සුදෝ සුදු – හීන්මැණිකෙ

Share

සොඳුරු ගමක් සිවුපද රස රැසින් මැවූ

මිනිස් සුවඳ අට ලෝ දම මතින් බෙදූ

සිංහල සිරිය තෙළි තුඩගින් ලොවට පිදූ

එදත් අදත් නොමියෙයි නම සුදෝ සුදු

 

සතුට, සුසුම, බලාපොරොත්තුව, අහිමි වීම මේ හැම දෙයක්ම පිරුණු, හීනෙකින්වත් නො හිතපු හරිම පුදුමාකාර ජීවිතයක් තමයි හීන්මැණිකෙට උරුම වෙන්නෙ.

ජීවිතය කොයි තරම් නම් සංකීර්ණ ද! ඇත්තමයි……

උපතින්ම පිය සෙනෙහස අහිමි උනු මේ හීන්මැණිකෙ පුංචි කෙල්ලට බිංදුවක්වත් අඩුවක්, තනියක් නොවෙන්න අංගොහාමි, ඒ කියන්නෙ කෙල්ලගෙ අම්මා බලා ගන්නෙ පණටත් වැඩිය ආදරෙන්. අංගොහාමිගෙ එකම දරුවානෙ ඉතිං.

“වැන්දඹු අංගොහාමිගෙ සුරතල් දූ ට

යන්තම් පස්වසයි විසි අට වෙනිදා ට

දුප්පත් කෙල්ල නොසිටියෙ නම් මේ ලා ට

සැකයක් නැත අංගො පරලොව වැඩියා ට”          (3 කවිය)

 

දැන් ඉතිං කෙල්ලට අවුරුදු පහයි. හොඳ සෙල්ලම් වයසනෙ. හරිම සැහැල්ලුවෙන්, සතුටින් තමයි ළමා කාලය විඳින්නෙ. ගඟ ළඟ වැලි තලාවටනෙ අදිරි, ටිකිරි එක්ක එක්කහු වෙන්නෙ. ගුඩු අදින, බටනළා වයන ඉඳහිට රණ්ඩු එහෙම කරන මෙතන තමයි කෙල්ලගෙ සෙල්ලම් පිට්ටනිය.

 

“ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ

වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙද

සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද

කියමින් සැනසුවා සුමිහිරි බස් බොළඳ”          (8 කවිය)

ඕං බලන්න. පොඩිකමට ද වැඩ කට්ටියගෙ. ලොකු ලොකු දේවල් හිතන්නෙ. එහෙම තමයි නේද ඉතිං බරක් පතළක් එච්චර අවබෝධයක් නෑනෙ, හීන්මැණිකෙත් හොඳ පැහිච්ච කෙල්ල, බලන්න යාලුවො දෙන්නගෙ දබරය විසඳන ලස්සන. ළමා කාලය කොච්චර නම් සුන්දර ද නේද…

කාලය ගතවෙලා යනවා ඔය විදියට,

තවත් අවුරුදු දහයක් ඉස්සරහට. . . . . .

“මැහුම් ගෙතුම් හා සිය බස දත් රමණී
හීන් මැණිකෙ දැන් හරි ලස්සන තරුණී”            (9 කවිය)

දැන් මේ යාලුවො තුන්දෙනාම හොඳ තරුණ වයසෙ. ආදර හැඟුම් මෝදු වෙන කාලෙත්නෙ.

කෙල්ල ඉතිං පංචකල්‍යාණියෙන් පිරුණු ලස්සනම තරුණියක්, සැරයක් බැලුවොත් ආයෙම සැරයක් බලන්න හිතෙන.

ගොඩ දවසකින් පස්සෙ වෙච්ච අහඹු මුණගැහීමක්. කෙල්ල නම් එක පිම්මෙ කැමති. ඒ උනාට මේ වැඩවල පිළිවෙළක් තියෙන්න ඕනනෙ. අංගොහාමි බැහැ දකින්න පැල්පතට තරුණයා ගොම්මනේම එන්නෙ ඒ නිසා. හීන්මැණිකෙගෙ මූණෙ මල් පිපිලා, ඒ තරම් සතුටක්..

හැබැයි පුංචි බයක්, චකිතයකුත් නැතුවම නෙමෙයි… මොකද තවම කෙල්ලෙක්නෙ මේ දැරිවි…

“කුස්සියේ සිටින මැණිකෙට මෙය ඇසුණි

ඇගෙ සියුමැලි ගතේ දාඩිය බිඳු නැඟුණි

අංගොහාමිගේ හිත සතුටින් පිරුණි

ඇගේ සතුට ඈ බැලු හැටියෙන් පෙනුණි”         (32 කවිය)

අම්මත් දුව වගේම යෝජනාවට කැමති වගේ… හීන් මැණිකෙත් හරිම සතුටින්, පුංචි කාලෙ ඉඳලා අඳුරන අදිරිවම හිමි වෙන්නයි යන්නෙ.

 

“මින්පසු ගතවුණේ එක් සතියක් පමණි

දැන් අදිරියන්ගේ ගෙයි රූපත් තරුණි

උන් දෙන්නාට කීවොත් උවමක් පැරණි

රන් රස එකට එක් වූවට නැත දෙවැනි”       (34 කවිය)

හැම දෙයක්ම ලස්සනටම ලෑස්ති වෙනවා. පිය සෙනෙහසත් නැතිව අම්මා එක්ක හැදී වැඩුණු කෙල්ලට ආදරබර තාත්තා කෙනෙක් වගේ බොහොම ළෙංගතු සැමියෙක් හිමි වෙනවා. හීන්මැණිකෙ බලාපොරොත්තු වෙච්චි අදිරිම එයාට විවාහ කරගන්න අවස්ථාව, වාසනාව ලැබෙනවා. දැන් ඉතිං අදිරිත් එක්ක ඒ ගෙදර බොහොම ආදරයෙන් සතුටින් එයා ඉන්නවා.

දහසක් හීන තුරුල් කරගෙන තමන් පැතූ ආදරවන්තයත් එක්කම විවාහ වෙන්න ලැබීම කොයි තරම් නම් වාසනාවක් ද… සැනසීමක් ද… ඒ පින්බර රස විඳින්න පේවෙන හීන්මැණිකෙට……..

හීනෙකින්වත් නො හිතපු දෙයක් තමයි එකපාරට වෙන්නෙ. සෙනෙහෙබර අදිරිට මැලේරියා වසංගතය තදින්ම වැළඳෙනවා හිටිහැටියෙම. මේ අතරෙ තමයි කුළුඳුල් මව්පදවිය ලබන්නෙ හීන්මැණිකෙ. ලස්සන පුතෙක්. හැබැයි ඒ පැටියා අන්ධ බබෙක්. හිතා ගන්න බැරි කඩා වැටීමක්, හීන්මැණිකෙට කර කියාගන්න දෙයක් නැති වෙනවා.

බලාපොරොත්තු ඇස් ඉදිරියෙම සුණු විසුණු වෙනකොට…..

“විපතට විපත හමුවන තැන මහ විපත

දුකකට හේතු විය මැණිකෙගෙ දරු උපත

දුක් විය යුතු නොවේ ඇසුමට මේ පුවත

උපන් දරුවාට අයියෝ නැත දෙනෙත”          (40 කවිය)

 

බැරි බැරි ගානෙ අදිරි කොළඹ යනවා, වෙන දෙයක් නිසාම නෙමෙයි, පවුල රැක ගන්න ඉක්මනින් රස්සාවක් හොයාගන්න ඕන නිසා. හීන්මැණිකෙ ඩිංගක්වත් කැමති වෙන් නෑ තමන්ගෙ ආදර, එවගෙම රෝගී හිමියන්ට පිටත්වෙන්න දෙන්න. අර තරුණ කෙල්ලගෙ ආදරයට අකැමැත්තෙන් හරි දුරස් වෙන්න වෙනවා… . ඒ හැම දෙයක්ම මැදින් හීන්මැණිකෙගෙ උත්සාහය බලන්න, උවමනාව බලන්න. මේ තරුණ කෙල්ල, පුංචි පුතාව බලන ගමන් කඩයප්පන් හද හද කඩේට දානව. හරි අපූරු ගෘහණියක් නේද! කොච්චර නම් ආදර්ශවත් ද… අධිෂ්ඨානය, කැපවීම..

“මැණිකේ මුල පටන් සකසුරුවම දන්නා

කඩයප්පන් තනා ජීවිත රැකගන්නා

සිය හිමියගේ තිරසර ආලය දන්නා

වෙනස් නොවන බව අදහාගෙන ඉන්නා”         (53 කවිය)

 

තවත් අවුරුදු අටක් ගෙවිලා ගියා……

හීන්මැණිකෙයි, පුංචි පුතයි, අංගොහාමියි තාමත් මේ ගෙදර. පැටියගෙ අප්පච්චි තවම නෑ.. ගම පුරා කතන්දර, “අදිරි මළා, මිනිය දැක්කා, පත්තරෙත් තිබ්බා, ලියුමක් ආවා, ටෙලිපෝන් එකෙන් කීවා” ඉවරයක් නැතුව. මේවා ඇහෙනකොට කොහොම ඉවසා දරා ගන්න ඇද්ද මේ තරුණ කෙල්ල… කොයි තරම් ද කීවොත් අංගොහාමිත් දිනපතා හීන්මැණිකෙට බෙරිහන් දෙනවා තියෙන ආදරේ නිසාම, දුව දවසක තනිවෙයි කියලා බයටම. “වෙනිං කෙනෙක් හොයාගන්න, ආයෙ පෙළවහක් වෙන්න” කියලා. පණ වගෙ ආදරෙ කරන අදිරි වෙනුවෙන් පතිදම් රකින හීන්මැණිකෙ කවදාවත් එහෙම දෙයක් හිතුවේ නෑ.

“අම්මේ මොන බොරුද ඔය පළ වන ඕවා

නිදුක් නිරෝගිව ඔහු ජීවත් වේවා

මේ බොරු ආරංචි මින් පසු මා ගාවා

නොකියන්නැ’යි මැණිකෙ ඉකි ගසමින් කීවා”              (68 කවිය)

 

“ගත වූ කල මුළුල්ලේ මොන යම් දීගේ

කට හෝ දොනි බැඳුමට තැත් කළ ඈගේ

අදහස හරි නොයන්නෙන් මව මැණිකේගේ

ගිය පස් නොපාගන්නට යළි මේ ගේ”                          (69 කවිය)

කියලා කියලා බැරිම තැන අංගොහාමි ගෙදරින් පිටත් වෙනවා..

 

දැන් දැන් හීන්මැණිකෙටත් දැනෙනවා හරි අසරණ බවක්, බයක්. හැමෝම කියනවා වගේ අදිරි අන්තරා වෙලා ද, ඇස් නොපෙනෙන පුංචි පුතාවත් තනියම බලාගන්න අමාරුයි. අම්මා කෙනෙක් විදියට ඇත්තටම අසරණයි ගොඩක්. දහසක් හීන මවපු, ලස්සන ජීවිතයක් ප්‍රාර්ථනා කරපු, මේ කෙල්ලගෙ ජීවිතය දැන් කනගාටුව, දුක, බය පිරිච්ච හරිම නීරස තත්වයක් වෙලා. හරියටම කීවොත්, අර පුංචි බබා වෙනුවෙන් තමයි මැණිකෙ දැන් ජීවත් වෙන්නෙ.

ඕං ඔහොම ඉන්නකොට තමයි ආයෙමත් හීන්මැණිකෙට වසන්තය උදා වෙන්නෙ…

“නෙත් අඳ බබා ඔහුගේ හිතවතා අද

ගෙට ආ බැවින් සතුටින් පිරි පිරී හද”            (74 කවිය)

පුංචි පුතා දැන් හරි සතුටින්. කවදාවත් නැති තරම්. මේ පැල්කොටේට ළඟදි ඉඳන් එන අමුත්තා නිසා. ඉතිං හීන්මැණිකෙටත් හරිම සතුටුයි. ඒ සතුට නිසාම  කඳුළින් පිරුණු හදවතෙත් ආයෙම පෙම් මල් පිපෙන්න පටන් ගන්නවා.

 

ඒ දේවල් කොහොම උනත්, හීන්මැණිකෙගෙ හිතට හරිම දෙගිඩියාවයි. අදිරිට දුන් සෙනෙහස, ජීවිතය, ආයෙම ගන්න ආයෙම තව කෙනෙක්ට දෙන්න මොකද්දෝ මැළි බවක් දැනෙනවා… ඉතිං, මේක නෙමේ ද පතිවත කියන්නෙ… බලන්න කොයි තරම් හෘද සාක්ෂියට එකඟ අවංක ලස්සන පතිනියක් ද කියලා.

“ඔහු මළ පුවත ඇසෙතත් මට හැමතැනම

මම විස්වාස නොකරමි මැතිඳුණි තවම

අවුරුද්දක් බලා ඉන්නට මට මෙහෙම

දෙතොත් කියන්නම් ඉන්පසු මගෙ හැඟුම”               (82 කවිය)

 

“මින් පසු ගත් වුනේ එක් සතියක් පමණි

දැන් ටිකිරිගෙ වලව්වේ රූපත් තරුණි

උන් දෙන්නට කීවොත් උවමක් පැරණි

රන් රස එකට එක් වූවට නැත දෙවැනි”                (115 කවිය)

 

තවත් අවුරුද්දක් ආදරබර අදිරි වෙනුවෙන් මඟ බලා ඉන්න හීන්මැණිකෙ, බොහොම අමාරුවෙන් හිත හදාගෙන, තමන්ටත්, ඇස් පේන්නෙ නැති පුංචි පුතාටත් එක වගේ ආදරය කරන බෝසත් ගුණ පිරුණු ටිකිරි එක්ක ආදරයෙන් බැඳෙනවා. අලුත් ජීවිතය අලුතින්ම සෙනෙහසින්ම පටන්ගන්නවා.

 

“සතුටින් සැපෙන් කල් යවනා මේ දෙන්නා

දෙනුවන් සදිසි කොට අඳ පුතු රැක ගන්නා

දුටුවන් නුවන් සිතුවන් මන් හැර ගන්නා

මොහු දෙන්නා නිසා කටුරොද බබළන්නා”        (116 කවිය)

 

හැම දෙයක්ම යහපත් විදියට වෙනවා. පුංචි කැදැල්ල ආයෙත් රසයෙන්, සතුටින්, සිනහවෙන් ඉතිරෙනවා. පුංචි පැටියාත් දැන් හරිම සතුටින්. ඉතිං හීන්මැණිකෙට තවත් මොනවත් තියෙයි ද… මේ තමයි එයාගෙ ජීවිතය…

පුංචිම කාලෙ පිය සෙනෙහස අහිමි වෙනවා. ඒ කියන්නෙ කනගාටුවෙන් ගතවෙන කාලයක්. ගෑනු ළමයෙකුට එතකොට දැනෙන අනාරක්ෂිත බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ උනත් ඉතිං, අම්මත් එක්ක බොහොම ආදරයෙන්, සතුටින් ළමා කාලය ගතවෙනවා. කෙළිදෙළෙන් ළමා කාලය රස විඳිනවා. තරුණ වයසට එළඹෙද්දිම හිත ඉල්ලපු තරුණයාව දිනාගන්න වරම් ලැබෙනවා. විවාහයත් ඊට නුදුරේදීම සිදු වෙනවා. හිත සතුටින් පිරිලා ඉතිරිලා යනවා. පරණ කඳුළු සේරම හරි. ඕං තවත් සුබ ආරංචියක් ! මව් පදවිය ලබන්නයි සූදානම. හිතේ සතුට, අභිමානය කියා ගන්න බැරි තරම්.

එතකොටම ආදර ස්වාමියා අසනීප වෙනවා. හීන් මැණිකෙට කියා ගන්න බැරි වේදනාවක්. ඊටත්, උපන්න දරුවා අන්ධ දරුවෙක්. අර තිබුණ සතුට, බලාපොරොත්තු එහෙම්පිටින්ම නොපිට පෙරළෙනවා. ස්වාමියා මිය ගිහින් කියලා ආරංචි එනවා වටින් පිටින්. හිතාගන්නවත් බෑ. තරුණියක් නො විඳිනා දුකක් මේ තරුණ අම්මා විඳින්නෙ දැන්. කාලයක් දුක සේ ගෙවිල යනවා. හැබැයි හිත ස්ථාවරයි. පතිවත රකින ආදර්ශවත් අම්මා කෙනෙක්. හැබැයි පුංචි පුතා බලාකියාගන්න අමාරුයි තනියම. ඒ උනාට මවකගෙ චරිතය, යසෝදරාවකගෙ චරිතය නො පිරිහෙළා ඉටු කරනවා මේ අම්මා. ඔහොම තව කාලයක් යනවා ස්වාමියා ජීවතුන් අතර බවට කිසිම ආරංචියක් නෑ. හිත කඳුළින් පිරෙනවා. ඒ වගේම අන්ධ පුතාට තාත්තා කෙනෙකුත් ඕනනෙ. එතකොට තමයි හරිම ආශ්චර්යවත් විදියට අනිත් තරුණයා ගෙපැලට එන්නෙ. පුංචි පුතාට හරිම ආදරෙයි. කෑම බීම, සෙල්ලම් බඩු. ඉතිං පුංචි පුතා හරි කැමති මේ අමුත්තාගේ පැමිණීමට. මේවා දකින තරුණ අම්මගේ හිත ආයෙමත් හිනාවෙන් පිරෙන්න පටන් ගන්නවා. ආයෙමත් ඒ හිතට ආදර වසන්තය ළඟා වෙනවා. ඒ තරුණිය බලාපොරොත්තු වෙච්ච සතුට, සැනසීම ආයෙමත් හිමි වෙනවා.

ඕං ඔය තමයි හීන්මැණිකේගෙ කතාව. හිතාගන්නවත් බැරි විදියෙ කඳු බෑවුම් තැනිතලා පිරුණු හරි පුදුම හිතෙන චාරිකාවක් තමයි එයාගෙ ජීවිතය !!!

 

“වලව්වේ ඉදිරිපිට වත්තේ කොනක

අදිරිගෙ සොහොන් කොත ළඟ තැනු මල් පැලෙක

මැණිකෙයි අඳ පුතුයි ටිකිරියි හැම දිනෙක

මල් පහන් පුදනු කාටත් බැලිය හැක”                   (136 කවිය)

 

දකින්න විඳින්න නිවෙන්න….

 
Tagged : / / / /