The blind wife (දෙවෙනි කොටස)

Share

ජීවිතයේ මෙතෙක් දුර තනි ව නාවත්, මම මියදෙන්නේ තනි ව ම බව මනා සේ දැන සිටි නිසා අප්පච්චීගේ කාරුණික ඉල්ලීමට සවන් දී ඔහුගෙන් මම සමුගැනීමට එදා තීරණය කලා. මෙලොව දී අයෙකුට සිදුවිය හැකි විශාල ම අහිමි වීම තම දරුවන් අහිමිවීම නම්, මා ඒ අහිමිවීමට මුහුණ නොදුන් නිසා, තවමත් පින්වන්තියක ලෙසින් මා විසින් මම හැඳින්වූවා.

අප්පච්චිගේ දැඩි ඉල්ලීම මා විවාහ වීම වූවත්, ඒ වන විටත් මම විවාහය හා ප්‍රේමය යන බැඳීම් සියල්ල අත්හැරීම නම් වූ ශක්තිමත් තීරණයක එලබ සිටි නිසා හා තනිව වාසය කිරීම මනා කොට සැළකීම නිසා, මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකින් ලද ශිෂ්‍යත්වය පිළිගෙන, සියල්ල අත්හැරීමට, මම ශක්තිමත් වූයෙමි.

මාගේ විදෙස් ගමනට අවශ්‍ය වූ සියලු කටයුතු සම්පාදානය වූ පසු එක් මැයි මසක බදාදා දිනක මමත් මගේ අප්පච්චීත් පියාණන් හා දූ ලෙස ජීවිතයේ ගතකල අවසන් දිනය උදා වූ බව මම අදට ද සිහිපත් කරන්නේ වචනයෙන් ලියා හෝ කතාවකින් කියා හෝ අවසන් කල නොහැකි වේදනාවකින්. එදා අප්පච්චීගෙන් දුටුවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ම ය. ඔහුහේ නිහැඬියාව බිඳ මා මගේ කතා බහ ආරම්භයට සූදානම් වූවත් ඔහු කිසිවක් නොකියා මට පිටු පාන්නට ඇත්තේ මා ඇති දැඩි කරන්නට ඔහු ලද මහා පරිශ්‍රමයත් ඔහුගේ සිත නොතලා ජීවත් වන්නට මා දැරූ ආයාසයත් ඉදිරිපිට තවමත් නිවන් නොලද ඔහු හඬා වැටේයැ යි බියවූ නිසා වියයුතු යි. නැවත මේ අපිරිසිදු සසර ඔහු අල්ලා ගනී යැයි බිය වූ නිසා වියයුතු යි.

ජීවිතයේ ඒ වන විට මට සිටි එකම සහ හිතවත් ම පුද්ගලයාගේ සමුගැනීම ඉදිරිපස මා අසරණවූවත් ඒ බව ඔහුට නොකියා සිටීමට මා එක් සිත් ව තීරණය කර තිබූ නිසා සියලු දුක් හා වේදනා නොහඬා උහුලන්නට වගබලා ගත්තෙමි. ඒ නිසා ම, ඔහුගේ නිහැඬියාවට ගරු කරමින් මා මගේ කාමරයට ගොස් ඉක්මන් නින්දකට සූදානම් වන්නට තීරණ කලෙමි.
දිනක් ඔහු මට මේසේ කියා සිටියා “දූ දැන් මට ඉස්සර වගේ ආදරේ නැත්ද මන්දා… දුව ජීවිතේ හරිම අවදානම්. ඒ අවදානම් ජීවිතයේ යන එන මග තොට තනිව යන්නට එන්නට නොහැකි වූවත් ඔබ අල්ලාගන්නා දෑත සවිමත් පවිත්‍ර එකක් වෙන්නට ඕනා, මගේ දුවේ”
එදා ඔහු දැන සිටි සත්‍ය මට කලක් ගත වී පසක් වූ දා ඔහු මට “මා ඔබට පෙර දිනක මේ කතා මේ අයුරින් කියූවා නොවේ ද??” කියා නොඅසන්නට තරම් කරුණාවන්ත වීම අදටත් මා පුදුමයට පත් කරන්නකි.
ඒ බදාදා රාත්‍රිය ඉතා දිගුවීමත්, ඒ දිගු රාත්‍රිය පුරා මා නිදි නොලැබීමත් නිසා පසුදා උදෑසන අවදිවීමට කල්වෙලා ගතවූ නිසාත්, අප්පච්චී ඒ වන විටත් අපේ නිවසින් සමුගෙන තිබුණි.
වෙනදා මෙන්, එදා ද කිරි තේ සාදා මගේ කෝප්පයට වත් කර එහෙත්, වෙනදාක නොවන අයුරින් ඒ අසළ පුංචි ලියමනක් ඉතිරි කර මට සමු දී තිබුණි.

ආදර ලොකු දුව…

අද මා ඔබට ලොකු දුව කියා අමතමි. ඒ ඔබ ඉතාමත් ම ශක්තිමත් ස්ත්‍රියක් බව අද මට පසක් වූ නිසාවෙනි. උපන්දා පටන් අනේක විධ සැප සම්පත්, වතු පිටි, මිල මුදල්, යාන වාහන, දැසි දස්සන් පිරිවරාගෙන ඔබ ගතකල ජීවිතය දෙස හැරී බලන විට ඔබ ගත් සියලු තීරණ අභියස ඇති ඔබේ ශක්තිමත් භාවය ඉදිරිපස මා සතුටුවෙමි. ඒ මා ඔබ වැනි බෝසත් දුවක් තැනූ නිසාවෙනි.

මා දෙසතියකට පෙර ඔබ අතට පත්කල ඉඩ කඩම් වලින් වැඩි කොටස ඔබ අම්මාගේ නමින් පන්සලට පූජා කල බව මා දැන ගතිමි. තවත් කොටසක් අක්කාගේ නමින් ඇය වෙත පවරා ඇති බවත්, ඉතිරිය මාගේ ප්‍රාණය පවතින තුරු මා වෙතම පවරා ඇති බවත් මම දැනගත්තෙමි.

මා ඔබ වෙත ඉතිරි කල සුළු මුදල පමණක් අත ඇතිව ඔබ කොහේ යන්න ද කොහොම යන්න ද කියා මම නොදනිමි. එහෙත් ඔබේ සියලු තිරණ මම උසස් කොට සළකමි. ඔබට යම් මොහොතක මුදල් හෝ දේපළ අවශ්‍ය වේ නම් ඔබේ නමින් මා ඉතිරිකොට ඇති ධනය නැන්දණියගෙන් ඔබට ලැබේවී.
ඔබ තනිවී ඇත. එහෙත් මම ඔබ තුළ ජීවත් වෙමි.
යන එන මග තොට කරදර බහුලයි. ප්‍රවේශමෙන්…..
ආදර අප්පච්චී..

මා නිවසේ ප්‍රධාන දොරටුව වෙත දිවගිය ද, එතනින් ගේට්ටුව අසළට දිවගිය ද මට ඔහුගේ ඇඟිල්ලක්වත් දකින්නට නොතිබුණි. මා මගේ පණටත් වඩා ගරු කොට සැලකූ මගේ සිත නොරිද්දූ එකම පුරුෂ චරිතය මා අත හැර මේ අයුරින් සමුගැන්ම මා දින කීපයකට උන්මත්තක කල බව පැවසිය යුතු යි.