The blind wife (තුන්වෙනි කොටස)

Share

නමුත් සතියක පමණ කාලය ගතවීමත් සමඟ ම මා අවබෝධ කරගත්තේ මිනිස් ආත්මයක් ලැබීම ඉතාමත් ම අපහසු බවත් එය පින්වත් කොටසකට පමණක් ලැබැන්නා වූ බවත් ය. එනිසා අප්පච්චීට ගිහිගෙය හැරයන්නට ඉඩ ප්‍රස්තා ලබා දී මහා පුණ්‍යකර්මයක් සිදුකරගැනීමේ සතුටින් ලංකාව අත්හැර පැමිණි ආකාරය වසර ගණාවක් ගතවූ තැන, අදටත් මා සිහිකරන්නේ සතුටින් මිස දුකකින් නොවන බව ලියා දැක්විය යුතු යි.

ලංකාව අත්හැර බ්‍රිතාන්‍ය බලා පිටත්වීමට දින කීපයකට පෙර මගේ සියලු ගමන් මළු සූදානම් කරගත්තෙමි. එහි දී මගේ සියලු ඇඳුම් ආයිත්තම් එක් ගමන් මල්ලක ද දින කීපයක ආහාර තවත් ගමන් මල්ලක ද සූදානම් කරගත් අතර වෙන ම විශේෂිත ගමන් මල්ලක අතීතයේ සියලු මතක ද අහුරා ගත්තෙමි. ඒ මතක පින්තූර කීපයකට පමණක් සීමා වූ අතර ඒවා නම් අම්මාගේ පින්තූරයක්, අප්පච්චීගේ පින්තූරයක් අක්කගේ පින්තූරයක් අප සියලු දෙනා එක්ව පෙනී සිටි පින්තූරයක් හා නම් ගම් සඳහන් කිරීමට පවා අකමැති වූ සතර වැන්නෙකුගේ පින්තූරයක්. මතක සියල්ල එකට ඇහිරෙද් දී මට සිතුනේ මා තවමත් අතීතයේ ගිලී ජීවත් වන ස්ත්‍රී චරිතයක් බව පමණකි. එහෙත් ජීවිතයේ වඩාත් ම ඇලුම් කල චරිත තුන අත්හැරීමට තරම් මා ශක්තිමත් නොවුණ ද අම්මා මරණ ඉදිරියේ අසරණ වී මා හැර ගිය බවත්, අප්පච්චී බුද්ධ ශාසනය ඉදිරියේ ගරු කටයුතු ව මා හැර ගිය බවත්, අක්කා ඇගේ සැමියා ඉදිර්යේ අඳ වී මා හැර ගිය බවත්, ඔහු….. ඇය හමු වී අනුකම්පා විරහිත ව මා අත්හැර ගිය බවත්, ඒ සියලු අය නැවත කිසිදා මට හමුනොවන බවත් මා මනා සේ දැන සිටියා.

නමුත් අයෙක් ජීවත් වන්නේ අතීතය වර්තමානය හා අනාගතය නම් වූ අත්තිවාරම මත බැවින් ඔවුන් මට ජීවිතය දුන් බව මා ලියා තබන්නේ අපිරිමිත වූ ආදරයකින්.

ලංකාව අත් හැර බ්‍රිතාන්‍ය බලා පිටත් වීමට පෙර දින මගේ ජීවිතයේ අවසන් වරට මා අප්පච්චී මුණගැසී ආශීර්වාද ලබාගත්තා. ඒ මොහොත හා දිනය පිළිබඳ ව මා කිසිවක් නොලියන්නේ ඒ වේදනාව තරම් මාගේ ජීවිතයේ තවත් වේදනා නොලද නිසා. කිවයුත්තේ මගේ මුළු සසර ගමනට ම මා ඔහුගෙන් සමුගත් බව පමණි. ඒ මේ භවයේ දී ම ඔහු නිවන් පසක් කරගන්නට හැකිවන්නට මා පැතූ නිසා.
………………………………………………………………………………………..

මහා බ්‍රිතාන්‍ය, මා කුඩා කල සිට සිහිනයෙන් දුටු මාගේ සිහින රට. 1982 ජනවාරි 23 මා බ්‍රිතාන්‍ය ගුවන් තොටුපලට ලඟා වූයේ බ්‍රිස්ටල් බලා පිටත් වෙන්න. නිරිත දිග බ්‍රිතාන්‍ය දූපත් සමූහයේ විශාලතම නගර වූ බ්‍රිස්ටල් පනස් ලක්ෂයක පමණ ජනතාව වාසය කල තරමක් දුරට ජනාකීර්ණ නගරයක්.

ඇත්තට ම මම මෙහි ආවේ උසස් අධ්‍යාපණය පමණක් ම අරමුණු කරගෙන, පුංචි දවස් වල පත්තර කෑල්ලක දැක්ක රජ පවුලේ හැඩකාර කුමාරවරුත් සිහි කරගෙන. එක ම එක දවසයි දැක්කේ එත් පත්තර කෑල්ලකින්. අම්මා කිව්වේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා.

තවත් විනාඩි කීපයකින් මම බ්‍රිතාන්‍යයේ. ඔව් මගේ සිහින රටේ. කිසිවෙක් නාදුනන කිසිවෙකුත් නැති රටකට මම තනියම.
ඔව්,
මම,
තනියම.
තට්ට තනියම. නමුත් ශක්තිමත් ව. මගෙ කකුල් දෙක මගේ බර දරාගෙන. මගේ සිත මගේ දුක් උහුලගෙන. මගේ මූණ සතුටින් පිරිලා හිනාවෙන් වැහිලා. තව මොහොතකින් මම මගේ සිහින රටේ.. මගේ සිහින දකින්නට.
ඔව් රජ පවුලෙන්
කුමාරයෙක්
කසාද බඳින්න.
නැහැ………… ඇත්තට ම
ලෝකයට දෙයක් කරලා අවසානයේ……… කෙසේ වෙතත් තව මොහොතයි මගේ ජීවිතය අලුතින් පටන්ගන්නට.
(ඉතිරිය පසුවට)