“A TEACHER IS THE PERSON WHO CHANGES ALL I CAN’T INTO I CAN.”
ඒ අන්තර්ජාලයේ දී හමු වුණු හරි අපූරු වැකියක්. ඒ වැකිය ගැන සැලකිල්ලෙන් බලන්න අද හොඳම දිනය. ලෝක ගුරු දිනය.
ගුරුවරයා කියන්නේ කවුද? බොහෝ දෙනෙක් කියාවි ඔවුන් අපට විෂයන් උගන්වන පිරිසක් කියා. නමුත් ගුරුවරයෙක් සැබැවින් ම අපට වටහා දෙන්නේ හුදෙක් විෂයන් පමණක් ම නොවේ; ජීවිතය… ඔවුන් අපට කියා දෙන්නේ ජීවිතය යි. වරක්, ගුරුවරයෙක් වශයෙන් සොක්‍රටීස් පඬිතුමා මෙසේ පවසනවා.
“I CAN’T TEACH ANYBODY ANYTHING. I CAN ONLY MAKE THEM THINK.”
ඇත්තට ම ගුරුවරුන් අපට උගන්වන්නේ නැහැ. ඔවුන් අප ව සිතීමට හුරු කරනවා. අපේ ගුරු මව්වරු පියවරු අපිට උගන්වන්නේ නිතර ම ප්‍රශ්න නගන්න, හේතු සොයන්න, ගවේෂණය කරන්න, ඒ වගේ ම හොඳින් හිතන්න.
භාරතයේ ශ්‍රේෂ්ඨ නායකයෙක් වුණ අබ්දුල් කලාම්තුමන් ගුරුවරුන් වෙනුවෙන් වදන් වෙන් කරන්නේ මෙන්න මේ විදිහට.
“පුද්ගලයෙකුගේ චරිතය, තත්ත්වය සහ අනාගතය ඔප මට්ටම් කර බබලවන උතුම් වෘත්තියෙහි නියැලෙන්නා ගුරුවරයා යි.”
ගුරුවරුන්ට පුළුවනි මහා වියළි කාන්තාර වනාන්තර කරන්න. එය සැබැවින් ම ඉතා අසීරු කාර්යයක්. කාන්තාරයක් පුංචි පැළවලින් සරසවන්න ඔවුන් දරුවන්ගේ ‘3H’ කියන සාධක තුන ම වර්ධනය කරවනවා. මොනවා ද මේ 3H ?
- HEAD
- HEART
- HAND
මතු දිනෙක මහා විශාල රුක්ෂයන් වැජඹෙන්නේ; හිස, හදවත සහ හස්තය යන සාධක ත්‍රිත්වය දියුණු කරවීමට වෙහෙස වී කැපවෙන උතුම් ගුරු භූමිකා හේතු කොට ගෙනයි.
ගුරුවරුන්ගේ වටිනාකම පැවසීමට එක් උදාහරණයක් තමයි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ කියමන.
“මම මගේ දෙමව්පියන්ට ණයගැතියි, ඔවුන් මට ජීවිතය දුන් නිසා… මම මගේ ගුරුවරුන්ට ණයගැතියි ඒ ඔවුන් මට හොඳ ජීවිතයක් දුන් නිසා…”
අපිට අපේ මව්පියන් ලබා දුන් ජීවිතය නමැති චිත්‍රය පාට කරලා ලස්සනට හැඩ කරලා ගන්නේ අපේ අම්මා තාත්තාට ම සමාන අපේ මිස්ලා සර්ලා. ඔවුන් තමයි අපේ ලෝකෙ දක්ෂතම නායකයෝ. ඔවුන් අන් සැම අයෙකුට ම වඩා වෙනස්.
මට මතකයි මගේ උසස් පෙළ ගුරුතුමා දිනක් අපිට කවියක් කියලා දුන්න හැටි.
“දඬු දෙක මාගේ ය වරපට නුඹගේ ය
දඬු දුන්නේ මමයි දඬු බැන්දේ නුඹ ය
ඒ දඬු මතින් ඉහළට නැංගේ නුඹ ය
දඬු දෙක දරා තව බිම ඉන්නේ මම ය.”
මේ තමයි අපේ ගුරුවරු. ඔවුන් අපිට දෙන්නේ දැනුම නමැති දඬු. ඒ ශක්තිමත් දඬු තවත් ශක්තිමත් කරගෙන ඉනිමගක් හදා ගන්න එක අපේ වගකීම. දවසක අපි ඒ ඉනිමගේ මුදුනට ම ළං වෙද්දි අපේ ගුරුවරු ඇස්වල සතුටු කඳුළු පුරවගෙන ඒ දිහා බලන් ඉඳීවි. ඔවුන් තමයි අපේ දැනුම් සාගරයේ හදවත. ඔබ යම් දිනෙක ඉනිමගේ ඉහළට ළඟා වූ විට කිසි දිනෙක ඊට පයින් ගසන්නට එපා. තවමත් ඔබේ ගුරුතුමා ඉනිමග දරාගෙන ඔබ වැනි ම වූ තවත් මුව පොව්වන් සිප් කිරෙන් නහවමින් ඒ අසල ඉඳීවි. ඔවුන් අප ගැන තබන විශ්වාසය, බලාපොරොත්තුව අපේ අනාගත ජයග්‍රහණයන්ගේ අඩිතාලම යි.
ඉසුරු, සුව පහස හැර දා…
කටුක දුක් නිති ගැහැට වළඳා…
සියල් සත වෙත පතල කුළුණින්,
ලොව පහන් පියසක් කරන්නට,
ඥානය ලැබ දුන්…
උතුම් මිනිසුනි… අපේ සදාදරණීය ගුරු මව්වරුනි පියවරුනි…
ඔබ සියලු ම දෙනා දීඝායුවෙන් දිගුකල් යෙහෙන් වැජඹේවා !!!
Written By Sahashra Dinasiri
Image credit :
Image 1 : https://bit.ly/3jqicAp
Image 2 : https://bit.ly/3ng68UH