image courtesy- https://www.walesandborders.com/images/llanfyllin_1.jpg

 

 
Tagged : / /