සුදෝ සුදු – ටිකිරි බණ්ඩාර

Share

  • මං ලියාපු කවියකින්ම ආරම්භය ගන්නම්කෝ…

සොඳුරු ගමක් සිවුපද රස රැසින් සැදු

මිනිස් සුවඳ අට ලෝ දම මතින් බෙදු

සිහළ සිරිය  තෙළිතුඩගින් ලොවට පිදු

එදත් අදත් නොමියෙයි නම සුදෝ සුදු

 

සිංහල සාහිත්‍යයේ මං දැකපු ලස්සනම ‘පිරිමි හදවත’, ඔව් වෙන නම් මුණගැහිලම නෑ මේ වගේ, මේ තරම් උත්තම ‘මහත්මයෙක්’.

‘ටිකිරි බණ්ඩාර’ ගැන තමයි මේ සටහනින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ…

 

“ගමේ රාළහාමිගෙ පුත් වන ටිකිරි

බණ්ඩා තව ළදරුවා සත් වස සපිරි”       (2 කවිය )

 

“ගතින් දුබල මුත් ටිකිරිද නොනිවටය

නමුත් නිතර වූයේ ගුඩු ඇදුමටය”        (5 අවිය )

 

ගමේ රාළහාමිගෙ පුතා. ධනය, නිලය, බලය, ගෞරවය එක්ක සැපවත් ජීවිතයක් එයාට හිමියි. සමාජයෙ ඉහළ පැළැන්තියෙ තමයි උපත ලබන්නෙ.

දැන් වයසින් අවුරුදු හතයි. ගඟ ළඟ වැලිතලාවෙ තමයි යාලුවො දෙන්නත් එක්කලා සෙල්ලම් කරන්නෙ.

අත ප‍යේ ලොකුවටම හයි හත්තියක් නෑ ඉතිං. හැබැයි මොනවත්ම ලේසියෙන් අතාරින කෙනෙකුත් නෙමෙයි..

 

“‘හීන් මැණිකෙ මගෙ’ කියමින් කී ටිකිරි”       (7 කවිය )

සෙල්ලමට තමයි. නමුත්, පුංචි කාලෙදිම ටිකිරිගෙ හිතෙත් හීන්මැණිකෙ ගැන අදහසක් තියෙනවා. ආදරයක්ම නෙමෙයි. ළෙංගතු බවක්. සමීප බවක්…

පුංචි ළමයිට පැළැන්ති භේද නෑනෙ. කවුරුත් එකයි.

 

“ටිකිරි දැන ඉගෙන ගුණ නුවණින් මෝරයි”       (10 කවිය )

 

“ටිකිරි පොහොසත්ය නැණ ගුණ දෙක වැඩිය”         (17 කවිය )

කාලය හෙමින් ගතවෙනවා. ටිකිරි අධ්‍යාපනය යහමින් ලබමින්, සමාජයේ ස්ථාවරයකට එළැඹෙනවා. දැනුම, වත්කම් එක්ක ජීවිතය පහසුවෙන් ගලා යනවා.

 

ඔය අතරෙ හුට පට මහ ගොඩක් සිද්ද වෙනව. ටිකිරි සමහර දේවල් දන්නෙත් නෑ. තියෙන වැඩපළ, රාජකාරිත් එක්ක, එයා ඉතිං නිතරම සමාජයට විවර වෙන කෙනෙක් නෙමෙයිනෙ. ගම්මානයෙ කා අතරත් පිළිගැනීමක් තියෙන මහත්තයෙක් තත්වයට පත්වෙලා ඉවරයි දැන් ටිකිරි බණ්ඩා. බොහොම වැදගත් ගරුකටයුතු කෙනෙක් ඉතිං.

කොහොමහරි අවුරුදු ගානකට පස්සෙ……

 

“ඇඳුම් බැඳුම් හා තව රසවත් කෑම

ගෙන එන්නා කවුද ළමයට හැමදාම

බලාගන්ට මේ මගියගෙ පැමිණීම

මැණිකේ රැක සිටියා දවසක් මේම”         ( 57 කවිය )

හීන්මැණිකෙ විවාපත් වෙලා දැන් අවුරුදු හයකට කිට්ටුයි. අදිරිට වෙච්ච කරදරත්, ඒ අතුරුදන්වීමත්, උපදින පුංචි පුතාගෙ කනගාටුදායක තත්වයත්, හීන්මැණිකෙගෙ අසරණ බවත් ආරංචි වෙලා මේ මහත්තයා එනවා ඒ පුංචි ගෙපැලට. දැන් කීප දවසක්ම වෙනවා. එහෙම එන්නෙ හිස් අතින් නෙමෙයි. ඇස් අන්ධ පුංචි පුතාට කෑමබීම, සෙල්ලම් බඩු, ඇඳුම් වගේ දේවල් දීලා එයාව සතුටු කරලා යන්න. අදිරි, ඒ පුංචි කාලෙ යාලුවා වෙනුවෙන් කරන්න පුළුවන් උපකාරයක් කරන්න. බලන්න. කොයි තරම් නම් කළණ මිත්‍රයෙක් ද! කොයි තරම් උතුම් හදවතක් ද…

 

“ඔහු හා සැපෙන් උඹ වෙසෙතැයි තුටු වුයෙමි

වටින් පිටින් මම එබිකම් කර බැලිමි

මගෙ ආලයට නැගිටින්නට නොම දුනිමි

එතෙක් මෙතෙක් මම තනිකඩ බව රැකිමි”          (79 කවිය )

පුංචි සන්දියෙ හිතට දැනුණු ආදරය, ගඟ ළඟ වැලි තලාවෙ සෙල්ලම් කරද්දි සඟවාගත් අදහස්, ටිකිරි හරි පරිස්සමින් රැකගෙන ඉඳලා. හීන්මැණිකෙ දිහාව හොරෙන් හොරෙන් විපරම් කරලා. අදිරිත් එක්ක එයා සතුටින් ඉන්න බව දකිමින් සතුටු වෙලා. ඒ සතුට නිසාම ටිකිරි බණ්ඩාගෙ හිතෙ, හීන්මැණිකෙ ගැන අදහස හංගාගෙන ඉඳලා. නමුත් ඒ නිසාම ටිකිරි අවිවාහකව ඉඳලා තියෙන්නෙ. තනිකඩව හිතින් හීන්මැණිකෙට පෙම් බඳිමින්. බලන්න කොච්චර ලස්සන ‘අප්‍රකාශිත ආදරයක් ද’..

අදිරි ගැන නොයෙක් කතා දැන් ගම පුරාම! ආපහු එන බවක් තියා ජීවත් වෙන බවටවත් හෝඩුවාවක් නෑ. අදිරි මළ බවට නම් රාවයක් යනවා. තව තවත් හිතේ තියන් ඉන්න බැරි තැන ටිකිරි, හීන්මැණිකාගෙන් කැමැත්ත අහනවා. හීන්මැණිකෙ තව ඩිංගක් කල් ඉල්ලනවා.

“පුරා අට වසක් උඹ ගැන සිටිය මට

සැලකිය හැකිද එය දිග කාලයක් කොට

ඕනෑ තරම් කාලය ගත හැක ඔබට

කැප වී සිටින්නම් මම මැණිකෙගෙ නමට”          (83 කවිය )

ටිකිරිගෙ උත්තරය බලන්න, ඒ වචන ටික. කොයි තරම් නම් ඉවසීමක් ද… කොයි තරම් සංයමයක් ද… “මැණිකෙ ඇති තරම් කල් අරගෙන හෙමින් සීරුවෙ කියන්න. මට පුළුවන් මගෙ මැණිකෙ වෙනුවෙන් තව කාලාන්තරයක් උනත් ඉවසා ඉන්න”

සල්ලි, බලය, ගෞරවය මොනවායින් කියල අඩුවක් ද… ඒත් බලන්න කොයි තරම් නිහතමානී ද.. ඇරත් කණවැන්දුමියක් වෙනුවෙන් මෙච්චර ඉවසීමක්, මුදුවීමක්…

හරිම අපූරුයි නේද !

ඕන්න. ගමින් ගොඩින් දැන් පටන්ගෙන කයි කතාන්දර. තටු ලබලා. ඉගිලෙන්න අරන්. හැමතැනකම මේ පුවත. “ගමේ රාළහාමිගෙ පුතා, අච්චර උගත්, පෙනුම තියෙන. සල්ලි ද, වාහන ද, ඉඩම් ද, තානාන්තර ද, මොනවද අඩු. කුමාරයෙක් වගේ ඒ පින්වන්ත මහත්තයා අර කණවැන්දුමීගෙ ගුබ්බෑයමට මොන එහෙකට රිංගනවා ද… ඔය වගේ උන් හින්දා අපේ වැදගත් මහත්තුරුන්ටත් වසන්න විදියක් නෑ. ‘මහත්තයා’ නම් මහත්තයා වගෙ ඉන්න ඕනෙ. තත්වය රැකගෙන. දහදුරා වැඩ නොකර.”

“වතුපිටි හරක බානා නිලතල තවද

ටිකිරි බණ්ඩාට මොනවායින් හිඟද

ඒකිගෙ පැල්පතට රිංගන්නේ මොටද

කුමාරිකාවක් බැඳ ගන්නට බැරිද”            (92 කවිය )

සාලිය අසෝකමාලා කතාව මතකෙට එන්නෙ එකපාරට. සමාජයෙන් මොන තරම් අපවාද ආවත්, ටිකිරි නෙමෙයි සැලෙන්නෙ. ටිකිරි දන්නවා මෙහෙම රාවයක් හැදෙන බව. එයාගෙ තත්වයත් එක්ක ගැමි සමාජය ඒ දිහා බලන, මනින කෝණය. මේ දේවල් නො දැන නෙමෙයි මෙයා. ඒ උනාට හදවත පිරිසිදුයි. අදහස උතුම්. වගෙම ස්ථාවරයි. ගම්මුන්ගෙ කතා කනකටවත් ගන්නෙ නෑ ඒ නිසා..

 

“ඔහු දෙස ඈ සෙනෙහෙබර බැල්මෙන් බැලුවේ

අදහස් ගොඩක් ඒ එක දෙනෙතින් හෙලුවේ

එතනයි සෙනේ ගඟ හරි හරියට ගැලුවේ

මලක් පිපුණ වාගෙයි ටිකිරිගෙ ඔලුවේ”        (114 කවිය )

 

“සතුටින් සැපෙන් කල් යවනා මේ දෙන්නා

දෙනුවන් සදිසි කොට අඳ පුතු රැක ගන්නා

දුටුවන් නුවන් සිතුවන් මන් හැර ගන්නා

මොහු දෙන්නා නිසා කටුරොද බබළන්නා”        (116 කවිය )

ටිකිරි, තමන් පරිස්සම් කරගෙන ආව ආදරය ඉවසීමෙන් බලා ඉඳලා, පුංචි කාලෙ ඉඳන්ම පෙම් කළ හීන්මැණිකෙටම පිරිනමනවා. ගමේ ගොඩේ කයි කතන්දර මායිමටවත් නොගෙන, හදවතට දැනිච්ච ආදරවන්තියව පෙළවහ කර ගන්නවා. හැම දෙයක්ම ආදරයෙන්ම, ලස්සනටම ගලාගෙන යනවා. ඇස් නොපෙනෙන අදිරිට දාව උපන් පුංචි පුතාවත්, කිසිම වෙනස්කමක් නො කර තමන්ගේම දරුවෙක් වගේ රැක බලා ගන්නෙ. ආදරබර තාත්තා කෙනෙක්. සෙනෙහෙවන්ත ස්වාමියෙක්.

 

“අඳ පුතු ටිකිරි උකුළෙහි සුරතල් පෙන්නා

රසවත් මිහිරි කවියක් කියමින් උන්නා

මැණිකේ ටිකිරි හා පිළිසඳරේ ඉන්නා”        (126 කවිය )

ගෙයි ඇතුළෙ මොහොතක්. පුංචි පුතයි, අම්මයි, තාත්තයි. තාත්තා! ඔව් ඔව්. තාත්තා. ටිකිරි තමයි ඒ දරුවාගෙ තාත්තා. කිසිම වෙනසක් අඩුවක් නො කර බොහොම ආදරයෙන් බලා ගන්න ලස්සන. ගේ පුරා කතාබහ. සිනාහඬ. හරිම සුන්දරයි. ටිකිරිගෙ පැමිණීමත් එක්ක හැම දෙයක්ම අලුත් වෙලා. හැමෝම සතුටින් පිරිලා. ඒ ජීවිත පාට වැටිලා.

 

පොඩි කාලෙම ටිකිරිගෙ හිතේ උපදින්නෙ හීන්මැණිකෙ ගැන අදහසක්. යාළුවොනෙ ඉතිං. නමුත් කාලයත් එක්ක හිතුවෙවත් නැති විදියට හැම දෙයක්ම වෙනස් වෙලා. හීන්මැණිකෙ, අදිරි එක්ක විවාහ වෙලා දරුවෙකුත් ලැබිලා. නමුත් ටිකිරි බණ්ඩා තවම අවිවාහකයි. ඇයි… එයාගෙ හිත හීන්මැණිකෙ ගාව තවමත්, අන්සතු උනත්. එහෙම කියලා කවදාවත් ඇඟෙව්වෙ නෑ මොනවත්ම. බලපෑම් කළේ නෑ මොනම විදියකින්වත්. කොටින්ම ඇඟෙව්වෙවත් නෑ. හීන්මැණිකෙ දිහා එයාටත් හොරෙන් හොරෙන් බලමින්, ඒ පවුලෙ සතුට, එකමුතුව දකිමින්, ටිකිරි සතුටු උනා. ටිකිරි බණ්ඩාට තිබුණු ආර්ථික, සමාජයීය, ගෞරවනීය වටපිටාවත් එක්ක වලව්වකින්ම කුමාරිහාමි කෙනෙක්ම පෙළවහක් කරගන්න පුළුවන්කම තිබුණා පහසුවෙන්ම. හීන්මැණිකෙ එක්දරු, ඒත් අන්ධ දරුවෙක් එක්ක කණවැන්දුම් වෙලා අසරණ උනාම ටිකිරි බණ්ඩා කවමදාවත් දොසක් කීවෙ නෑ. රිදෙන, තැවෙන හීන්මැණිකෙගෙ සියුම් හිත තවත් රිදවන්න ටිකිරිට කොහෙත්ම බැරි උනා. ‘ආදරය’ කියන මහා ඖෂධය හිත පිරෙන්නම, දුක නිවෙන්නම එයා ලබා දුන්නා. පුංචි පැටියාට තාත්තා කෙනෙක්ම උනා. සල්ලි, උගත්කම, නිල බලය හැමදෙයක්ම හීන්මැණිකෙගෙ ආදරය ළඟ දෙවෙනි කළා. කලින් විවාහ වෙලා, එතනින් දරුවෙකුත් බිහි කරලා ඉන්න ‘ගැහැණියක්’ කියන කතාව මුළුමනින් අමතක කළා. ඒ තරම් සංවේදී උණු වෙන හදවතක්. කරුණා උල්පතක්. ගමේ ගොඩේ කතන්දර හැදෙන බව දැන දැනත්, ඒ මොනවත්ම තැකීමක් කළේ නෑ. හීන්මැණිකෙ සහ ඇස් පේන්නෙ නති පුංචි දරුවා වෙනුවෙන් හැම දෙයක්ම කැප කළා. ආදරය වෙනුවෙන්, ඉවසීමෙන් හැම දෙයක්ම දරා ගත්තා…

ඉතිං, කටුරොදේ ටිකිරි බණ්ඩා උපතින් වගේම ක්‍රියාවෙනුත් පොහොසත් ‘මහත්මයෙක්’ කියන්න තවත් කරුණු කාරණා ඕනෙද!

 

“වලව්වේ ඉදිරිපිට වත්තේ කොනක

අදිරිගෙ සොහොන් කොත ළඟ තැනු මල් පැලෙක

මැණිකෙයි අඳ පුතුයි ටිකිරියි හැම දිනෙක

මල් පහන් පුදනු කාටත් බැලිය හැක”                 (136 කවිය)

 

දකින්න විඳින්න නිවෙන්න…

 

 
Tagged : / / / /