ගෞරවණීය ගුරු දිනය

Share

ලංකාවෙ අපිට නම්, ඔක්තොම්බර් හයවෙනිදා කියන්නෙ, අමතක කරන්න බැරි බොහොම සුවිශේෂී  දවසක්. කැලැන්ඩරයේ දිනයක් වෙන් වෙලා තිබුණට, මේ දවස විතරක්ම නෙමෙයි, හැමදාමත් ඒ ගුණ සුවඳ, බැති ළැදියාව, ගුරු ගෞරවය අපේ හදවත් වල වෙනසක් නොවී ඒ විදිහටම පවතිනවා. මොන්ටිසෝරියෙන් පටන් ගනිපු ඒ ගමන, ඉස්කෝලෙ, දහම්පාසලෙ, පන්තියෙ වගෙ හැම තැනකදිම දැනුමින්, ආකල්ප වලින් පෝෂණය කරල ඉස්සරහට ඇවිද යන්න පාර පෙන්නුවෙ ඔය උතුමන්ලා තමයි.

සදාදරණීය  ගුරු මව්වරුණි, ගුරුපියවරුණි, නිදුක් නීරෝගී සුව පිරේවා! ජය, සතුට වාසනාව සපිරේවා!

 

අතොරක් නැති වහිනා මොර සූරන වැස්සක

ඉඳි කටු සැර දිය වදිමින් නොමැතිව පිහිටක

කුඩයක් සේ විහිදුවලා සලසා සුව රැක

ගුරු උත්තම තුටින් පිනෙති සිසු දියුණුව දැක

 

දුම පිරිලා මොකුත්ම නොපෙනෙන තැනෙක

ටිකක් තදින් සුළං හමා ආ විටෙක

දුම සැඟවීලා පැහැදිලි වන ලෙසක

ගුරුවරු දුරලති වස් දොස් හැම සිතෙක

 

තිත්ත කරුවලේ තරු නැති මහ රැයෙක

වළා තෙරින් නික්මී එන පුන් සඳෙක

අඳුර නසාලයි එළියෙන් එක සැනෙක

ගුරු දෙවිවරු පායති ලොව හැම දෙසෙක

 

උණුහුම දරන්නට බැරි මහ පිපාසාවක

හුස්ම පොදත් ගිනියම් වූ අවස්ථාවක

නිල් දිය පිරි විල්තෙර බඳු සිසිළසින් දුක

ගුරු මව්පිය වරු දුරලති සිසුන්ගේ නෙක

 

දුක් විපතෙදි යැද්දේ සක්දෙවි පඬුපුලට

සිතු පැතු හැම වස්තුබෝග දෙන කප්තුරට

වාසනාව දෝතින් ගෙනදෙන කළුනිකට

මෙහැම සැපත් පරාදයිනෙ ගුරුවරු නමට

 

උපමා කීවත් කොපමණ ගළපාලා

පද වැල් ලීවත් තව තව අමුණාලා

අපමණ වැයුවත් බැතියෙන් පිහිටාලා

නිම කරන්න බෑ ගුරු ගුණ පවසාලා

 

රාජකාරිය දේවකාරියටත් වඩා මුළු ළය තෙදින්

සිප්ගඟුළ මෙත් රසය පුබුදා පෙව්වෙ පිරිතිරි සෙනෙහසින්

ගුණදමින් සිරි මනුදමින් සරි හෙටක් තැනුමට එකසිතින්

ඉතින් අවසර වඳින්නට පා යුග ගුරුන් පින් පුදදෙමින්

 

Photo Credits: Ishanka Deshapriya

 
Tagged : / /