සුදෝසුදු – අදිරි

Share

සොඳුරු ගමක් සිවුපද රස රැසින් මැවූ

මිනිස් සුවඳ අට ලෝ දම මතින් බෙදූ

සිහළ සිරිය තුඩගින් ලොවට පිදූ

එදත් අදත් නො මියෙයි නම සුදෝ සුදු

 

ගම්මානයෙ ගැමි ආරෙට, ගැමි සුවඳට හැදෙන, හැබෑම ගැමියෙක්.

ජීවිතය මේ තරම් අසාධාරණ ද… මේ තරම් වේදනාත්මක ද…

සුදෝ සුදු රසය අසමසම කරන, රසික හදවත් කඳුළින්, සුසුමින් තෙමන අධිෂ්ඨානයේ මහා චරිතය, ‘අදිරි’ ගැන තමයි මේ සටහනින් සාකච්ඡා කරන්නෙ…

 

“එහි ගොවිරාළ කෙනෙකුගෙ පුතු වන අදිරී

අට අවුරුදු වයස් කොලුවෙකි ඇති දහිරී”      (02 කවිය )

 

“අදිරිය කටුරොදේ මුළු ගම පළාතට

ගජ හපනා තමයි බට ලී නළාවට”        (04 කවිය )

 

“හැම සෙල්ලමේදි ම ගහනා හරිගැටය

කවදත් පාහෙ ජය හැඩි දැඩි අදිරිටය”     (05 කවිය )

ගොවි ගෙදරක දරුවෙක්. ගහවැල වටපිටාව එක්ක ඔට්ටු වෙන ජීවිත. සොබාදහමේම කොටස් වගෙ තමයි. තාත්තාත් ගොවිතැන් බත්නෙ කරන්නෙ. අවුරුදු අටේ පොඩි කොල්ලා, හැබැයි ගම් තුලානටම බටලී නළා වයන්න මේ තරම් සමතෙක් නෑ. ගහගන්න, පොර අල්ලන්න හපනා. ගඟ ළඟ වැලි තලාවෙ ජය ගන්නෙත් මෙයා තමයි…

 

කාලය ඉතිං හීන් සැරේ ගත වෙලා යනවා………

 

“අදිරි ගොවිපලේ හැම වැඩවල සූරයි

ගමේ බරපතළ වැඩ ටික ඔහු බාරයි”    (10 කවිය )

පොතපතට ඉගෙනුමට නෙමෙයි ඇල්ම. වටපිටාව එක්ක තමයි ගනුදෙනු. අදිරි ගොවිපලේ, ගමේ වැඩපළවල හරිම කැපවීමෙන්, වගකීමෙන් නියැළෙන්නෙ. හැඩි දැඩි සිරුරත් එක්ක ගොවිතැනට තමයි මෙයාගෙ හිත යන්නෙ. ජවය, ශක්තිය පිරුණු ප්‍රියමනාප කඩවසම් තරුණයෙක්.

 

“හොඳයි මැණිකෙ යනවා දැන් රෑ වෙනවා

අප පෙර කල පතා ගත් හැටි හරි යනවා

මාත් හවස් ජාමේ ගෙදරට එනවා

ඇවිත් අංගො නැන්දම්මා හමුවෙනවා”      (15 කවිය )

මුළු දවසම කුඹුරු වැඩ. අව් වැහි එක්ක ඔට්ටු. හොඳ පදමට තෙහෙට්ටු. ඒ ඉවරවෙලා ගඟ පැත්තට එන ගමන තමයි හීන්මැණිකෙ මුණගැහෙන්නෙ. නිදහසේ, සතුටින් ජීවිතය විඳින සුන්දර තරුණයෙක්. මේ හමුවෙන් අර අවුරුදු ගානක මතකය, සිතුවිලි අලුත් වෙනවා. හිතට ආයෙමත් හැඟුමක් මෝරා එනවා.

 

“අදිරි එළිය හුල ගෙයි මිදුලේ ලෑවා

ගෙට ගොඩ වැදී ‘අයුබෝවන්’ කීවා”    (22 කවිය )

 

“අංගො හාමි නැන්දේ නුඹගේ දූට

මා වාගේ කෙනෙකු හිමියා වෙනවාට

විරුද්ධයක් නුඹගේ නැතිනම්  ඊට

සතුටුයි කටයුත්ත ඉක්මන් වෙනවාට”      (31 කවිය )

අදිරි නා කියාගෙන, පිරිසිදු වෙලා මේ එන්නෙ, හීන් මැණිකාගෙ ගෙට. අම්මා, ඒ කියන්නෙ අංගො හාමි මුණගැහෙන්න. මේ වගෙ වැදගත් කටයුත්තකට දක්වන සැලකිල්ල, ගෞරවය බලන්න. තමන්ගෙ හිතෙ දූ ගැන අදහස සහ නැන්දම්මාගෙන් අවසරය ඉල්ලන අපූරුව… ගෙදරට ඇවිදින් කතාබහ කරන ගැමි සිරිත් විරිත්. සංවරශීලී, හැදියාවැති අදිරි හරි අපූරු ගැමියෙක් නේද…

 

“මින් පසු ගත වුණේ එක සතියක් පමණි

දැන් අදිරියන්ගේ ගෙයි රූපත් තරුණි

උන් දෙන්නාට කීවොත් උවමක් පැරණි

රන් රස එකට එක් වූවට නැත දෙවැනි”    (34 කවිය )

 

“උස් සිරුරකින් හෙබි සවි බල දරු අදිරී

දැකුමත් ගමේ කාටත් හරියට මිහිරී

කොපමණ බර වැඩක් වුව තම වෙත ඉදිරී

පත් වූ කිසි තැනකදී මොහු මග නොහරී”   (36 කවිය )

හැමදෙයක්ම හොඳම විදියට උනා. අදිරි බලාපොරොත්තු වෙච්ච ආදරය එයාට අයිති උනා. මේ ලස්සන තරුණයා හැම වැඩ රාජකාරියක්ම බොහොම උනන්දුවෙන් බාර ගනිමින් නොපිරිහෙළා ඉටු කළා. ගේ දොර වැඩත් මැණිකෙ එක්කල ආදරයෙන් පිළියෙළ කළා.

ආදර බිරියත් එක්ක බොහොම ආදරෙන් කලින්ටත් වඩා හරි ලස්සනට ජීවිත ගමන ගෙනියන ගමේ කාටත් උදව් උපකාර දක්වන හරි ප්‍රසන්න මනුස්සයෙක්. කටුරොදේට සම්පතක්…

 

“නමුත් ජීවිතය වෙන අතකට හැරුණා

මැලේරියා උණ අප අදිරිට හැදුණා

සවි බල පිරිහුණා ලෙඩ ගානට වැටුණා

කටයුතු වලට ඉන්පසු හෙණ හත වැදුණා”   (37 කවිය )

 

“උදේ හිටන් රෑ වෙනතුරු වෙවුලනවා

සම් මස් ඇට නහර දනවා කකියනවා

මැණිකේ ළඟින් ඉඳ ඉකි බිඳ වැළපෙනවා

ඇගෙ දුක නිසා අදිරිගෙ දුක වැඩි වෙනවා”    (38 කවිය )

ජීවිතය, කොයි තරම් අවිනිශ්චිත ද, අසාධාරණ ද…

මොකද්ද මේ එකපාරටම වෙන්නෙ, කාටත් සහායක් වෙච්ච අදිරිට මෙහෙම වෙනවා කිව්වම. කොයි තරම් යහපත් උත්සාහවන්ත තරුණයෙක් ද, හිතාගන්නවත් බැරි තරම්!!

විවාපත්වෙන ඔනෑම තරුණයෙක්ගෙ උතුම්ම බලාපොරොත්තුව, අපේක්ෂාව; ඒ තමයි ”පිය පදවිය”, ඒ තරම් සතුටක් තවත් නෑ. අභිමානයක් තවත් නෑ. ඉතිං මේ තරුණ අදිරිත් වාසනාවන්ත වෙනවා පිය පදවිය ලබන්න. කුළුදුලේ දරුවා පුතෙක්. සතුට නිම්හිම් නැති තරම්…

“දෙනෙත් නැති පුතා ගැන කලකිරුණෙ නැත

පිරුණා පෙම් දියෙන් දෙමහල්ලන්ගෙ සිත

අදිරිත් තමාගේ අඩපණ ගැහුණ ගත

ගැන නොසලකා වැඩ කටයුතු පටන් ගත”       (41 කවිය )

 

“නෙත් අඳ පොඩි පුතාගේ මුව සිප ගත්තා

බැලුවා බිරිය දෙස මේ දුරුවල ඇත්තා”        (44 කවිය )

ඒ මදිවට තවත් අර්බුදයක්. අදිරිට කුළුඳුලේ උපදින දරුවා අන්ධ ළමයෙක්. එතනත් බලාපොරොත්තු බිඳ වැටීමක්. අඩපණ වෙච්ච අදිරිට, හිතට ඊටත් වැඩිය තවත් වේදනාවක්! දෛවය සරදම් කරන අපූරුව…

‘මම මොකද්ද කළෙ. අච්චර ලස්සනට ජීවත් වෙච්ච හීන්මැණිකාව අසරණ කළා. පව් ඒ කෙල්ල. මම දැන් ලෙඩෙක්. ඒ මදිවට මං ඒකිට දීපු දරුවා. ඒත් ඇස් නො පෙනෙන ආබාධිතයෙක්. මට නම් වෙන දෙයක් වෙච්චාවෙ. ඒත් මේ කෙල්ල. දරු පැටියා.’

ගතින් වැටුණත් හිතින් හරි හයියයි. පසුතැවීමක් තියෙනවා හිතට. තමන් ගැන නෙමෙයි. ගෙදර උන් ගැන. අදිරි නෙමෙයි සැලෙන්නෙ. බැරි බැරි ගාතෙ මේ යන්නෙ දරු පවුලගෙ බඩවියත රකින්න වැඩක්පළක් හොයාගන්න. බලන්න. කොයි තරම් අධිෂ්ඨාන ශක්තියක් ද… තාත්තා කෙනෙක්, ස්වාමියෙක් විදියට ඇත්තටම අපූරුයි නේද…

 

“පෙර සවි බල දෑත දැන් ඇට කූරු ගොඩයි

අදිරිගෙ උස් සිරුර දිරු පඹයෙකුගෙ හැඩයි

අයිතිය ජීවිතේ ඇත්තේ ඔහුට අඩයි

ආලය නිසා එය සිය ගුණයකින් වඩයි”        (50 කවිය )

ඕං, මේ තාත්තාගෙ දැන් තත්වය. පේනවා ද, දුර්වල වෙලා තියෙන තරම්. මොනතරම් සටනක් ද, ඒ උනාට හදවතේ ආදරය, හයිය. එකම අරමුණයි. තමන්ටත් වඩා අර අහිංසක බිරිඳයි, පුංචි කොලු පැටියයි. ඒ තමයි අදිරිගෙ මුළු ලෝකෙම…

 

තවත් අවුරුදු එකොළහක් ගත වෙනවා…….

අදිරිට ගමට එන්න තියා පයිංඩයක්වත් එවාගන්න විදියක් නෑ ඔය කාලය පුරාවට… බොහොම අබල දුබල වෙනවා. හැමෝම හිතුවට අදිරි මිය ගිහින් නෑ. නමුත් සුවවීමක් නෑ. බැරි බැරි ගාතෙ කටුරොදේට එයා ආයෙම එනව. වෙන හේතුවක් නිසා නෙමෙයි ඒ තමන්ගෙ ආදරණීය බිරිඳ සහ අසරණ පුංචි පුතා දැක බලාගෙනම අවසාන හුස්ම උපන් ගමෙම පිට කරන්න ඕන නිසා….

 

“උන්ගේ සැපට බාධාවක් ඇති කෙරුම

බලවත් අපරාදයක් බව දනිමි මම”         (122 කවිය )

 

“ජීවත් වන්ට මට ටික දවසයි ඇත්තේ

ඈ සැපසේය මට මරණෙට දුක නැත්තේ

නොමැරී ඉන්ට මෙතුවක් කල් ඇති අත්තේ

ඈ වෙනුවෙන් තමයි වීරිය මම ගත්තේ”         (123 කවිය )

මැලේරියා උණ වැළඳිලා, සිරුර හොඳටම වියැකිලා. අතපය වාරු නැති තරම්. එහෙම තියෙද්දිත් කොළඹට පිටත් වෙන්නෙ පවුල වෙනුවෙන්. දැන් එයා ආයෙම ගමට ඇවිදින්. නමුත් හොඳටම දුර්වල වෙලා. ඈත ඉඳන් හොරෙන් බලා ඉන්නෙ ආදර බිරිඳ සහ පුංචි දරු පැටියා දිහා. “අනේ.. දැන් තමයි මගෙ හිතට සතුටු. උන් කට්ටිය හොඳින් ඉන්නවා. මට මොන දුකක් ද. දැන් මම නිදහස්, මගේ හිත නිදහස්. මරණය කල් දදා මෙච්චර කලක් හිටියෙ ඔය නිසා. මම මෙච්චරක් මහන්සි උනේ මගෙ හීන්මැණිකෙ නිසා. දැන් හරි හැමදෙයක්ම, මට සතුටින් මැරෙන්න පුළුවන්.”

 

“ඉවසිලි නොදෙන සතුටකි අදිරිට ඇත්තේ

හඬ පිට වෙතැයි දෑතින් කට වහ ගත්තේ

මා ජීවත්ව ඇති බව මෙපොළව මත්තේ

ඒ දෙන්නා තමයි නොම දැන ගත යුත්තේ”         (127 කවිය )

පුංචි එකා ඔඩොක්කුවෙ. හීන්මැණිකා හරිම සතුටින්. ටිකිරි බණ්ඩා, මැණිකෙ එක්ක අත් පටලගෙන හරි ආදරණීය කතාවක්. ” මගෙ පැටියට හොඳම හොඳ තාත්තා කෙනෙක් ලැබිලා. මගෙ බිරිඳට හොඳම හොඳ සැමියෙක් ලැබිලා. එයාල ඉන්න සතුට. කොච්චර දෙයක් ද… මට දෙන්න බැරිවෙච්චි රැකවරණය ටිකිරි මටත් වඩා හොඳින් ලබාදෙනවා. එයාලා මට අයිති නෑ දැන්. ඔව්. එයාලා ආරක්ෂිතයි. හැමදාම සතුටින්. ටිකිරි මහත්තයෝ, අනේක වාරයක් පිං. ඔබතුමා බෝධිසත්වයෙක්.”

අදිරිට වෛරයක්, තරහවක්, ඊරිසියාවක් නෙමෙයි ඇතිවෙන්නෙ. ” මගේ ගෑණි, මගේ දරුවා ඔය, මට උන්ව ඕන. උන් මගේ.” එහෙම අදහසක් නෙමෙයි. අදිරිට දැනෙන්නෙ පුදුමාකාර නිවීමක්. එයාට බැරි උන දේ කරපු ටිකිරි බණ්ඩා ගැන ලොකු ගරුත්වයක්. කොතන කා එක්ක උන්නත් උන් දැන් සතුටින්, පරිස්සමින්. ඉතිං, මේක නේද නියම ආදරය. ඔව් ඔව්. බලන්න. අදිරිගෙ හිත. ඒ හිතේ මුදිතාව. හරිම සුන්දරයි නේද….

 

“රෑ කඩ පිළේ මැස්සේ නිදිගත් ඔහුට

නුපුරුදු වේදනාවක් දැනුණා ගතට

මෙතුවක් බියෙන් ඒමට සිටි ඔහු ළඟට

‘මරණය’ පැමිණ රහසක් පවසයි කනට”      (129 කවිය)

 

“රන්කඳ මගෙ මැණික මින් කලකට පෙරදී

දැන් සිහියට නැගෙයි ළං කර ගත් පරිදී

පෙම්බර මරණයේ උඹ ඒ වගෙ මෙහිදී

වැළඳ ගනින් මා අමතක කොට වැරදී”         (132 කවිය )

අවුරුදු එකොළහක් පුරාවට කරපු මහා සටනට දැන් විවේකයක් ඕනෙ. මේ සටන කළේ හීන්මැණිකෙ වෙනුවෙන්. හීන්මැණිකෙ අසරණ වෙයි, අනාථ වෙයි කියලා ඇතිවෙච්ච බය, වේදනාව වෙනුවෙන්. නමුත් දැන් අදිරිට පුදුමාකාර සැනසීමක්. පුදුමාකාර නිවීමක්. හැබැයි අදිරි ඉන්නෙ අවසාන මොහොතෙ. රිදුම්කන ගතට එකම එක ඔසුවයි, ඒ තමයි ආදරණීය මරණය, තවත් ජීවත් වෙන්න උවමනාවක් නෑ. මම දැන් කටුරොදට මතකයක්ම විතරයි.

ඉතිං මට යන්න අවසරයි !

අදිරි කියන්නෙ ගොවි ගෙදරක ඉපදුණු, මුදල් ආර්ථික ලොකු හැකියාවක් නොතිබුණත්, අතපය වෙහෙසලා, උත්සාහයෙන් ජීවිතය ගැටගහගත්ත, කාගෙත් හිත දිනාගත්ත කඩිසර අවංක තරුණයෙක්. පෙම් බැඳපු තරුණිය එක්කම විවාහවෙන්න වාසනාව ලැබුණත්, එතනින් එහාට ජීවිතය කඩාවැටෙන්නෙ නොහිතපුම විදියකට. තමන් වෙනුවෙන් නෙමෙයි අනුන් වෙනුවෙන් කවදත් හිතපු, කැපකරපු මේ අසහාය ස්වාමිපුරුෂයාට හිත සතුටින් මියැදෙන්න වාසනාව හිමි වෙනවා. හිත පුරාම හිර කරගත් කඳුළ, සුසුම, වේදනාව සම්පූර්ණයෙන්ම අහක් කරන්න පුළුවන් වෙන්නෙ ඒ හිතේ තිබුණු ඉවසීම වගෙම මුදිතා ගුණය නිසා. අවුරුදු එකොළහක් පුරා නොවිඳිනා දුක් විඳිමින් පරාර්ථය පිණිසම ජීවිතය එක්ක පොර බැදපු තාත්තා කෙනෙක්. ජීවිතය කියන්නෙ සතුට, දිනුමට වඩා දුක, පරාජය පිරුණු සොඳුරු රඟහලක් බව ආයෙ ආයෙත් මතක් කරදෙමින් අදිරි නිවී යනවා.

 

“වලව්වේ ඉදිරිපිට වත්තේ කොණක

අදිරිගෙ සොහොන් කොත ළඟ තැනු මල් පැලක

මැණිකෙයි අඳ පුතයි ටිකිරියි හැම දිනෙක

මල් පහන් පුදනු කාටත් දැකිය හැක”            ( 136 කවිය )

 

දකින්න විඳින්න නිවෙන්න!

 
Tagged : / / /