STATUS හෙවත් තත්ත්වය

Share

“හැමෝම බලන් ඉන්නෙ අපිට වරදිනකම්.”

“පරිණත උනාම තේරෙනවා මිනිස්සු අපි එක්ක ඉන්නෙ වාසියට විතරයි කියලා.”

මෙවැනි Post, Status ඔබ share නොකළත්, ඕනෑ තරම් දැක ඇති බව නම් මට විශ්වාස ය. එවන් “දාර්ශනික වදන්” ඇත්තට ම ඇත්ත ද? Lecture එක කම්මැලි නම් පමණක් නිදා ගන්නේ නැතිව මෙම කරුණ ගැන සිතා බැලීමට ඔබට ආරාධනා කරමි.

“මිනිස්සු හැම දේ ම කරන්නෙ කන්න.” යැයි එක වසරේ දී අම්මාට පවසා මම හොඳින් අහගත්තෙමි. “අපි උඹලට උගන්නන්නෙ කන්න ද?” අම්මා පැවසූ දේ ඉතාම සභ්‍ය ලෙස කිව්වොත් එහෙම ය.

හය වසරට එද්දී මම ඊට වඩා ටිකක් පරිණත උනෙමි. “මිනිස්සු හැම දේ ම කරන්නෙ සතුටින් ඉන්න.” අම්මාගෙන් නැවතත් හොඳවයින් අසා ගැනීමට අකමැති වූ මම යාළුවෙක්ට කිව්වෙමි.

කල් යද්දී එය එසේ නොවන බව මටම හැඟී ගියේ ය.

එසේ නම් “මිනිස්සු හැම දේම කරන්නෙ” කුමක් සඳහා ද?

“මිනිස්සු හැම දේ ම කරන්නෙ තමන්ගෙ Status එක හදා ගන්න.” O Level පේපරේ අන්තිම විනාඩි පහේ මට කල්පනා වුණේ ය.

එක එක පණ්ඩිත වදන් share කරන Facebook වීරයන් කෙරෙහි මගේ අප්‍රසාදය කොපමණ ද කියනවා නම් මම Facebook account එක deactivate කළෙමි.

එහෙත් “මිනිස්සු හැම දේ ම කරන්නෙ තමන්ගෙ status එක හදා ගන්න” නම්, “මගේ අප්‍රසාදය” ඉල්ලා අස් කර ගත යුතු ය.

[ “අපි මේ හැම දේම කරන්නෙ ඇයි?” මේ ප්‍රශ්නයට සැබෑ විසඳුම status එක බව දැනට මගේ මතයයි. “උඹ මේ කරන්නෙත් status එක හදා ගන්න එක නේද?” යැයි ඔබට සිතීමට ඉඩ ඇති බවත් මම දනිමි. නමුත් ඒක මෙතනට අදාළ නැත. ]

එසේ “තමන්ගේ තත්ත්වය” විදහා දැක්වීමට යාමේ දී බහුතරයක් දෙනා වරද්දා ගනිති. “කැපිලා පේන්න ගිහින්, පෙනිලා කැපෙනවා” යැයි A Level tuition ගුරුවරයෙක් වරක් කීවා නින්දෙන් මෙන් මතක ය.

මේ “දාර්ශනික වදන්” පෝස්ට් කිරීම, එසේ වරද්දා ගත් එක් අවස්ථාවක් බව ඔබට පැහැදිලි කිරීමේ භාරදූර කාර්යය මෙසේ කරගෙන යාම ඔබගේ අප්‍රසාදයට හේතු වනු ඇතැයි වරක් මට සිතුණත්, මගේ හිත සුව පිණිස පමණක් ම මෙය සටහන් කිරීමට මම සිතා ගත්තෙමි.

කාරණය වටේ ගියා වැඩි ය.

“හැමෝම බලන් ඉන්නෙ අපිට වරදිනකම්” කියා post එකක් දුටු පමණින් “ඇත්ත නේන්නම්” කියා ඔබට සිතුණත්, මට එය පෙනෙන්නේ තමන්ගේ “පොරත්වය” විදහා දැක්වීමට නොහොත් තමා හැර සියලු සත්ත්වයෝ ම එසේ බව පෙන්වීමට ගන්නා උත්සාහයක් ලෙස ය.

“කාලෙකට පස්සෙ අපිව මතක් වෙලා. මොකක්ද ඕනෙ උදව්ව?”

මෙසේ කීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?  අඩුම තරමේ හේතුවවත් ඔබ නොදන්නවා විය හැක.

සමහර විට ඇත්තට ම මෙය පැවසීමට තරම් ශක්තියක් නැති නිසා ඔබ එය status දානවා විය හැකි ය.  එසේත් නොමැති නම් ඔබට එවන් අත්දැකීමක් ඇති නිසා ඔබ එය share කරනවා විය හැකි ය.

නමුත්, “අසා ඇති කරුණු අනුව රඟපා දැක්වීමට සිත ඉතා දක්ෂ ය.”

එවන් “වදනක්” දුටු පමණින් අවධි වන්නේ ඔබගේ ඍණාත්මක සිතුවිලි ය. ධනාත්මක චින්තනය ගැන කොපමණ කරුණු ඔබ දිනපතා ඉගෙන ගත්තත් කුමක් හෝ ගැටලුවක් ඇති බව ඔබට වැටහී ඇති බව නොඅනුමාන ය.

“ඇත්ත තමයි. අරූ ඉන්නෙ මට හිනා වෙන්න බලාගෙන. අරූ එන්නෙ උදව්වක් ඉල්ලගෙන.” ඔබ සිතන්නේ ඔබට සිතීමට පුරුදු කළ දෙයකි. මේ ඔබේ ඍණ ගතියයි. සමහර විට ඇත්තට ම “කාලෙකට පස්සෙ මතක් වුණා” වන්නට පුළුවන් බව ඔබට වැටහිය යුතු ය.

කොපමණ එකට සිටියත් අපගේ ගමන් පථ විවිධ ය. එසේ ගමන් කරමින් සිටිය දී වැඩ කටයුතු මධ්‍යයේ හදිසියේ පැරණි මිතුරෙකු හා කතා කිරීමට සිතෙන අවස්ථාවක, “ආ මතක් උනා ද? මොකක්ද ඕනෙ උදව්ව?” කියා ඇසීම කොපමණ නින්දාවක් ද?

“ඇයි මිනිස්සු මෙච්චර ඍණාත්මක?” යැයි බොහෝ වාරයක් මම මගෙන් ම ප්‍රශ්න කරගෙන ඇත. එය ඔබේ වරදක් නොවේ.

ඔබ අතරින් බොහෝ දෙනෙකුට මා පවසන දේ නොතේරෙන බව මම දනිමි. තේරුම් ගත් කෙනෙකුට වුවත් හෙට වන විට එය අමතක වන බව ද දනිමි. හුදෙක් මගේ සිතුවිලිවලින් ගැළවීම උදෙසා පමණක් සටහන් කර තබමි.

“අනාගතයේ ලෝකය මීටත් වඩා කටුක වූ දිනයක ඔබ මෙය ආදරයෙන් කියවන බව ද මම දනිමි.”

 

Written By Ravindu Dulakshana

Image Courtesy:

 
Tagged : / / /