අනාගත වංශ කතාව…

Share

මේ කියන්න යන්නේ පුංචි දූපතක කතාවක්.. මීට අවුරුදු කිහිපයකට කලින් මේ දූපතේ නිකන්ම නිකන් කළු දුඹුරු පාට හමක් පොරොව ගත්ත මිනිස්සු වගයක් හිටියා… මුලදී නම් කවුරුත් වැඩිය ගණන් ගත්තේ නෑ… හැබැයි කාලයේ ඇවෑමත් එක්ක මේ දූපත ලෝකයේ බලවත් රටවල් ඇහැ ගහගෙන ඉන්න පුංචි දූපතක් වෙනවා. හරියට නිකන් ඔබත්, මමත් දන්න, ආස කරන රෝමයේ ගෝල් දේශය වගේ… නිකන්ම නිකන් මිනිස්සු වගයක් කිව්වට උන් කරපු සමහර දේවල්, ලෝකයේ අනිත් රටවල්වල මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි උනා. කලින් කිව්වා වගේ.. හරියට නිකන් ගෝල්කාරයෝ වගේ.. ටිකෙන් ටික ලෝකයේ කතා බහට ලක්වෙන්න ගන්නවා… ඒ මේ පුංචි දූපතේ තිබිච්ච සම්පත් නිසා. මේ දූපතේ හිටිය මිනිස්සු නිසා. භූගෝල විද්‍යාත්මක පිහිටීමේ ඉඳන් හැමදෙයක්ම… ඕනෑ තරම් වතුර, ගස්, සත්තු මේ පුංචි දූපතේ තිබ්බා… හිටියා… දූපතේ හිටිය මිනිස්සුත් සතුටින් හිටියා… මොකද අනිත් රටවල් වලට වගේ ගොඩක් ව්‍යසන මේ රටේ සිද්ධ උනෙත් නැහැ.

උදාහරණයක් විදිහට ගත්තොත්, මේ දූපතේ ගිනිකඳු නෑ… නිතර නිතර භූමිකම්පා ඇති වුණේ නැහැ… හැබැයි අභියෝග ඕනෑ තරම්… මේ දූපත අල්ලගන්න විවිධාකාරයේ ජාතීන්, මිනිස්සු ආවා.. පෘතුගීසී, ලන්දේසී, ඉංග්‍රීසීකාරයෝ ආවා… දූපත අල්ලගත්තා. හැබැ‍යි කාලයකට පස්සේ ආයේ මේ දූපත අත ඇරලා යන්න ගියා… කොටින්ම කිව්වොත් ගියේ නෑ… යැව්වා…

ඒ තමයි මං කලින් කිව්ව කලු දුඹුරු හමක් පොරොවගත්ත මිනිස්සු ටික… හරියට නිකන් ගෝල්කාරයෝ ටික එකතු වෙලා, රෝමන්කාරයින්ව ආයේ ආපු තැනටම යවනවා වගේ..

මෙහෙම බලාගෙන ගියාම ගෝල්දේශයේ ගෝල්කාරයොයි, මේ පුංචි දූපතේ ඉන්න මිනිස්සුයි අතර වෙනසක් නෑ… හැබැයි මේ දූපතට මැජික් අරිෂ්ඨේ තිබ්බේ නම් නෑ.. තිබ්බේ, මිනිස්සු අතර සමගියයි, එකමුතුකමයි…

කොච්චර ගහමරා ගත්තත්, කොච්චර ප්‍රශ්න තිබ්බත්, මේ දූපතේ උසාවි වල කොච්චර නඩු විභාගයට ලක් උනත්… අනිත් එකාගේ විපතකදී මේ මිනිස්සු එකට එකතු වෙන්න වග බලා ගත්තා. තම තමන්ට උදව් කරගත්තා. මේ කාරණයට උදාහරණ නම් බෝමයි. දෙකක්, තුනක් මතක් කරන්නම්…

වර්ෂ 2009 ඉඳලා අවුරුදු 30ක් ආපස්සට බැලුවාහම… මේ පුංචි දූපතේ මිනිස්සු ජීවත් උනේ කවදා මැරෙයිද කියන බයත් එක්ක…. හැමදාම උදේට ඇහැරුනේ තමන්ගේ මරණ සහතිකේ අතේ තියාගෙන… මොකද මේ ජාතිය තිස් වසරක කුරිරු යුද්ධයකින් බැට කාපු ජාතියක්… අම්මලා, තාත්තලා තමන්ගේ දුව, පුතා ඉස්කෝලේ ගිහින් ගෙදර එනකන් ඉන්නේ පුදුම බයකින්… ඔබට මතක නම් අම්මා, තාත්තා වැඩ ඉවර වෙලා හවසට ගෙදර එනකන් මේ දූපතේ හිටිය පුංචි පැටව් ටික හිටියෙත් ඒ බයෙන්ම තමයි… හැබැයි 2009 දී, මේ ජාතියේ මොකක්දෝ වාසනාවකට ඒ බය මේ දූපතෙන් ඈත් වෙනවා. ඒක වාසනාවකටත් වඩා මේ දූපතේ හිටපු උදාර රණවිරුවන් කරපු කැපකිරීම්වලට පින්සිද්ධ වෙන්න… ඔවුන් නොසිටින්නට, ඒ අසීමිත කැපකිරීම් නොවන්නට, මෙහෙම කතාවක් ලිය නොවෙන්නට ඉඩ තිබුණා.

2004 වර්ෂයේ දී මේ දූපතට මුහුද ගොඩ ගලනවා… ජීවිත දස දහස් ගණනක් මේ මුහුදට බිලි වෙනවා… දස දහස් ගණනක් අසරණ වෙනවා… උන් හිටි තැන් නැති වෙනවා… හැබැයි එකාට එකෙක් ඉන්නවා… එකාට එකෙක් උදව් කරගන්නවා. ටික කාලයකින් මේ දූපත ආයෙමත් තිබුණ තැනටත් ඉස්සරහට එනවා. ඒ මේ මිනිස්සුන්ගේ තිබ්බ ධෛර්යවන්තකම නිසාවෙන්මයි.

මේ මෑතකදී.. ඒ කියන්නේ වර්ෂ 2019… පාස්කු ප්‍රහාරය… ආයෙත් ජීවිත දහස් ගණනක් විඳවනවා… කවුද මේ දේ කළේ ? කවුද මෙහෙම දෙයක් කරන්න අණ දුන්නේ? ඔය ප්‍රශ්න වැඩක් නෑ… වැදගත් උන දේ මේ දූපතේ මිනිස්සු කලා… එකාට එකෙක් හිටියා.. තම තමන්ට උදව් කරගත්තා. වෙන රටකට විපතක් උනාමත් මේ මිනිස්සු උන් එක්ක හිටියා. තමන්ගේ ආගම සිහි කරද්දී ඒ රටවල් වල විඳවන මිනිස්සුන්වත් මතක් කලා. ඒකට හමේ පාටවත්, අදහන ආගමවත් හරස් උනේ නෑ… මේ දූපතේ හිටිය මිනිස්සු වෙනස්… වෙනස් ජාතියක්…

සිංහල මිනිස්සු, දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු… අන්තිමට මුන්ගේ කටිනුයි, ක්‍රියාවෙනුයි එළියට ආවේ උන් ශ්‍රී ලාංකිකයෝ කියන එක විතරයි. ඒක තමයි මේ මිනිස්සුන්ගේ ජාතිය.

මේ කතාව ලියන්නේ වර්ෂ 2020 දී… තවත් ව්‍යසනයකට මේ දූපත මුහුණ දෙමින් පවතින කාල පරිච්ඡේදයක… කොරෝනා හෙවත් කොවිඩ්-19…

ලෝකයේ බලවත්තු දණින් වැටිලා… මිනිස්සු අසරණ වෙලා… හැබැයි මේ දූපත කලින් වගේමයි… එකාට එකෙක්… ප්‍රශ්න අමතක කරලා… එදා වේල හම්බ කරන් ජීවත් වෙන මිනිස්සුන්ට අනිත් එවුන් උදව් කරනවා. රටේ නායකයෝ, හමුදා නිලධාරින්, පොලිස් නිලධාරින්, මහජන සෞඛ්‍ය නිලධාරින්, වෛද්‍යවරුන්, හෙදියන් තමන්ගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව, නිදිමරාගෙන වැඩ… ඒ බහුතරයක් වෙන මේ දූපතේ අනිත් එවුන් වෙනුවෙන්.. දූපත මේ තියෙන තත්වයෙන් ගොඩගන්න.

තමන්ගේ දරුවෝ ගැන හොයලා බලන්න වෙලාවක් නෑ කියන… තමන්ගේ පවුල් ගොඩදාන්න මහන්සි වෙන සමහර අම්මලා, තාත්තලා අද තමන්ගේ දරුවොත් එක්ක කාලය ගත කරනවා.. කලින්ට වඩා ගෙවල් හිනාවෙන් පිරිලා… ආච්චිලා, සීයලා තමන්ගේ මුනුබුරන්ට, මිනිබිරියන්ට පරණ කතා ආයෙමත් කියලා දෙන්න පටන් අරන්… ඉස්සර ඇතිවුණු අමනාපකම් දැන් නැතිවෙලා ගිහින්… ජීවිතේ ඉස්සරටත් වඩා විඳින්න පුරුදු වෙලා… මීට ගොඩ කාලයකට කලින් මේ දූපතේ මිනිස්සු වින්ද ඒ ජීවිතේ… දැන් බහුතරයකට කොහේදි හරි මඟ හැරුණු ඒ ජීවිතේ… හැබැයි ආයෙත් ඒ කාලේ ඇවිල්ලා දෝ කියලා සැකයි.. ඉස්සර සුපර් මාර්කට්ස් වලට කොටු වුණු මේ දූපතේ මිනිස්සු දැන් වෙනස්  වෙලා… තමන්ට අවශ්‍ය දේවල් තමන් විසින්ම ගොඩනඟාගන්න පටන් අරන්… එළවළු, පලතුරු තමන්ගේ ගෙවත්තෙම හදාගන්න පුරුදු වෙලා.. මේක තමයි මේ මිනිස්සුන්ට මඟ හැරුණු උරුමය… විජය කුවේණී ගේ ඉඳලා ආදී මුතුන් මිත්තන් ගෙන් උරුම වුණු දායාදය… ඔය මතක් කලේ මේ පුංචි දූපතට ඊට වඩා දස දහස් ගණනක් ප්‍රමාණයෙන් පොඩි ජීවියෙක් මතක් කරලා දුන්න කාරණා ටිකක්…

මේ ජාතිය ඕනෑම අභියෝගයකදී ස්වෝත්සහයෙන් නැඟී සිටින්න පුළුවන් ජාතියක් කියලා දැන් හැමෝම පිළිගන්න පටන් අරන්…

සොබාදහම ආයෙත් අවදි වෙලා… සොබාදහම අලුත් ජීවයක් අරන්…

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ…

”විය යුතු දේ වෙමින් පවතිනවා…”

ඉතින් මේ කතාවත් අනාගතයේ දවසක බොහොම ආඩම්බරයෙන් මතක් කරමු… ඉදිරි පරම්පරාවලට බොහොම අභිමානයෙන් මතක් කරමු… ලෝකෙටම පෙන්නමු මේ එදා හිටිය ජාතියම තමයි තවමත් මේ දූපතේ ඉන්නේ කියලා… ඒක තමයි මේ මිනිස්සුන්ගේ ලේ වල උරුමය… එකෙක්ව බේරගන්න උනත් මුලු රටම එකතු වෙන රටක ඉපදෙන්න ලැබුණ එක ගැන ඔබත්, මමත් ආඩම්බර වෙන්න ඕනේ නිසැකයෙන්ම…

මේ තමයි.. මේ පුංචි දූපතේ අනාගත වංශ කතාව…

උපදෙස් පිළිපදිමු… ගෙවල්වලට වෙලා ඉමු… ඉන්න ගමන් ජීවිතේ විඳින්න පුරුදු වෙමු… අපි ආරක්ෂා වෙමු… මොකද අනාගත පරම්පරාවට මේ කතාව කියන්න අපි ජීවත් වෙලා ඉන්න ඕනේ නිසා..

මේ කතාවේ තවත් පරිච්ඡේදයක් මතු අනාගතයේ දවසක ඔබත්, මමත් දැන් නොහඳුනන කෙනෙක් අතින් ලි‍යැවේවී…

එතෙක් නවතින්නම්….

 

Image courtesy

https://bit.ly/2VbYX3P

https://bit.ly/2VhEP0p

https://bit.ly/2yYLTWP

https://bit.ly/3bk2x1u

https://bit.ly/2Kcs3tG

https://bit.ly/3bgY5AH

https://bit.ly/2VxDktH

https://bit.ly/3cpg1Z

https://bit.ly/2xqGW96

https://bit.ly/2VdoSrL

 

 

 
Tagged : /