හමුවීම…

Share

එදා වැහිබර සිකුරාදාවකි. බස් නැවතුම පාලුවට ගොසින් ය. වෙනදා මෙන් පාසල් ශිෂ්‍යයින්, කාර්යාල සේවකයින්  අද නැත. හුදකලා වූ බස් නැවතු‌‌‌මේ තනිකම මකන්නේ මා පමණි. අතරින් පතර යන එන පදිකයන් කිහිප දෙනෙක් හැරුණු කොට මුළු වීදිය ම මූසල ස්වභාවයක් උසුලයි.

මම අත තිබූ පොත් ගොන්න දෙස බැල්මක් හෙළීමී. එහි ඉහළින් ම වූයේ විලියම් ශේක්ස්පියර්ගේ ‘රෝමියෝ සහ ජුලියට්’ ආදර අන්දරයේ පිටපතකි.

ආදරය… කිසිදා, කිසිවකුට තේරුම් ගත නො හැකි ප්‍රපංචය…

එහෙත් සැබෑ ලෙස ම ප්‍රේම කිරීමට, ප්‍රේමය යනු කුමක් දැයි කියා තේරුම්ගෙන සිටිය යුතුම ද?…මම කල්පනා කළෙමි. මට රෝමියෝ ජුලියට් නාට්‍යයේ සුප්‍රසිද්ධ සඳලුතල ජවනිකාව සිහි විය.

“මාගේ ප්‍රේමය මහා සාගරය මෙන් ගැඹුරු වෙයි. නුඹට මා ප්‍රේමය ලබාදෙන තරමට ම, මා සතු ව ඇති ප්‍රේමය ද නිතැතින් ම වැඩිවන්නේ ය. මන්ද, මා පුදනා ප්‍රේමයත්, මා සතු ව ඇති ප්‍රේමයත් යන ද්විත්වය ම, අනන්ත අප්‍රමාණ වන බැවිනි…”

සඳලුතලයේ සිටිනා ජුලියට් මෙලෙස රෝමියෝට පැවසූවත්, සැබෑ ලෙස ම තවකෙකුට අසීමාන්තික ව ප්‍රේම කිරීම කෙතරම් අපහසු ද? එහි ප්‍රතිඵලය කුමක් විය හැකි ද?

සිතුවිලි වලට බාධා කරමින් හැල්මේ ආ බස් රථයක් සීරුවෙන් තිරිංග තද කරන ලදින් මම එයට ගොඩ වීමී. සෑම දිනක ම වාගේ මෙදිනත් මාගේ නෙත් යොමු වූයේ රථයේ පි‍ටුපස ම අසුනේ පෙම් මුල්ලේ තනි ව හිඳ සිටි පියකරු යුවතිය වෙතටයි. තළෙලු පෙනුමක් තිබූ ඈ සතු ව දඟකාර දෑසක් ද දු‍ටුවන් වශී කරවන සිනහවක් ද විය. සුපුරුදු පරිදි අද ද ඈ සුදු පැහැති සාරියකින් සැරසී සිටියා ය. මා ඇය ළඟින් අසුන් ගතිමි.

“ඉතින් කසුන්, කොහොමද ඔයාට?”  සිරිත් පරිදි ඈ කථාව ආරම්භ කළා ය.

“හොඳින් ඉන්නවා.” මම කීවෙමි.

“කොහොම ද ඔයාට?”

“හොඳයි.”  ඇගේ පිළිතුර කෙටි ය.

බස් රථය නැවත හැල්මේ දුවයි.

“ඔයාට අද දවස මොකක් ද කියලා මතක ද?”  ඈ මා බලා⁣පොරොත්තුවෙන් සිටි පැණය නැගුවා ය. මම මුනිවත ‍රැක්කෙමි.

”අදට අපි වෙන් වෙලා අවුරුදු දෙකක්.” ඈ ම පිළිතුරු දිණි.

”’හ්ම්ම්…”

”ඒත් ඔයා තාමත් මාව හිතින් අමතක කරලා නැහැ නේද?” ඈ මගේ මුහුණට එබෙමින් ඇසුවා ය.

”බම්බලපිටියෙන් නැගපු අය ටිකට් ගන්න.” ඒ කොන්දොස්තරවරයා යි.

”කැම්පස් එකට එකයි.” මම රුපියල් විස්සක් දිගු කරමින් පැවසීමී.

”කෝ මං අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න.” ඈ නැවතත් අසයි. ඇගේ කටහඬ පෙරට වඩා දැඩි ය. ”ඔයා මාව හිතින් අමතක කරලද තියෙන්නේ?”

”නැහැ, නිරෝධා… නැහැ.” මම නොරිස්සුම් ස්වරයෙන් පිළිතුරු දුනිමි.

”හ්ම්ම්…” ඈ සුසුමක් සැලී ය.

”කසුන්, කරුණාකරල මාව අමතක කරන්න.” ඈ කීවා ය. ”මාව අමතක කරලා, ඔයාට ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න.”

”බැහැ.” මම ප්‍රතික්ෂේප කළෙමි. ”ඔයා ඊළඟට කියන්න යන දේත් මම දන්නවා. ඒකටත් මගේ උත්තරය බැහැ කියන එක ම තමයි.”

”මොකක් ද මං ඊළඟට කියන්නේ?”

”ඔයා ඊළඟට කියන්නේ ඔයාව අමතක කරලා සරෝජි එක්ක යාලු වෙන්න කියල.” මම කීවෙමි. ”ඒකත් බැහැ මට.”

”ඇයි බැරි?” ඈ ප්‍රශ්න කළා ය. ”ඇයි බැරි? එයා ඔයාට ආදරේ නැතුව නෙමෙයි.”

”බැහැ.”

මම කෝපයෙන් කෑගැසීමි. අවට සිටි මිනිසුන්ගේ අමුතු බැලුම් මදෙසට යොමු වනු මම නෙත් කොණින් දුටිමි.

“මට බැහැ ඔයාට ආදරය කරන එක නතර කරන්න. මට බැහැ කවදාවත් ඔයාව අමතක කරන්න. මම හැමදාමත් ඔයාට ආදරෙයි.”

”හ්ම්ම්…” ඈ නැවතත් සුසුමක් සැලී ය. ”ඒකත් අර කවිය වගෙයි.”

”මොන කවිය ද?” මම ඇසුවෙමි.

සොඳුරිය…මහා මුහුදු සි‍ඳෙන තුරු ද, මහා පර්වතයෝ සැඩ හිරු ‍රැසින් දියවෙන තුරු ද, නුඹට ප්‍රේම කරමි මම…

ඈ හුරුපුරුදු කාව්‍ය ඛණ්ඩයක් මුමුණයි.

”ශේක්ස්පියර්?” මම ඇසීමි.

”නැහැ”

”එහෙනම්, විලියම් වර්ඩ්ස්වර්ත්?”

”ඒත් නැහැ.”  ඈ පිළිතුරු දිණි. ”රොබට් බර්න්ස්.”

”හ්ම්ම්…”

”කියන්න.” ඈ නැවතත් අසයි. ”ඇයි ඔයා මට තාමත් ආදරය කරන්නේ? ඇයි ඔයාට තවදුරටත් ආදරය නොකරන කෙනෙක්ට මෙහෙම ආදරය කරන්නෙ?”

මේ මගේ වාරයයි.

ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ, රිසි වූ කෙනෙකුට පූජා කරන්ට, ලෝබ සිතින් තොර පිදුවමනා වේ, පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්…

මම තාලයට කීවෙමි.

”හ්ම්ම්… ලෝර්ඩ් ටෙනිසන් නේද?”

”නැහැ.”

”පර්සි බී ශෙලී?”

”නැහැ, එදිරිවීර සරත්චන්ද්‍ර.” මම සිනාසුණෙමි. “කොහෙද ඉතින් ඔයා ඉංග්‍රීසි කවි විතරනෙ කියවන්නේ.”

”හ්ම්ම්…” ඈ ද පෙරළා සිනාසුණි. ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ, රිසි වූ කෙනෙකුට පූජා කරන්ට...” ඈ එය ප්‍රතිරාව කළා ය. ”ඉතින් ඔය පිදීම ලබන කෙනා ම කියනවනන් එයාට ආදරය පුදන්න එපා කියලා? එතකොට මොකද කරන්නේ?”

මම මුනිවත ‍රැක්කෙමි.

”මට මේක කියන්න.” ඈ නැවත මගේ මුහුණට එබෙයි.  ”ඔයා ඔය ප්‍රේමය කියන්නෙ කිසිවක් බලාපොරොත්තු  නොවී කරන පිදීමක් ය කිව්වට, ඔයා බලාපොරොත්තු වෙනව නේද මමත් කවදහරි ආයේ ඔයාගේ ජීවිතයට ඇවිත් ඔයාට පෙරළා ආදරය කරයි කියලා?”

මම නිරුත්තර වීමී. එයට පිළිතුරක් මට සිතාගත නොහැකි විය.  මම අසරණ ව ඇය දෙස බැලුවෙමි. ඈ ඉවත බලාගත්තා ය.

”ඔයා දන්නවද මම මේ ලෝකෙ වැඩියෙන් ම බය කාටද කියලා?” නැවතත් ඇගෙන් ප්‍රශ්නයකි.

”නැහැ.”

”හෘද සාක්ෂියට බය නැති මිනිස්සුන්ට. හෘද සාක්ෂියට කන්දෙන්නෙ නැති මිනිස්සුන්ට.” ඈ පිළිතුරු දිණි.

”ඇයි ඒ?” මම ඇසුවෙමි.

”ඒ මිනිස්සු හරි ම කෲරයි. එක්කෝ හරි ම මෝඩයි.” ඈ කියයි. ”ඔයාව අයිති වෙන්නෙ එතනින් දෙවෙනි කාණ්ඩෙට.”

මම ඇය දෙස රවා බැලීමී.

”තරහ ගියා ද?”

‘’ඔව්, ඒ වගේ ම දුකයි.’’ මම කීවෙමි.

”ඉන්පසු ප්‍රේමවන්තයා, ගිනි උඳුනක් සේ ශෝක සුසුම්ලයි… ඈ සෙමින් කීවා ය. ”අන්න ඒක නම් ශේක්ස්පියර්ගේ!”

මම කිසිත් නො කීමි.

”මේ අහන්න කසුන්” ඈ නොනවත්වා ම කතා කරයි. ”මට ඔයාට ආදරය කරන්න බැහැ. ඒක ඔයා හොඳට ම දන්නවා. ඒ නිසා මට යන්න දෙන්න. මට යන්න නොදුන්නොත් ඔයා කවදහරි පිස්සෙක් වෙයි. මම කවදහරි නැවත ඔයාට ප්‍රේම කරයි කියන බලාපොරොත්තුව හිතින් අතහරින්න. අර කියමනකුත් තියෙන්නෙ, බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නෙත්, බලාපොරොත්තුමයි අපිට රිද්දන්නෙත් කියලා. අහලා තියෙනවද?”

”නැහැ. කව්ද එහෙම කිව්වේ?” මම ඇසුවෙමි. ”ටී එස් එලියට්?’’

”නැහැ’’

‘’පැබ්ලෝ නෙරූඩා?”

”වැරදියි, ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් නෙවෙයි. එහෙම කිව්වේ නිරෝධා සමරසිංහ.” ඈ ඇගේ සුපුරුදු දඟකාර සිනාව පෑවා ය.

”පුළුවන් තරම් බලාපොරොත්තු අඩු කරලා ජීවත් වෙන්න බලන්න. එතකොට හිත් රිදීම් ගොඩක් අඩු වේවි.” ඈ නැවතත් කීවා ය.

”කැම්පස් බහින අය බැහැ ගන්න. ඉක්මන් කරන්න.” නොදැනී ම බසය සරසවිය අසළට ම පැමිණ ඇත. අපි දෙදෙනා ඉක්මනින් බසයෙන් බැස ගතිමු.

”මට ආදරය කරන එක නවත්වන්න කසුන්. මට යන්න දෙන්න.” බස් රථයෙන් බැසගත් විගස ඈ නැවතත් ආයාචනා කළා ය. ”ඔයාට ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න. කරුණාකරලා.” ඈ මගේ අත තදින් මිරිකයි.

”මතක තියාගන්න.’’ ඈ මාගේ දෙනෙත දෙස එක එල්ලේ බලා පැවසුවා ය. ‘’වෙන්වීමකින්, ඇද වැටීමකින් පස්සේ ජීවිතයට ඉස්සරහට අරන් යන එක කිසිසේත් ම වැ‍රැද්දක් නෙවෙයි. එහෙම නොක‌ළ‌ොත් තමයි ඒක වැ‍රැද්දක් වෙන්නෙ. වෙන්වීමකින්, ඇද වැටීමකින් පස්සේ ජීවිතයට ඉස්සරහට අරන් ගියපු දාට ඔයාට ඔයාව ම හමුවේවි.”

කිසිවක් නොකියා මම ඇය දෙස බලා සිටියෙමි. ඇය කෙතරම් බුද්ධිමත් ද?

”එහෙනම් මම යනවා. සුබ දවසක්, කසුන්.”

”සුබ දවසක් නිරෝධා.” මම පෙරළා පිළිතුරු දුනිමි.

ඈ සුපුරුදු පරිදි ශාස්ත්‍ර පීඨය දෙසට ඇවිද ගියා ය. අවුල් වූ මනසින් යුතු ව මම විද්‍යා පීඨය දෙසට ගමන් කළෙමි.

විද්‍යා පීඨයට ඇතුළුවත් ම  එහි දොර‍ටුව අභියස ගසා තිබූ බැනරයකට එසැණින් මගේ නෙත් යොමු විය.

”නිරෝධා සමරසිංහ දූෂණය කොට මරා දමා අදට වසර දෙකයි. දේශපාලකයිනි, වහා යුක්තිය ඉ‍ටුකරනු!” එහි සඳහන් විය.

වසර දෙකක්…මාස විසිහතරක්…අහෝ! කාලය කෙතරම් නපුරු ද…දෛවය කෙතරම් කුරිරු ද…මාගේ දෙනෙත් කඳුළින් බර වනු මට දැනිණි.

“කසුන්…”

හුරුපුරුදු කටහඬක් පසෙකින් ඇසුණෙන් මම හිස හරවා එදෙස බැලීමි. ඒ සරෝජි ය. සිහින් සිරුරෙන් යුත් හුරුබුහුටි යුවතියකි ඇය. මම විගස කඳුළු පිසදාගතිමි.

”සුබ උදෑසනක්.” ඈ කීවා ය.

”සුබ උදෑසනක්.” මම ද පෙරළා කීවෙමි.

ඈ ද ටික වෙලාවක් බැනරය දෙස බලා සිටියා ය.

”ඔයාට තාම එයාව පේනවද කසුන්?”

මම හිස සැලීමි.

”අදත් දැක්කද?”

”ඔව්.”

”එහෙමද…”

ඈ දිගු සුසුමක් සැලී ය. ඇගේ මුහුණ දුක්මුසු ය. ”ඔයා තාම එයාට ආදරෙයි ද?”

මම ඈ දෙස බලාගත්වන ම බලා සිටියෙමි. එයට දිය හැකි පිළිතුරක් මා සතු නො වීය.

”හ්ම්ම්…” නැවතත් දිගු සුසුමකි.

සොඳුරිය…මහා මුහුදු සි‍ඳෙන තුරුද, මහා පර්වතයෝ සැඩ හිරු ‍රැසින් දියවෙන තුරුද, නුඹට ප්‍රේම කරමි මම…” ඈ සෙමින් මිමිණුවා ය.

”මොකක්?” වික්ෂිප්ත වූ මම ඇසුවෙමි.

“නැහැ මේ…ඒක මං ආස කරන කවියක්.” ඈ කීවා ය. ”ඔයාගෙ හිතේ නිරෝධාට තියෙන ආදරෙත් ඒවගේ කියල හිතුණා. හරි ම අසීමාන්තික ප්‍රේමයක්… ඇයි?”

”නෑ මුකුත් නෑ.” මම පිළිතුරු දුනිමි.

”ඒක නෙවෙයි. ඩොක්ටර්ස්ල දැන් ඔයාට මොනාද කියන්නේ?”

”එයාල සැක කරන්නේ භින්නෝන්මාදය කියල.” මම කීවෙමි. ”දිගට ම බෙහෙත් ගන්න කියනවා.”

”අනේ…” ඈ දුක්මුසු හඬින් තෙපළී ය.

”ඔයා ඇහුවට තරහ වෙන්නෙ නැතිනම්, මට කියන්න පුලුවන්ද එයාව දකින වෙලාවට එයා මොනාද කියන්නේ කියලා?” ඈ නැවතත් ඇසී ය.

”එයාව අමතක කරන්න කියනවා. තව…”

”තව මොනා ද?” ඈ කුතුහලයෙන් ප්‍රශ්න කළා ය.

”නෑ තව මුකුත් නෑ” මම යන්නට හැරෙමින් කීවෙමි.

එවිට එක්වර ම පසෙකින් පැමිණි පුද්ගලයෙකු මා තල්ලු කර දැමී ය. සමබරතාව ගිලිහුණු මා බිම ඇද වැ‍ටුණි. මා අත තිබූ පොත් ගොන්න සී සී කඩ ය.

”කොහෙද පිස්සො යන්නේ.” හැඩිදැඩි පෙනුමක් තිබූ තවත් සරසවි ශිෂ්‍යයෙකු යැයි කිව හැකි එම තරුණයා ගුගුළේ ය. ”තමුසෙට මැරිච්ච මිනිස්සු පේනවා, ඒ උනාට පාරෙ යන මිනිස්සු පේන්නෙ නෑ, බූරුවා.” ඔහුගේ කටහඬෙහි ගැබ් ව ඇත්තේ සමච්චලයකි.

”එයාට ඉන්න දීල යනවා.” සරෝජි කෝපයෙන් පයක් පෙරට තබමින් කීවා ය.

සමච්චල් සිනාවක් නගමින් එම තරුණයා ඉවතට ඇවිද ගියේ ය. මම තවමත් බිම වැටීගත්මන ය.

”ඔයාට තුවාල ද?” කරුණාවන්ත හඬින් විමසූ සරෝජි මා නැගිට්‍ටුවා ය.

”නෑ, අත පොඩ්ඩක් හීරුණා.” මම පිළිතුරු දුනිමි.

”ඔයා ඕවා ගණන් ගන්න එපා කසුන්.” ඈ මා අස්වැසුවා ය.” කෝ ඉන්න, මම ඔයාගේ පොත් ටික අහුලලා දෙන්නම්.” ඈ බිමට නැමුණි.

එක්වර ම ඈත සිටි යුවතියකගේ ඡායාවක් මා නෙත ගැ‍ටුණි. තළෙලු පෙනුමක් තිබූ ඈගේ ඇස් දඟකාර ය. සුදු පැහැති සාරියක් හැඳ සිටි ඈ සතු ව දු‍ටුවන් වශී කරවන සිනහවක් විය. ඔව්, ඒ නිරෝධා ය! ඈ මේ මොහොතේ සිනාසෙමින් මා දෙස බලා සිටී. ඒ සිනහව තුළ යම් පණිවුඩයක් ගැබ් ව ඇති බව මට වැටහුණි. එවිට ම ඈ සෙමෙන් හිස සැලුවා ය.

මම සරෝජි දෙස බැලුවෙමි. ඈ තවමත් මාගේ පොත් අහුලමින් සිටියි. ඈ කෙතරම් සුන්දර ද. ඈ කෙතරම් කරුණාවන්ත ද. මා නැවත නිරෝධා සිටි තැනට දෙනෙත් යොමු කළෙමි. පුදුමයකි! එතැන කව්රුත් සිටියේ නැත. වටපිට බැලූමුත් නිරෝධා පෙනෙන මානයක නැත.

”ආ මෙන්න ඔයාගේ පොත් ටික.” සරෝජිගේ කටහඬින් මම නැවත පියවි ලොවට පිවිසුණෙමි.  “අම්මෝ මොනා ද මෙච්චර කියවන්නේ?” ඈ මාගේ පොත් දෙස බලමින් කීවා ය. “රෝමියෝ ජුලියට් එකත් තියෙනවා.”

මම ඇගේ අතක් තදින් අල්ලා ගතිමි. ඈ පුදුමයෙන් මා දෙස බැලුවා  ය. මගේ මනස පැහැදිලි ය. සිතුවිලි නිශ්චිත ය. ”සරෝජි, මම ඔයාට කැමතියි.” මම ඇගේ නෙත් දෙස එක එල්ලේ බලා කීවෙමි. ”ඔයා මට කැමති ද?”

-නිමි-

Image Courtesy: Dinal Meecle

 
Tagged : / /